Saturday, 30 July 2016

මොන්ටිසෝරි කතාවක් - Once upon a time


මා කුඩා කාලයේ එක් දිනක උදෑසන ම, අපේ අම්මා මා හොඳින් ඇඳ පළදවාගෙන, අපේ නිවස අසල බස් යන පාර අයිනේ තිබුණු එක්තරා නිවසක් වෙත රැගෙන ගිය අයුරු මගේ මතකයේ තරමක් අපැහැදිලිව රැඳී ඇත.

ඒ මොන්ටිසෝරියක් හෙවත් පෙර පාසලක් බව මම පසුව දැන ගතිමි.

එහිදී මට අකුරක් දෙකක් ලියන්නට කී ආකාරය ද, ඒ වැඩ පිළිවෙළ මට කිසිසේත් ම දිරවූ නැති හෙයින් මා නැවත එහි යාමට නොහැකිය කියා කියූ ආකාරය ද මට මතකය.

මගේ කතාව තාත්තා ද, අම්මා ද පිළිගන්නට ඇත. ඔවුන ද ජීවිතයේ කිසි දිනක මොන්ටිසෝරි ගිය අය නොවේ.

එනිසා, ඒ මුල් දිනයේ හැර මා කිසි ම දිනක මොන්ටිසෝරියකට හෝ පෙර පාසලකට හෝ ගොස් නැත.

මගේ බාල සොහොයුරාව නම්, ඔහු පාසලට යාමට පෙර වසරේ දී, අප තිදෙනා ම ප්‍රාථමික අධ්‍යාපනය ලද කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලය අසල ම වාගේ පිහිටා තිබුණු, ඩෝරා ගේ මොන්ටිසෝරියට සහභාගී කරවන ලදී.

මාරි මොන්ටිසෝරි නමැත්තියක විසින් අරඹන ලදැයි පැවසෙන මොන්ටිසෝරි පෙර පාසල් ක්‍රමය දැන් නම්, ලංකාවේ මුල් බැස ගත්තකි. වසර දෙකේ දී පමණ නිවසේ දී නැකතට අකුරු කියවන නගරබද ළමෝ බොහෝ දෙනෙකු ඊළඟට යොමුවෙන්නේ නිවෙස් අසල බොහෝ විට පයින් ම යා හැකි දුරකින් පිහිටා ඇති මොන්ටිසෝරියක් හෙවත් පෙර පාසලක් වෙතට ය.

මේ මොන්ටිසෝරිවල දී දරුවන්ට අකුරු ලිවීම, කියවීම, චිත්‍ර ඇඳීම, ගායනය වැනි දේ පුරුදු කරනවා ඇතැයි සිතමි.

මගේ දියණියට ඇගේ වයස අවුරුදු දෙක හමාරේ පමණ සිට, එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටි දිවා සුරැකුම් (ඩේ කෙයා) මධ්‍යස්ථානයකට යන්නට සිදුවුණු අතර එහිදී ඇයට අකුරු උගන්වනු ඇතැයි යැයි අපට සිතූ නිසා, ඊට දිනකට දෙකකට පෙර, ලංකාවේ සිරිතට, මම ඇයට සිංහල අකුරු හඳන්වා දුනිමි.

නමුත් ඕස්ටේ‍ර්ලියාවේ ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථාන යනු ළදරුවන් ට අකුරු උගන්වන ස්ථාන නොවන බව අපට ටික දිනකින් ම වැටහිණි.

කොටින් ම, පාසල් යාමට පෙර වසරේ ඇය එවකට සහභාගී වූ දිවා සුරකුම් මධ්‍යස්ථානයේ විශේෂ පෙර පාසල් වසරේ වැඩ සටහන්වලට ද සහභාගී වුණු නමුත්, එහි දී ද, එක්තරා පිළිවෙළකට සිදු කෙරුණු නමුත් ඒ සමගම අවිධිමත් යැයි ද හැඳින්විය හැකි අධ්‍යාපනය හැරුණු විට කිසිදු විධිමත්, එනම් පොතේ පතේ ඉගෙනීමක් හෝ අකුරු ඉගැනීමක්, සිදු නොවුණි.

නමුත්, ඇය පෙර පාසල් වසර අවසානයේ, පාසල් යන දිනය වෙන විට ලෝකයේ විවිධ දේ ගැන, මා ඒ සමාන වයසේ දී ලබා නොතිබුණු ආකාරයේ, පුදුමාකාර දැනුමක් ලබා සිටියා ය.

-රසිකොලොජිස්ට්

Thursday, 28 July 2016

කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ අධ්‍යක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය හූ හඬ මැද රඟ දැක්වුණු අයුරු හෙවත් වළේ-හූව :: My two-cents worth


සිංහල වේදිකා නාට්‍ය පිළිබඳව දන්නා අය මේ ලිපියට මාතෘකාව සැකසී ඇත්තේ සුගතපාල ද සිල්වා ගේ අධ්‍යක්‍ෂණයෙන් වේදිකාගත වුණු, කෞෂල්‍යා ප්‍රනාන්දු ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යයේ නම ඇසුරෙන් බව තේරුම් ගනු ඇත.

මේ ලිපිය එලෙස නම් කළේ මා කෞෂල්‍යා ප්‍රනාන්දු නම් ප්‍රතිභා පූර්ණ නිළිය මුල්වරට දුටුවේ ඒ නාට්‍යයේ නැරඹීමේ දී නිසා ය.

මේ නාට්‍යයේ ඒ දීර්ඝ නම සුගතපාල ද සිල්වා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මරාසාද් නාට්‍යය සම්පූර්ණ පරිවර්තනයකි. එහි මුල් නිෂ්පාදනයවූ "Die Verfolgung und Ermordung Jean Paul Marats dargestellt durch die Schauspielgruppe des Hospizes zu Charenton unter Anleitung des Herrn de Sade" නමැති ජර්මන් වේදිකා නාට්‍යය Peter Weiss ගේ කෘතියක් විය. ඒ දිගු නමේ ඉංග්ලිෂ් පරිවර්තනය "The Persecution and Assassination of Jean-Paul Marat as Performed by the Inmates of the Asylum of Charenton Under the Direction of the Marquis de Sade" වේ. [https://en.wikipedia.org/wiki/Marat/Sade]

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වොලොංගොං නුවර වත්මනෙහි වාසය කරන ප්‍රවීන ලාංකික නාට්‍යවේදියෙකු සහ රචකයෙකු වන ධනංජය කරුණාරත්න ද ඉහත නාමකරණය අනුකරණය කරමින් වොලොංගොංහි "මෙරිගොං" නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් විලියම්ස් හා එක්ව 2015 දී අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍යයකට "එ ශ්‍රී ලංකන් ටැමිල් ඇසයිලම් සීකර්ස් ස්ටෝරි ඈස් පර්ෆෝර්ම්ඩ් බයි ඕස්ටේ‍ර්ලියන් ඇක්ටර්ස් අන්ඩර් ද ගයිඩන්ස් ඔෆ් එ සිංහලීස් ඩිරෙක්ටර්" යනුවෙන් නම් කළේ ය.

ඒ කෙසේ වෙතත්, මේ ලිපිය ලියන්නට මට සති දෙකකට පමණ පෙර සිතුණේ කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ රඟ දැක්වුණු දිනයේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලෙස එල්ලවූ දැඩි හූ හඬ නිසා, නාට්‍යය එහි අවසානය දක්වා රඟ නොදක්වා අත්හැර දමන්නට සිදුවීම පිළිබඳ කනගාටුදායක පුවත අසන්නට ලැබුණු විටයි.

ඒ හූ හඬ සහ විරෝධය නැගුණේ එම නාට්‍යයේ දර්ශනවල ඇතුළත් වූ සිප ගැනීම් පිළිබඳව යැයි ද පසුව නිල නොවන ආරංචියක් පැතුරිනි.

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ හෙවත් වළේ සිව් වසරක් නාට්‍ය නරඹා ඇත්තෙමි. ඒ පිළිබඳ මගේ සුන්දර අත්දැකීම් පසුගිය වසරේ මා රසිකොලොජියේ පළ කළ පහත ලිපියේ සඳහන් කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/12/nostalgia.html

ඒ සුන්දර අත්දැකීම් අතරේ එතරම් සුන්දර නොවෙන අත්දැකීම් ද නොතිබුණා නොවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් වුණු පමණින්, ඒ සියලු දෙනාම "ඩයි-හාඩ්" නාට්‍ය රසිකයින් යැයි සිතීම විහිළුවකි. ඒ කෙසේ වෙතත්, එළිමහන් රඟහලක අඩු තාක්‍ෂණයක් සහිතව රඟ දැක්වෙන නාට්‍යයක් නැරඹීමට මනා ශික්‍ෂණයක් අවශ්‍ය වේ. රාත්‍රී කෑමෙන් පසු එළිමහන් රංග පීඨයක ගල් ආසන මතට ගාල්වෙන තරුණ වියේ කණ්ඩායම් මානසිකත්වෙන් (pack mentality) යුතු විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වනාහී ඒ ශික්‍ෂණය ඉතා හොඳින් තියේ යැයි සිතිය හැකි ප්‍රාණීන් කොටසක් නොවේ.

මෙහිදී පැක් මෙන්ටලිටි හෙවත් කණ්ඩායම් මානසිකත්වය යනුවෙන් මා අදහස් කළේ එකෙකු හූ කීවොත්, ඌ හා කණ්ඩායම් ගත වීමට තවත් පිරිසක් සිටිනවා ය යන අරුතෙනි.

එනිසා, නාට්‍ය දර්ශනයක් අතරතුර, ප්‍රේක්‍ෂක අවධානය ගිලිහී යන මොහොතක හූ හඬක් මතුවීමත්, ඇතැම් විට එය ඔද්දල් වීමත් කිසිසේත් ම පුදුමයක් නම් නොවේ.

සිව් වසරක් තුළ ලද මගේ පේරාදෙණිය වළේ සුන්දර නොවන නාට්‍ය අත්දැකීම් අතරින් මුලින් ම මා සිහියට එන්නේ ඇමරිකානු නවකතාකරු ස්ටෙයින්බෙක් ගේ "ඔෆ් මයිස් ඇන්ඩ් මෙන් (Of mice and men)" ඇසුරින් සාලමන් ෆොන්සේකා ගේ නිපදවූ "අහිමි ජීවිත" නාට්‍යයේ පේරාදෙණිය වළේ දර්ශනයයි. මුලින් ම වළ අසල පිහිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ සිට නොමිලේ නාට්‍යයේ අර්ධ දර්ශනයක් නැරඹූ සිසුවෙකුගෙන් ලැබුණේ යැයි මගේ මතකයේ ඇති යමක් කියා කෑ ගැසීමට පසුව ඇතිවුණු විවිධ බාධාවන් ගේ අවසානය වූයේ නාට්‍යය නවතා සාලමන් ෆොන්සේකා සභාව ඇමතීමයි.

අපේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය ගේ මතකය අනුව එදා නාට්‍යය එතැනින් ම හමාර විය. මගේ මතකය නම් මද විරාමයකින් පසුව නාට්‍යය නැවත ඇරඹී අවසානය දක්වා පැවතුණු බවයි.

සුනන්ද මහේන්ද්‍ර ගේ "පොකුරු වැස්ස" නාට්‍ය පෙන්වූ දා, එළිමහන් රංග පීඨයක ඇති ලොකු ම ප්‍රශ්නය ඉස්මතු කරමින් නාට්‍යය මැද දී පොකුරු වැසි ඇද හැළුණි. ප්‍රේක්‍ෂකයින් බොහෝ දෙනෙකු විසිර ගිය අතර, මා වැනි "ඩයි-හාඩ්" පිරිසක් වැස්සෙන් පසු නාට්‍යය නැවත අරඹන තුරු එහි රැඳී සිටිය බව මට මතක ඇත.

වරෙක පේරාදෙණිය වළේ පෙන්වනු ලැබූ දයානන්ද ගුණවර්ධන ගේ "මධුර ජවනිකා" නාට්‍යය ද, ප්‍රේක්‍ෂක හූ හඬක් එල්ල වී නවත්වන්නට සිදුවූ බව මගේ මිතුරෙකු පවසතත්, මගේ මතකය නම් ඒ නාට්‍යය මා අවසානය දක්වා නැරඹූ බවයි. ඒ රූපවාහිනියේ පෙන්වූ දර්ශනය විය හැක.

විවිධ උසුළු-විසුළු කෙරුණ ද, වේදිකා නාට්‍යයක් මුළුමනින් ම කඩාකප්පල්වීමක් යනු අති දුර්ලභ අවස්ථාවක් බව මෙයින් කිව හැක.

කෞෂල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය මම පසුගිය දෙසැම්බරයේ දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී නැරඹුවෙමි. එය නෝබෙල් ත්‍යාගලාභී වොලී සොයින්කා ගේ අප්‍රිකානු ඒකාධිපතියෙකු ගේ පාලන සමය මත පදනම් වූ "ඔපෙරා වොන්යොසි" නම් වේදිකා නාට්‍යයේ අනුවර්තනයක් බව කියවේ.

එදා මම ඒ නාට්‍යය රස වින්දෙමි. නළු නිළියන් ගේ රංගනය ඉතා ප්‍රතිභාසම්පන්න විය. නාට්‍යයේ අනෙකුත් බොහෝ නිර්මාණාත්මක අංග ද ප්‍රශස්ත මට්ටමක පැවතුණි.

නමුත් අවංකව ම මට එය හැඟුණේ ලතින් ඇමරිකානු නාට්‍යයක් ලෙසිනි. ඒ එහි ආ සංගීතය සහ නැටුම් ආදිය නිසා යැයි සිතේ. ප්‍රධාන නළුවා ද මට පෙනුණේ Zoro ලෙසිනි. කතාව තරමක් ඇදෙන බව හැඟුණ ද, මට නම් එය කිසිසේත් ම නීරස නොවී ය.

ඒ සමගම කිව යුතු අනෙක් කාරණය වනුයේ පේරාදෙණිය වළේ සිදුවීමෙන් පසු කියවෙන තුරු, මේ නාට්‍යයේ අනවශ්‍ය සිප ගැනීම් දර්ශන තිබෙනවා යැයි මට කිසිදු මතකයක් නොතිබීමයි. එවැනි සිප ගැනීම් දර්ශන ස්වාභාවික රංගනයේ ම කොටසක් බව එයින් පෙනේ.

හූ හඬ නැගීමක් යනු නාට්‍යයක් නැවැත්වීමට තරම් විශාල හේතුවක් නොවෙතත්, යම් යම් මිසයිල ප්‍රහාර වේදිකාව දෙසට එල්ල වෙන්නට පටන් ගත් නිසා එසේ නාට්‍යය නවත්වා දැමූ බව ද මට දැන ගන්නට ලැබුණි. හූව කෙසේ වෙත්, එය නම් අති බරපතල තත්වයකි.

"දුටු තැන අල්ලනු" නාට්‍යයට ඒ හූ කීම සහ විරෝධය පෑම සිදුවූයේ එහි ආ සිප ගැනීමේ දර්ශන නිසා නම්, මට කිව හැක්කේ විශ්වවිද්‍යාල සිසුන් අතර එවැනි නෂ්ටකාමයකින් පෙළෙන, ඒ සමගම විකෘති වූ මනසකින් ද යුතු සංස්කෘතික බයියන් කිහිප දෙනෙකු හෝ සිටීම ඉතාමත් අභාග්‍යයක් බවයි. අනිවාරයෙන් ම එවැන්නන්ට ඉක්මනින් ම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු වේ.

දැනට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව, දුටු තැන අල්ලනු නාට්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නැවත රඟ දැක්වීමට සැලසුම් කෙරේ.

එය සතුට දනවන දියුණුවකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.cultura.lk/event/dutu-thana-allanu)

Monday, 25 July 2016

කෞෂල්‍යා ප්‍රනාන්දු ගැන කෙටි සටහනක් (ඇත්තට ම වෙනදා මෙන් ම අද මේ සටහන ද මා ගැන ම ය!) - Kaushalya Fernando (and me!)


මා මුල් වරට කෞෂල්‍යා ප්‍රනාන්දු නම් නිළිය දුටුවේ, මීට වසර තිහකට පමණ පෙර කොළඹ ජෝන් ද සිල්වා රඟහලේ දී සුගතපාල ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ "ද සාද් ඈපාණන් ගේ අධ්‍යක්‍ෂණයෙන් චැරින්ටන් සායනයේ නේවාසිකයින් විසින් ආචාර්ය යොන් පෝල් මරා ගේ වද දීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා-සාද්" නම් වේදිකා නාට්‍යය නරඹන්නට ගිය දිනයේ දී ය. එකල ඉතා තරුණ වියේ සිටි ඇය එම නාට්‍යයේ එන ප්‍රබල කාන්තා චරිතය ප්‍රශස්ත ලෙස රඟපෑවා ය.

සුගතපාල ද සිල්වා ගේ නාට්‍යයක රඟපෑම යනු විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීම තරම් වටිනා අධ්‍යාපනයක් බව කියා තම දියණියව ඒ වසරේ උසස් පෙළ විභාගය වෙනුවට මරා-සාද් නාට්‍යයේ රඟපෑම සඳහා යොමුකර වූ බව කෞෂල්‍යා ගේ මව වූ ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ පවසා තිබෙනු මම ඒ දිනවල දී පුවත්පතක දුටිමි.

තම දරුවන්, තමන් මෙන් හැදෙනු දැකීම දෙමව්පියන් ගේ ස්වභාවික ආශාවයි. සෝමලතා සුබසිංහ තම දියණිය වේදිකා නාට්‍ය කලාවට යොමු කරවූයේ ඒ නිසා බව පැහැදිලි ය.

මීට වසර කිහිපයකට පෙර "අපේ කාලේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ මෙඩ්ඩෝ" නමින් දිගු ලිපියක් රචනා කරද්දී එහි ඇරඹුම ලෙස මම සෝමලතා සුබසිංහ ගේ ඒ කතාව යොදා ගත්තෙමි. ඒ ලිපියේ "ඉරිදා ලක්බිම" සංස්කරණයෙන් කොටසක් ඉහත දක්වා ඇත.

මගේ මෙඩ්ඩන් පිළිබඳ ලිපිය ඇරඹුමේ සඳහන් කෙරුණු අනෙක් උපුටනය වූයේ සෝමලතා සුබසිංහ ගේ ප්‍රශස්ත ම නිර්මාණය වූ විකෘති වේදිකා නාට්‍යයේ එන අපේ කාලේ පාසල් අධ්‍යාපනය ගැන සරදම් කෙරෙන පහත ගී ඛණ්ඩයයි.
විද්‍යා විෂය ද කලාව ද?
කලාව කිව්වොත් මළා වගේ!

චී, චී, චී, ලැජ්ජ නැද්ද?
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නෙ
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක් නෙ,
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කොරලා?
ඒ ගීයේ ගැබ් වී ඇති අදහසට අනුව සුබසිංහ-ප්‍රනාන්දු පවුල කටයුතු කරණු ඇතැයි ද, කෞෂල්‍යා කිසි දිනෙක විද්‍යා විෂයයන් ඉගෙනීමට යොමු නොවෙනු ඇතැයි ද මම සිතුවෙමි. එය සත්‍යයක් බව මට පසක් කරමින්, ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරූ බව පසු කලෙක ආරංචි විය.

මා කියවා අසා දැන සිටි පරිදි, සෝමලතා සුබසිංහ බම්බලපිටියේ ශාන්ත පාවුලු බාලිකාවේ ගුරුවරියක වූ අතර, කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ පියා ලයනල් ප්‍රනාන්දු ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකි. ඔහු යාපනයේ දිසාපති ලෙස සිටි බවත් එකල ඔහු එකි කළ කී දෑ ගැන විස්තර සහිතව පුවත්පත්වල කිහිප විටක් ම පළ වී තිබෙනු මා දැක ඇත. යුද විමාරමයකට එලෙඹෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1994 අග භාගයේ දී යාපනයට යවන ලද විශේෂ දුත පිරිසට ද ලයනල් ප්‍රනාන්දු අයත් වූ බව මගේ මතකයයි.

මරා-සාද් වේදිකා නාට්‍යයෙන් පසුව මා කෞෂල්‍යා පුනාන්දුව දුටුවේ පුංචි තිරයෙනි. ඒ අශෝක හඳගම ගේ දුන්හිද අද්දර ටෙලිනාට්‍යයේ චරිතයක් වූ කසිප්පු විකුණන දුප්පත් ගැමි ගැහැනිය ලෙසිනි. ඉන් පසුව මා ඇය දුටුවේ මීට වසර දෙක තුනකට කලින් සිනුවර දී තිරගත වුණු බොර දිය පොකුණ සිනමා පටය නරඹද්දී ය. එහි රඟපෑම වෙනුවෙන් ඇයට හොඳම නිළිය ලෙස සම්මානයක් ද හිමිවිය.

මා ඇයව දැක ඇත්තේ එසේ දෙතුන්වරක් පමණක් වුවද, ලංකාවේ අධ්‍යාපනය ගැන සිහිවෙද්දී, ඒ ගැන කතා බහේ නිරත වෙද්දී, විකෘති නාට්‍යය සහ එහි ආ පෙර කී චී, චී, චී ලැජ්ජ නැද්ද සහ ටියුෂන් පියෝ, ටියුෂන් බයෝ ගීත ද්වය සිහියට ඒ ම ද, ඒ සමග ම සෝමලතා සුබසිංහ සහ කෞෂල්‍යා පුනාන්දු සිහිවීම ද වැළැක්විය නොහැක.

මා පෙර සඳහන් කළා සේ, තම දරුවන් තමන් මෙන් හැදෙනු දැකීම දෙමව්පියන් ගේ ස්වභාවික ආශාවයි. සෝමලතා සුබසිංහ තම දියණිය වේදිකා නාට්‍යකරණයට යොමු කළේ අනිවාර්යෙන් ම එනිසා ය.

මගේ බිරිඳගේත්, මගේත් ප්‍රාර්ථනය ද එයම විය.

එසේ වුවද, සිය මව උසස් පෙළ සඳහා උගත් ජීව විද්‍යා විෂයයන් ද, සිය පියා උසස් පෙළ සඳහා උගත් ගණිතය විෂයයන් ද අලුයම හෙළුෑ කෙළ පිඬු සේ ඉවත දමා අපේ දියණිය තම උසස් විද්‍යාල සහතික පත්‍ර විභාගය සඳහා භාෂාව, නාට්‍යවේදය, ඉතිහාසය, භූගෝලය, සංසන්දනාත්මක ආගම් යන කලා විෂයයන් තෝරා ගත්තා ය. එදා, මගේ සිතේ ඇතිවූ භ්‍රාන්තිය මා අඩුකර ගත්තේ විකෘති නාට්‍යයේ තේමාව සහ එහි ආ "චී, චී, චී ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න?" ගීතය ද සිහියට නංවා ගනිමිනි.

එවෙලේ මා අමතක කළ කරුණ වූයේ, ලයනල් ප්‍රනාන්දු මෙන් ම, සෝමලතා සුබසිංහ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ උගත් කලා උපාධීධාරීන් බවයි.

ඔවුන් දෙදෙනා ගේ දියණිය කෞෂල්‍යා ඇගේ දෙමව්පියන් ගිය සහ ඔවුන් තමන් ගේ දියණිය ගැණ පැතූ අධ්‍යාපන මාර්ගයට ම යොමු වුණු අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ම වෙනත් පීඨ දෙකක උගත් මගේ බිරිඳ ගේ සහ මගේ එකම දියණිය ද යොමු වුණේ ද ප්‍රනාන්දු-සුබසිංහ යුවල ගිය සහ ඔවුන් තම දියණිය යොමු කළ අධ්‍යාපන මාර්ගයට ම ය.

වාසනාවට මෙන්, ඇගේ දෙමව්පියන් ගේ සිතේ වූ අදහස් කෙසේ වුව ද, එය මගේ දියණිය පැතූ අධ්‍යාපන ධාරාව ම විය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මීළඟට බලාපොරොත්තු වන්න.
කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ අධ්‍යක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ හෙවත් වළේ "දුටු තැන අල්ලනු" වේදිකා නාට්‍යය හූ හඬ මැද රඟ දැක්වුණු අයුරු හෙවත් වළේ-හූව!


Saturday, 23 July 2016

ඕස්ට්‍රේලියාවේ දී සිංහල කුණුහරුප ඉගෙන ගන්නේ කෙසේ ද? - Can Google God help?


ඕස්ට්‍රේලියාවේ දී සිංහල කුණුහරුප ඉගෙන ගන්නේ කෙසේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයක් නොව මගේ පහළොස් හැවිරිදි පුත්‍රයාට ඇති වී තිබෙන තත්කාලීන දැවෙන ප්‍රශ්නයකි.

පෙරේදා ලියා පළ කළ "ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද?" යන ලිපියේ සඳහන් කළ පරිදි කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ මා දනිතත්, ඒ එකක්වත් මා උගත්තේ අපේ දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් නොව සමාජයෙනි. ඒ ද කුඩා කාලයේ දී ම ය.

ඉංග්ලිෂ් කුණුහරුප සම්බන්ධයෙන් නම් කතාව මුළුමනින් ම වෙනස් එකකි.

මා එෆ් වචනය සහ එහි නොයෙකුත් වරනැගීම් උගත්තේ මූලිකව ම හොලිවුඩ් චිත්‍රපටවලිනි. ඒවා මා තරුණයෙකු ලෙස කියවූ ඉංග්ලිෂ් පොත් පත්වල ද සඳහන් නොවීය.

වරෙක, හැඩ්ලි චේස් නවකතාවක සොනෝෆාබිච් (sonofabitch) නම් ජර්මන් වචනයක් තිබෙනු දැක ඒ කුමක්දැයි සොයා ගැනීමට මට මද වේලාවක් ගත විය. හැඩ්ලි චේස් එලෙස අකුරු එකට ඈඳා ලැජ්ජාවෙන් මෙන් ලියා තිබුණු ඒ වචනයේ සිංහල අරුත වන බැල්ලිගේ පුතා යන්න කෝපවී කෙරෙන රණ්ඩු සරුවල්වලදී පාවිච්චි වූවද, සාමාන්‍යයෙන් දරුණු කුණුහරුපයක් ලෙස නොසැලකේ.

දරුණු කුණුහරුපයක් ලෙස සැලකෙන who**ගේ පුතා යන්නේ ඉංග්ලිෂ් යෙදුම ද, එහි මුල් පදය වන දරුණු ඉංග්ලිෂ් අකුරු හතරේ කුණුහරුපයක් ලෙස සැලකෙනවා යැයි මට හැඟී ඇති C*** යන්න ද කුණුහරුප ලෙස මා දැන ගත්තේ මීට විසි වසරකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළායින් පසුව ය.

එසේම සරල වචනයක් වන වැන්කර් යන වචනය ද, එහි තේරුම ද මා දැන ගත්තේ 1996 දී පමණ එක් දින ක්‍රිකට් තරගයක් නරඹන්නට මුලින් ම එම්සීජීයට ගිය දිනයේ දී ය.

අද ඕස්ට්‍රේලියාවේ මා නිරීක්‍ෂණය කර ඇති ආකාරයට එක්තරා මිනිසුන් කොටසක ගේ දෙතොලේ නොගැවී පිටවෙන එෆ් පදය සහ එහි විවිධාකාර වරනැගීම් ගැන ලංකාවේ දී මා ඇසූ අපූරු කතාවක් මෙසේ ය. මෙය මා සමග පැවසුවේ මා සේවය කළ ආයතනයේ ඒජීඑම්වරයෙකි. ඔහුට එය කියා ඇත්තේ නමින් බර්ගර් ජාතිකයෙකු වූ ජීඑම් ය.

"දැන් බලනවා මේ ඉංග්ලිෂ්වලින් එෆ්-ඕෆ් කියන එක සිංහලෙන් කියන්න වෙන්නේ තනිකරම වැරදි අර්ථය දෙන්න නේ" යැයි කී අපේ ලොක්කා එය වැඩිදුරටත් විස්තර කළේ "ඉංග්ලිෂ්වලින් අහවල් වැඩේ කරලා පලයං කියන එක සිංහලෙන් කියන්නේ ඒ වැඩේ කරන්නේ නැතුව හිටපං කියලා නේ, තනිකරම විරුද්ධාර්ථය!" කියා ය.

කතාව තනිකරම ඇත්ත බව මට තේරුණේ එවිට ය.

ඒ විස්තර කළ ආකාරයට, මා පොඩි කාලයේ දී ම සිංහල කුණුහරුප ද, වැඩිහිටියෙකු ලෙස ඉංග්ලිෂ් කුණුහරුප ද ඉගෙන ගෙන ඇතත්, ඒ දැනුම් සම්භාරයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට මට මේ දක්වා වැඩි ඉඩක් ලැබී නැත. එයට හේතුව, කුඩා කළ සිටම මා පුරුදු වූ සම්මා වාචාව යැයි සිතමි.

නොදන්නා අයගේ දැන ගැනීම පිණිස කියනවානම් සම්මා වාචා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් අටෙන් එකකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු දුක නැති කිරීමේ නිවන් මාර්ගයයි!
සම්මා වාචාව අනුගමනය කරන්නෙකු ගේ මුවින් පරුෂ වචන පිට නොවෙයි.

දුක තමයි රංජනී!

මට ලංකාවේ නිවසෙන් පිට පරිසරයේ දී සිංහල කුණුහරුප ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු නමුදු, ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගන්නට නොලැබුණා සේ ම, අද පහළොස් වෙනි වියේ පසුවන මගේ පුතාට, ඔහු සමාජ ආශ්‍රයෙන් ඉංග්ලිෂ් කුණුහරුප ඉගෙන ගන්නට ලැබී ඇතැයි මා සැක කළ ද, නිවසේ දී හෝ පිටදී ශ්‍රවණය කර නැති නිසා, තවමත් සිංහල කුණුහරුප ඉගෙන ගන්නට නම් අවස්ථාවක් ලැබී නැත.

"තාත්තේ, සිංහල කුණුහරුප මොනවාද?" කියා ඔහු මගෙන් ටික දිනකට පෙර කෙළින් ම විමසීය. මා සිනා සී නිහඬව සිටි නිසා, ඔහු ඒ ප්‍රශ්නය ම මගේ බිරිඳගෙන් අසා ඇත.

පසු දින මා දුටුවේ ගුගල් ට්‍රාන්ස්ලේටර් සේවාව ආශ්‍රයෙන් ඔහු දන්නා ඉංග්ලිෂ් කුණුහරුපවලට සමාන පද සොයන පුත්‍රයා ය.

ඊටත් සතියකට පමණ, එදා සාකච්ඡාව සිහිවී, ගූගල් ට්‍රාන්ස්ලේටර් සේවාව විමසා බැලූ මට පෙනුණේ එෆ්-පදය සඳහා ගුගල් දෙයියා දී ඇති තේරුම "අපොයි" යන්න බවයි.

අපේ පුතා, වරක් දෙවරක් අපොයි කියා කී බව මට එවෙලේ සිහි විය.

"අපොයි" ගූගල්, ඔබ නම් දෙයියෙක් ම ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලාව, කුණුහරුප සහ සිංහල සමාජය යන මැයෙන් ප්‍රවීන නාට්‍යවේදී සහ රචක ධනංජය කරුණාරත්න විසින් පවත්වන ප්‍රසිද්ධ දේශනය් සහ සාකච්ඡාව ජූලි 31 ඉරිදා සවස 300 ට සිනුවර තදාසන්නයේ පෙමුල්වේ හි දී පැවැත්චේ.

මෙහෙයවීම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

සැමට ආරාධනා!


(image: https://en.wikipedia.org/wiki/French_Connection_(clothing))

Thursday, 21 July 2016

ඊයා හලෝ කුණුහබ්බත් කියනවා ද? - Me is a good boy!


මම කුණුහරුප ලෙස සැලකෙන සිංහල වචන සියල්ල ම පාහේ දනිමි. සියල්ල ම දනිමි යැයි නොකියා සියල්ලම පාහේ දනිමි යැයි සීමාවක් යෙදුවේ මා නොදන්නා කුණුහරුප ද පසුගිය කාලයේ ලංකාවේ අලුතෙන් බිහි වී තියෙන්නට ඉඩ ඇති නිසා ය.

අප සියලු දෙනා මෙන් මා ද, මා දන්නා ඒ කුණුහරුප වචන ඉගෙන ගත්තේ ද අද ඊයේ වැඩිහිටියෙකු සේ නොව පාසල් යන කුඩා ළමයෙකු කාලයේ දී ම ය.

නමුත්, අප ඒ කුණුහරුප ඉගෙන ගත්තේ, අපේ දෙමව්පියන්ගෙන් හෝ ගුරුවරුන්ගෙන් හෝ කිසියම් විධිමත් ක්‍රමයකට අනෙකුත් විෂයානුබද්ධ දේ ඉගෙන ගන්නා ආකාරයට නොව, ඉතා අවධිමත් ලෙස අප විසූ සමාජයෙනි. බොහෝ විට ඒ සම වයසේ මිතුරන්ගෙනි. එසේ ම නැති වුණත්, වෙනත් අය ඒ වචන කියනු ශ්‍රවණය කිරීමෙන් පසුව ය.

මගේ පියා හෝ මව හෝ කුණුහරුපයක් පවසනු මා කිසි දිනක අසා නැත.

එනිසා සහ ඇත්තට ම එනිසා ම, මම ද මේ දක්වා කිසිම පුද්ගලයෙකු ගේ මුහුණට කුණුහරුපයක් කියා බැණ වැදී හෝ විහිළුවකට හෝ කුණුහරුපයක් භාවිතා කර නැත්තෙමි. සමහර විට ඉතා කලාතුරකින්, ඉතා කලාතුරකින් අතිශය ලෙස කෝපයක් සිතට නැගි අවස්ථාවක මගේ සිත යටින් කුණුහරුපයක් කියවී නැත්තේ නොවෙතත්්, එය කිසි දිනක මගේ මුවෙන් ශබ්දයක් වී පිට වී නැත.

ඇත්තටම, එය එසේ වන්නේ කෙසේ ද, එනම් මට කුණුහරුප කියවෙන්නේ නැත්තේ ඇයි ද යන්න ගැන මට ද ඇත්තේ තරමක විමතියකි.

මෙහිදී මගේ සිහියට එන්නේ වයස දහනමයේ දී මා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණායින් පසු එහිදී මුණ ගැසුණු එක් මිතුරෙකි. ඔහු ගේ දිව අග නිරතුරු තිබුණේ කුණුහරුප ම ය. ඉතා කුඩා දෙයකින් පවා කෝපයට පත්වෙන ඔහු, ඒ සැම විට ම කුණුහරුපයක් ඇද බායි.

එය මා විශ්වවිද්‍යාලයේ දී ලැබූ සුවිශේෂී අත්දැකීමක් ම විය.

මා වටහා ගත් ආකාරයට, එතැන සිදුවී තිබුණේ අර සොර මුලක් ලැගුම් ගෙන සිටි ගල්ගුහාවේ හැඳුණු ගිරවා ගේ කතාවේ පුනරුත්පත්තියකි. මගේ මිතුරා, පාසලේ අවසන් වසර පහ හයක් ගතකර ඇත්තේ නිවසෙන් දුර පළාතක පිහිටි පාසලක නේවාසිකව ය. ඔහු වචනයක් වැරදෙන විට, සුළු කෝපයකට පවා, කුණුහරුප කතා කරන්නට, බනින්නට හුරු වී ඇත්තේ ඒ වාතාවරණය නිසා ය.

දෛවයේ සරදමකට මෙන් උසස් පෙළ විභාගය සහ විශ්වවිද්‍යාලය අතර කාලය මගේ මිතුරා ගත කර ඇත්තේ, පන්සලක පිරිවෙනක ගණිත ගුරුවරයෙකු ලෙසින්, ඒ පන්සලේ ම නවාතැන් ගෙන ය. නමුත්, අර හොර නඩය සෙවණේ හැදුණු ගිරවා සේ උගත් කුණුහරුප මාලාව පන්සල් පිරිවෙන් සෙවණේ දී ඔහුගෙන් ගිලිහී නොතිබුණි!

අප අතර අදත් පවතින දැඩි මිතුරුකම කෙසේ වෙතත්, මගේ මිතුරාගෙන් මට හෝ වෙනත් කිසිවෙකුට හෝ ඒ කුණුහරුප කියන ලෙඩේ නම් ප්‍රේරණය නොවුණි.

මා මේ සටහන ලිව්වේ, මා හොඳ ළමයෙකු බව කියන්නට නම් නොවේ.

එය අමුතුවෙන් කිව යුත්තක් ද නොවේ.

මා මෙය ලිව්වේ, නරක පුරුද්දක් මුල් කාලයේ දී ම බෝ නොවුණොත්, පසුව එය වැළඳීමට ඇති ඉඩකඩ අඩු බව කියන්නටයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලාව, කුණුහරුප සහ සිංහල සමාජය යන මැයෙන් ප්‍රවීන නාට්‍යවේදී සහ රචක ධනංජය කරුණාරත්න විසින් පවත්වන ප්‍රසිද්ධ දේශනය් සහ සාකච්ඡාව ජූලි 31 ඉරිදා සවස 300 ට සිනුවර තදාසන්නයේ පෙමුල්වේ හි දී පැවැත්චේ.

මෙහෙයවීම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

සැමට ආරාධනා!


(image: http://www.greenberg-art.com/.Toons/.Toons,%20political/Obscenity.html)

Tuesday, 19 July 2016

බ්‍රිස්බේන් නගරයේ නිවාඩුවක් - I had a week off


මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්.

බිරිඳ ද, දරු දෙදෙනා ද සමග මම පසුගිය දා සතියක පමණ පොඩි පහේ නිවාඩුවක් ගත්තෙමි.

ඒ මා වෙසෙන සිඩ්නි නුවර හෙවත් සිනුවරින් කිලෝමීටර් 900 ක් පමණ උතුරු දෙසින් පිහිටි බ්‍රිස්බේන් නගරයේ ය. බ්‍රිස්බේන් යනු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවරයි.

වංගු ගැසෙමින් ඇදී යන බ්‍රිස්බේන් නදිය දෙපස පිහිටා ඇති බ්‍රිස්බේන් නගරය මනරම් පුරවරයකි. බ්‍රිස්බේන් කරා ගුවනින් ගිය අප නගර මධ්‍යයේ ම නවාතැන් ගත් නිසා, හිතේ හැටියට එපුර සිරි විසිතුරු දැක බලා ගැනීමට හැකි විය.



අප පසුගිය ජූලි 12 දින නගරයට ළඟා වූ මධ්‍යහන්‍යයේ සිට ජූලි 17 සවස දෙකේ හෝරාවට ඉන් පිටවූ මොහොත දක්වා, මා කිලෝමීටර් 50 ක් පමණ, දිනකට කිලෝමීටර් දහයකට වැඩි ප්‍රමාණයක් ඇවිඳින්නට ඇත.



බෑගයක දැමූ ඇඳුම්වලින් ජීවත්වීමත්, තුන්වේලම කෙසේ වෙතත්, දිවා සහ රාත්‍රී ආහාර වේල් සියල්ලම ආපනශාලාවලින් කෑමත් හොඳ අත්දැකීමකි.

විවිධ භාෂා කතා කරන මිනිසුන් වසන, බහු සංස්කෘතික රටක් වන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී ද, අපට එංගලන්ත, ජපන්, චීන, ස්පාඤ්ඤ, ඉතාලි ආදී විවිධාකාරයේ ආහාර වර්ග පමණක් නොව, අවසානයේ සෙනසුරාදා මිතුරෙකු ගේ නිවසේ දී, සුපුරුදු සිංහල කෑම වේලක ද රස බැලීමට ද හැකි විය.



බීම ගැන සඳහන් කළහොත්, මම තේ, කෝපි, වයින්, ස්පාඤ්ඤ සැන්ග්‍රියා, ක්වීන්ස්ලන්ත බියර් සහ ජපන් බියර්වලින් ඔබ්බට නොගියෙමි.



කටට කෙළ උනන නිසා, අතුරුපස ගැන නම් වැඩි විස්තර නොලියමි.



බ්‍රිස්බේනයේ අප ගත කළ දින හය ඉතා ඉක්මනින් ගෙවී ගිය අතර, සිනුවර බලා අප පිටත් වූයේ තරමක දුකෙනි.

සතියක් පමණ කාලයක් තිස්සේ රසිකොලොජියේ කලින් ලියා සැකසූ ලිපි පළ කරමින් ජාම් බේරා ගත්තද, ප්‍රතිචාරවලට ප්‍රති පිළිතුරු දීමට කාලයක් සොයා ගත නොහැකි වීම ද තරමක දුකක් ගෙන දුනි.

ඊටත් වඩා දුකක් දැනුණේ ඉරිදා රාත්‍රියේ නිවසට පැමිණි පසු, ගමන් විඩාව මැද ම, පසුවදා සේවා ස්ථානයට යාමට ඇති බව සිහිවීම නිසා ය.

අවසානයේ සිදුවූයේ හිසරදයක් සමග අවදී වී තවත් පැය හතරක් ම සයනයේ ම "චක්-එ-සීකී" මුද්‍රාවෙන් ගත කිරීමටයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දශක කිහිපයක් පැරණි මගේ හතේ පන්තියේ සිංහල පාඩමක මතකය නිවැරදි නම් මේ ලිපියේ මුල් වැකිය වන
බිරිඳ ද, දරු දෙදෙනා ද සමග මම සතියක පමණ පොඩි නිවාඩුවක් ගත්තෙමි
යන්න
බිරිඳ ද, දරු දෙදෙනා ද, මා ද සතියක පමණ පොඩි නිවාඩුවක් ගත්තෙමු
කියා ද ලිවිය හැකි ය.

Saturday, 16 July 2016

ඔසී රටේ සිංහල දෙමව්පියන් මා දකින අයුරු - Becasue I can


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හෙවත් "මෙපුර" දී සහ සිඩ්නි හෙවත් "සිනුවර" දී මා ලබා ඇති අත්දැකීම් මත පදනම්ව, මෙරට වසන සංක්‍රමණික සිංහල දෙමව්පියන් පිරිස ඔවුන් තම දරුවන් සමග සිංහල භාෂාව භාවිතා කරන ආකාරය අනුව කොටස් කිහිපයකට බෙදා විශ්ලේෂණය කිරීමට මට හැක.

1. ලංකාවේ දී කුඩා කල සිටම දෙමව්පියන්, ඥාතීන් සහ මිතුරන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කර ඇති අය.

මේ පිරිස දැන් දෙමව්පියන් ලෙස ඕස්ට්‍රේලියාවේ දී තම දරුවන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් පමණක් කතා කරති. බොහෝ මිතුරන් සමග ද ආශ්‍රය කරන්නේ ඉංග්ලිෂ් භාෂාවෙනි. ඕස්ට්‍රේලියාවේ වසන තම දරුවන්ට සිංහල ඉගැන්වීම හෝ සිංහලෙන් කතා කිරීම අවශ්‍ය යැයි ඔවුන්ට කිසිසේත් ම නොසිතේ.

2. තමන් ලංකාවේ දී කුඩා කල ඉංග්ලිෂ් භාෂාව එතරම් දැන නොසිටි සහ භාවිතා නොකළ නමුත් තම දරුවන් සමග ඕස්ට්‍රේලියාවේ දී ඉංග්ලිෂ් භාෂාවෙන් පමණක් කතා කරන අය.

මේ අයගෙන් බහුතරයක් දෙනා සිතන්නේ තමන් ගේ වෘත්තීය දියුණුව ඉංග්ලිෂ් භාෂා දැනුමේ අඩුපාඩු නිසා තරමක් අඩාල වූ බවත් එනිසා තම දරුවන්ට ඉංග්ලිෂ් පමණක් ඉගැන්විය යුතු බවත් ය. එනිසා ඔව්හු තම දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා නොකරති. කාලය දීපය දේශය වෙනස් බව ඔවුන්ට නොතේරෙන සේ ය.

3. ලංකාවේ දී ඉංග්ලිෂ් භාෂාව වැඩි දැනුමක් නොතිබුණු හෝ කිසිදු භාවිතයක් හෝ නොතිබුණු සහ ඕස්ට්‍රේලියාවේ දී තම දරුවන්ගෙන් තමන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙනුම පිණිස බොහෝ විට ඔවුන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කරන අය.

මගේ මුල් ලිපිය කියවා, තමන් ගේ අත්දැකීම් සහ අදහස් ලියා පළ කළ මානව බ්ලොගයේ ජගත් එදිරිසිංහ කියා තිබුණේ මේ ආකාරයේ පියෙකු ගැනයි. එය අතිශය දුක්බර තත්වයකැයි මම සිතමි.

ඇත්තටම මෙහේ ජීවත් වෙන අපේ ළමයින්ට සිංහල ඉගෙන ගෙන මොන ප්‍රයෝජනයක් දැයි සිතන දෙමව්පියන් ඉහත තෙවර්ගයේ ම සිටිති. ඒ සමහරු ලිං මැඩියයන් ය. ඕස්ට්‍රේලියාවේ රජයේ පාසල් හි පවා ඉතාලි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉන්දුනීසියානු, ජපන්, චීන යනාදී භාෂාවක් හෝ උගන්වන්නේ ඇයි දැයි ඔවුන්ට නොතේරේ.

මේ බොහෝ භාෂා උසස් පෙළ විභාගය සඳහා ද හැදෑරිය හැක. සිංහල භාෂාව ද මෙල්බර්න් නුවර පිහිටි වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් පෙළ විෂයකි.

සංක්‍රමණික සිංහල දෙමව්පිය සර්වත්‍ර. කුලකය සම්පූර්ණ කිරීමට සිව්වෙනි කොටසක් ද එකතු කළ යුතුය.

ඒ මගේ බිරිඳ සහ මා මෙන් ම, මගේ මිතුරන් රාශියක් ද අයිති, තම දරුවන් සමග සිංහල භාෂාවෙන් කතා කරන, ඔවුන්ව මෙරට පවත්වාගෙන යන සිංහල භාෂා පාසල් කරා සතිපතා රැගෙන යන පිරිස ය.

දෙමව්පියන් ගේ උනන්දුව මත පිහිටුවා පවත්වාගෙන යන මේ සිංහල භාෂා පාසල් සදහා රජයෙන් මූල්යාංධාර, ගොඩනැගිලි පහසුකම්, ගුරු පුහුණුව සහ වෙනත් ආධාර ද ලැබේ.

සිනුවර තුළ මේ සිංහල භාෂා පාසල් අරඹා දැන් වසර විසි හයක් ගත වී ඇත. ඒ පාසල් ක්‍රියාත්මක වෙන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත ආයතනයක් වන සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහයෙනි.

සිනුවර තදාසන්නයේ පැරමටා (Parramatta), බ්ලැක්ටවුන් (Blacktown), මින්ටෝ (Minto) නගරවල පමණක් නොව දුර බැහැර නිව්කාසල් (Newcastle), ඩබෝ (Dubbo) සහ වගවගා (Wagga Wagga) යන නගරවල ද දැන් සිංහල භාෂා පන්ති පැවැත්වේ.

-රසිකොලොජිස්ට්

Thursday, 14 July 2016

ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum


ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මට හමුවුණේ මා තායිලන්තයේ බැංකොක් නගරයෙන් උතුරු දිසාවේ පැතුම්තානි දිස්ත්‍රික්කයේ රන්සිට් නගරය අසල පිහිටුවා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරන්නට ගොස් සිටි කාලයේ දී ය. රවුම් මුහුණක් ද, නළල සහ දෙකන් වැසෙන්නට සකසන ලද කිරි කෝපි පැහැති බීට්ල්ස් පන්නයේ කොණ්ඩයක් ද, තරමක් ස්ථුල සිරුරක් ද හිමි බෙල්ජියන් ජාතිකයෙකු වූ වෑන් ෆ්‍රෝසම් එවකට වයස තිස් දෙකක් පමණ වූ සාපේක්‍ෂව ඉතා තරුණ ආචාරයවරයෙකු විය.

ආර්ථික විද්‍යාව පිළිබඳ පීඑච්ඩී උපාධිධාරියෙකු වූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම්, ඔහු ගේ ප්‍රධානත ම විෂයය වූයේ ආර්ථිකමිතිය (Econometrics) වුවද, අපේ පශ්චාත් උපාධි පාඨමාලවේ මුල් වාරයේ දී අපට සම්භාවිතාව සහ සංඛ්‍යානය ඉගැන්වී ය.

මේ විෂයය සඳහා අපට නියමිත පාඨ ග්‍රන්ථය වුනේ ෂෙල්ඩන් රොස් විසින් රචිත Probabilistic Models නම් තවමත් මුද්‍රණය වන පොතකි. අප කණ්ඩායමේ සියලු දෙනා ම ඒ පොතේ ඡායා පිටපත බැගින් මුල් සතියේ ම සකසාගත්ත ද, ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ඔහු ගේ ම දේශන සටහන් සහිත මුද්‍රණය කර ස්පයිරල් බැම්මෙන් බඳින ලද පොතක් ද අපට බෙදා දුන්නේ ය.

මේ වෑන් ෆ්‍රෝසම් සටහන් පොත කියවද්දීත්, දේශන ශාලවේ දී ඔහු කොළ-ලෑල්ලේ (ඒවා කළු පැහැති කළුලෑලි නොවීය!) ලියූ වචන කියවීමේ දී ද, අපට ඇතිවුණු මූලික ගැටලුවක් වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ඉංග්ලිෂ් වචන, අප පසුව වටහාගත් පරිදි ජර්මන් (හෝ ඩච්) ආකාරයට ලිවීමයි.

උදාහරණයක් ලෙස ඔහු coefficient of correlation යන්න ලියන්නේ coefficientofcorrelation කියා ය. එසේම, chi square test යන්න ලියන්නේ chisquaretest යැයි කියා ය.

මෙය මුලදී අපට විමතියට සහ විහිළුවට කාරණයක් වුවත්, ටික දිනකින් ම අප එයට පුරුදු වීමූ.

තම අමුතු ආකාරයේ ලිවීම ගැන කනගාටුව පළකරමින් ආචාර්යවෑන් ෆ්‍රෝසම් කියා සිටියේ, තමන්ගේ මව් භාෂාව ඩච් (Dutch) බවත්, ඊට අමතරව ප්‍රංශ, ජර්මානු සහ ඉංග්ලිෂ් භාෂාවලින් තමන් වැඩ කටයුතු කරන බවත් ය, සමහර වචන ලියන විට පෙර කී ආකාරයේ කුඩා අත්වැරදීම් වන්නේ ඒ නිසා බවත් ය.

ඔහු එතරම් සංඛ්‍යාවක් භාෂා දැන සිටීම ගැන අප පුදුමය පළ කළ විට ආචාරය වෑන් ෆ්‍රෝසම් වැඩි දුරටත් කියා සිටියේ තමන් ඉංග්ලිෂ් ඉගෙන ගත්තේ නම් පාසලේ දී වුවත්, බෙල්ජියමේ ඔහු ගේ ගම් ප්‍රදේශයේ ජීවත්වෙන ඕනෑම කුඩා දරුවෙකුට පවා පෙර කී භාෂා කිහිපයක් ම හැසිරවීමට හැකි බවයි.

මා කලින් දිනයක ලියා පළ කළ "(නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish" නම් ලිපියේ දී මා සඳහන් කළේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් කියූ මේ කතාවයි.

එනම්, කුඩා කාලයේ දී දරුවෙකුට භාෂා තුන හතරක් එක සේ කතා කිරීමට ඉගෙන ගැනීම ඉතා පහසු කටයුත්තක් බවයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.linkedin.com/)

Monday, 11 July 2016

(නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish?


සිනුවර වෙසෙන අලුත් දෙමව්පිය යුවලක් ටික දිනකට පෙර අප නිවසට ආවෝය. ගිය වසරේ උපන් ඔවුන් ගේ පුතණුවාට වයස තවම වසරක් හෝ පිරී නැත.

සතුටු සාමීචි කතා බහේ යෙදෙමින් සිටින අතර, අලුත් තාත්තා මගෙන් මෙලෙස විමසී ය.

"රසික අයියේ දැන් අපේ පුතා ලොකුවෙන කොට අපි එයා එක්ක කතා කරන්න ඕනෑ, සිංහලෙන් ද, ඉංග්ලිෂ්වලින් ද?"

"සිංහලෙන් කතා කරන්න. කවදාකවත් ඉංග්ල්ෂ් පාවිච්චි කරන්න එපා ගෙදර දී. එයා පාසලේ දී ඉංගිරිසි ඉගෙන ගනියි" කියා උපදෙස් දුන් මම "ඇයි එහෙම ඇහැව්වේ?" යැයි ද විමසුවෙමි.

"නෑ, අයියේ, අපිට මේ ළඟදී පොඩි ළමයි ඉන්න අපේ යාළුවන් කට්ටියක් හම්බ වුණා. ඒ අය කිව්වේ නම් මුල ඉඳලා ම ළමයි එක්ක ඉංග්ලිෂ්වලින් කතා කරන්න කියලායි" එවිට නවක මෑණියෝ කීවා ය.

"මං හිටියා නම් ඒ ගොල්ලන්ගෙන් අහනවා, ඒ දෙමව්පියන්ට තමන් ගේ ළමයින්ට තමන් භාවිතා කරණ කැඩිච්ච ඉංග්ලිෂ් උගන්වන්න ඕනෑ වුණේ ඇයි කියාලා?" මම කීවෙමි.

මා ඒ කළේ සරදමක් ම නොවේ.

අපි අපේ දියණියට ඉංගිරිසියෙන් යමක් කියන්නට කියා දුන්නේ නම් ඒ ඇය වයස වසර දෙකහමාරේ දී පමණ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට දිනපතා යන්නට පටන් ගන්නට පෙර දිනයේ දී "අයි වොන්ට් ටු ගෝ ටු ද ටොයිලට්", "අයෑම් තර්ස්ටි", "අයෑම් හන්ග්‍රි" වැනි අත්‍යාවශ්‍ය වාක්‍ය කිහිපයක් පමණි. එසේ කළේ ද ඇය ගේ දෛනික සුබ සිද්ධිය සඳහා ය.

අපේ මග පෙන්වීමක් නොමැතිව ඇය ඉංග්ලිෂ් කතා කරන්නට උගත්තා ය. අප සමග ඇය ගත කළ දවසේ හැම මොහොතක දීම ඇයට අප සිංහලෙන් ම කතා කළෙමු.

ඉංග්ලිෂ් තරමට ම නැතත්, හොඳින් සිංහල භාෂාවෙන් කතා කරන්නට අපේ දියණිය උගත්තේ ඒ නිසා ය. අප ඇය සමග නිතිපතා නිවසේ දී සිංහලෙන් කතා නොකළේ නම්, ඇයට කිසිසේත් ම සිංහල කතා බහ ඉගෙන ගන්නට නොහැකි වනු ඇත.

කුඩා ළමුන්ට භාෂා එකක් නොව කිහිපයක් ම එක්වර හොඳින් ඉගෙනීමේ හැකියාව ඇති බව එසේ කතා කරන්න ඉගෙන ගත් අයෙකුගෙන් ම මම අසා ඇත්තෙමි. එනිසා ඔවුන් එක් භාෂාවකට පමණක් සීමා කිරීම මහා අපරාධයකි.

නවක දෙමව්පිය යුවලට මා කියූ කාරණය හොඳින් වැටහුණේ යැයි සිතමි.

-රසිකොලොජිස්ට්

Friday, 8 July 2016

අමතක වී ගිය සංවත්සරය - Fading away......!


ඊයේ දිනයට යෙදුණු, මගේ ජීවිතයේ වැදගත්ම සංවත්සරයක් මට අමතක වී ගියේ ය.

ඒ සංවත්සරය වැදගත් එකකැයි මා කියන්නේ, අවාසනවන්ත ආකාරයට අමතක වී ගියේ ජීවිතයේ එක් වැදගත් සන්ධිස්ථානයක දසවෙනි සංවත්සරය නිසායි.

මේ අමතක වීම සිදු වුණේත්, අමතක වුණු බව සිහි වුණේත්, පුදුම සහගත ආකාරයටය. මීට සති දෙකකට පමණ පෙර මට මේ සංවත්සර දිනය ද, එය දසවෙනි සංවත්සරය බව ද, එනිසා ම එහි ඇති වැදගත්කම ද සිහි වී මා ප්‍රිය බිරිඳ සමග ද ඒ බව පැවසූවෙමි. ෆෙස්බුකියේ සහ රසිකොලොජියේ ඒ ගැන යම් සටහනක් තැබිය යුතුයි කියා ද මම එවෙලේ සිතා ගත්තෙමි.

නමුත්, වෙනත් කාරණා සඳහා කාලය ගත වෙද්දී සහ පැය දින වී, දින සති වී ඉගිල යද්දී මට එය සහමුලින් ම අමතක විය.

ඊයේ රාත්‍රියේ නින්දට ගොස් සිටි මා හදිසියේ ම අවදි වී ඇද අසල තබා ඇති මේස කෑල්ල මත තිබුණු මගේ ජංගම දුරකථනය දෙස බැලු විට දුටුවේ වේලාව දෙක පසු වී විනාඩි තිහක් පමණ බව ය. දිනය ජූලි හත්වෙනිදා සිට ජූලි අට වෙනිදා දක්වා වෙනස් වී තිබුණි.

ඒ ක්‍ෂණයකින් ජූලි හත්වෙනිදාට යෙදී තිබුණු මගේ ජීවිතයේ ඒ වැදගත්ම සංවත්සරය සැමරීම මට අතපසු වුණු බව වැටහී මට මද දුකක් ද ඇතිවුණි.

ඒ සමගම, ඒ මද දුක වසාගෙන නැග ආවේ බලවත් ප්‍රීතියකි. සන්තෝෂයකි. යමක් අත්පත් කර ගත්තා හෝ ජය කණුවක් පසු කළා හෝ ආකාරයේ ආහ්ලාදයකි.

ඒ ඇයිදැයි යන්න දැන් ඉතා කෙටියෙන් පවසමි.

මීට දස වසරකට පෙර 2006 ජූලි මස හත්වෙනි දා, කලින් දින නියම කරගෙන තිබුණු පරිදි, සිනුවර තදාසන්නයේ පිහිටි වෙස්ට්මීඩ් නම් වූ රෝහලට මා ඇතුළත් වූණේ පුද්ගලයෙකුට ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවෙන අභාග්‍යසම්පන්න ශල්‍ය කර්මයකට මුහුණ දීමට ය.

මේ ශල්‍ය කර්මයට අත්‍යාවශ්‍ය අඩිතාලම දැමීම සිදුවීම වූයේ ඊට මාස පහකට පෙර 2006 පෙබරවාරියේ දී ය. ඒ අලකලංචියේ දසවෙනි සංවත්සරය දිනයේ දි මම ඒ ගැන ලියු කවි කිහිපයක් ද රසිකොලොජියේ පළ කළෙමි.
අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...! :: http://rasikalogy.blogspot.com/2016/02/decade-old-memory.html
එදා 2006 පෙබරවාරි හත්වෙනිදා උදෑසන සිහිසුන් ව ඇද වැටුණු මට, එදිනම හවස් වරුවේ කරන ලද ඇන්ජියෝප්ලාස්ටි නම් වූ ක්‍රියාවලියේ දී ස්ටෙන්ට්ස් නමින් හැඳින්වෙන රුධිර නාල සකසන කුඩා ගැජට්ටු හතරක් මගේ හදවතට රුධිරය සපයන නාලිකා තුළට ඇතුළත් කරනු ලැබුවද, පස්වැන්න යෙදීමට පෙර මගේ තත්වය දරුණු වූ නිසා එම ක්‍රියාවලිය එතැනින් අවසන් කර ඇත.

සති තුනකට පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ද, හෘදය රෝග වාට්ටුවේ ද ගතකර පසු මා නිවසට ආවේ, තත්වය හොඳ අතට හැරුණු වහාම ශල්‍ය කර්මයක් කළ යුතුම යැයි ලැබුණු උපදෙස පිළිගෙන ය.

පෙර සඳහන් කළ පරිදි 2006 ජූලි මස හත්වෙනි දා මා වෙස්ට්මීඩ් රෝහලට ඇතුළත් වූයේ ඒ හදවත් ශල්‍ය කර්මයට මුහුණ දීමටයි.

මගේ හදවතට රුධිරය සපයන නාලිකාවල, පෙබරවාරියෙ දී ස්ටෙන්ට් ගැජට්ටු දමා පෑදූ තැන් හතර ද, එසේ කිරීමට නොහැකි වූ අනෙක් ස්ථානය ද මගහැරීමට, එනම් බයි-පාස් කිරීමට, පැටර්සන් නම් ශල්‍ය වෛද්‍යවරයා කළ ශල්‍යකර්මය කෙතරම් හොඳින් සිදුවුණා ද කිවහොත් සිව්වෙනි දිනයේ දී මම ආඩම්බරයෙන් නිවසට ද පැමිණියෙමි.

මගේ ආඩම්බරය වැඩි වීමට තවත් හේතුවක් වූයේ බයි-පාස් කළ අය ගැන ද, ඩබල් බයි-පාස් කළ අය ගැන ද, කාලයක සිට නිරතුරු අසා තිබුණ ද, පෙන්ටා බයි-පාස් ඔපරේෂොමක්, එනම් බයි-පාස් පහක් කළ කිසිදු අයෙකු පිළිබඳව මා එතෙක් අසා නොතිබුණු නිසා ය.

එසේම, මගේ ශල්‍ය වෛද්‍යවරයා ඒ බයි-පාස් පහම කර තිබුණේ පපු කුහර ඇතුළතම ඇති වෙනත් නහරයක් [mammary artery] උපයෝගී කරගෙන වූ නිසා, අතෙන් හෝ කකුලෙන් නහර කපා ගැනීමට සිදු කළ සැත්කම්වල තුවාල කැළල් මට නැත.

ඇත්තේ පපුවේ දික් අතර ඇති සිප් (zipper) එකක් වැනි කැපුමක් පමණි.

මේ ලිපිය අවසාන කිරීමට පළමු කරුණු දෙකක් කිව යුතුය.

එයින් මට වැදගත් කාරණය නම්, බයි-පාස් සැත්කමකින් පසුව හදවත වසර දහයකින් තරුණවන බව කියවේ. දහවරක් පහ පනහකි [10x5=50]. එනම් මගේ වයස එදා සංඛ්‍යා රේඛාවේ ඍණ පැත්තට ගියේ ය.

මේ ලිපිය කියවූ ඔබට වැදගත් කාරණය මෙයයි.

ස්ටෙන්ට්ස් ගැජට්ටු සහ බයි-පාස් සැත්කම් අවශ්‍ය වන හදවත් රෝගය සෑදෙන්නේ කොලස්ටරෝල් වැඩි, රුධිර පීඩනය වැඩි, දුම්බොන අයට පමණක් ම නොවේ. ඒ කිසිදු සාධකයක් මට අදාළ නොවුණි.

අතින් ගිලිහී යන පීඑච්ඩී උපාධිය පිළිබඳ, වෘත්තිය පිළිබඳ සහ රැකියාව පිළිබඳ ආතතිය, දවසේ වැඩි වේලාවක් එක්කෝ පරිගණකයක් ඉදිරිපිට හෝ දුම්රිය අසුනක ඉඳගෙන ගෙවීම වැනි දේ පෙර කී සම්මත සාධකවලට වඩා හදවත් රෝගවලට හේතු කාරක විය හැකි ය යන්න මින් වසර දහයකට පෙර මා එළැඹි නිගමනයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වේලාව තිබේ නම් මේ පහත ලිපිය ද කියවන්න.
http://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html :: මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)

(image: http://www.smart-heart-living.com/my-scar-makes-me-cry.html)

Wednesday, 6 July 2016

සම්මාන ගන්න විභාග ලිවීම සහ සම්මාන ගන්න පොත් ලිවීම - Here I come


"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මගේ මිතුරෙකු වන ජගත් ජේ එදිරිසිංහ තම මානව බ්ලොගයේ ලියා පළ කළ ලිපියක් කියවද්දී මගේ සිතට ආ පරණ කතන්දර සහ වත්මන් අදහස් කිහිපයෙන් සමහර දේ ඒ ලිපියේ ම ප්‍රතිචාර ලෙස දැක්වුවද, නැවතත් බ්ලොග් ලිපියක් ලෙස ද ගොනු කරන්නට සිතුණි.

කනගාටුවට කරුණක් වනුයේ තම අදහස නිසි පරිදි ලියවී නැත යන පදනම යටතේ, ජගත් ජේ එදිරිසිංහ විසින් ඒ ලිපිය මේවන විට ඉවත් කර තිබීමයි. ඔහු එය නැවත ලියා මතු දිනක පළ කරනු ඇතැයි මම සිතමි.

මගේ තවත් මිතුරෙකු වන නැවතත් "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ හෙන්රි වර්ණකුලසූරිය ද මේ ආකාරයේ ම අදහසක් මින් පෙර දිනයක ඔහු කළ පුවත්පත් සාකච්ඡාවක (හෝ එවැනි තැනක) දී දක්වා තිබුණි.

ඒ ලිපි/සම්මුඛ සාකච්ඡා සටහන් කියවද්දී එහි ලා ඔවුන් පවසා ඇතැයි මට වැටහුණු අදහස් මගේ ම වචනයෙන් නැවත කිවහොත් මෙසේ වේ.
ලංකාවේ සම්මාන සඳහා පොරයක් පවතී. සමහර ලේඛකයෝ සම්මාන බලාපොරොත්තුවෙන් ම පොත් ලියති. බහුතරයක් ලේඛකයෝ තම මුද්‍රිත කෘති සඳහා සම්මාන නොලැබුණු විට කුපිත වෙති. රණ්ඩුවට යති.

එනිසා හෝ එනිසා ම නොවුණත්, සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම වරදකි. නොකළ යුත්තකි.

මට වැටහුණු පරිදි, ජගත් එදිරිසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය දෙදෙනා එකී සම්මාන පොරය පිළිකුල් කරති, ප්‍රතික්‍ෂේප කරති.

ජගත් ජේ එදිරිසිංහ පවසා තිබුණේ, තමන් සම්මාන පසුපස නොයන බව සහ නමුත් තමන් ගේ ග්‍රන්ථයකට සම්මානයක් ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ය.
කිසිම සාහිත්‍ය සම්මානයක් සඳහා තම කෘති ඉදිරිපත් නොකරන කැත්ලීන් ජයවර්ධන නම් වූ ලේඛිකාවක් අද ලංකාවේ සිටියි. අවාසනාවකට මෙන් ඒ ගැන අසා තිබුණද, මම ඇය විසින් ලියන ලද එකදු නවකතාවක් හෝ මේ දක්වා කියවා නැත්තෙමි.
හෙන්රි වර්ණකුලසූරිය පවසා තිබුණේ අද ලංකාවේ නවකතා සඳහා පිරිනමන ප්‍රධානතම සම්මානයක් වන පොත් ප්‍රකාශකයින් ගේ සංගමය මගින් පිරිනමන ස්වර්ණ පුස්තක සම්මානය යනු ප්‍රෝඩාවක් බවයි.
හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර වාඩිය සහ දඩ කඳවුර යන එකට ඇඳුණු නවකතා ද්වය ම ප්‍රකාශනය කෙරුණේ ෆාස්ට් පබ්ලිෂින් (සුරස) සමාගම විසිනි. ඒ සමාගම ස්වර්ණ පුස්තක සම්මානය පිරිනමන පොත් ප්‍රකාශකයින් ගේ සංගමයේ සාමාජිකයෙකු නිසා, සුරස ප්‍රකාශිත පොත් සියල්ලම ඉහත සම්මානය සඳහා සුදුසුකම් ලබයි. හෙන්රි වර්ණකුලසූරිය තම කෘති ඒ තරගයට ඉදිරිපත් නොකරන ලෙස ප්‍රකාශක ප්‍රේම් දිසානායකට විශේෂයෙන් ම කියන්නට ඇතැයි මම සිතමි.
තම ලිපියේ දී ජගත් ජේ එදිරිසිංහ සඳහන් කර තිබුණේ එක් වසරක ඩී. ආර්. විජේවර්ධන නම් වූ සම්මානය සඳහා නවකතාවක් රචනා කර ඉදිරිපත් කළ නම සඳහන් නොවුණු ප්‍රකට ලේඛකයෙකු ගැනයි. ජගත් ජේ එදිරිසිංහ කියන්නට උත්සාහ කළේ, එලෙස සම්මානයක් සඳහා ම පොතක් ලිවීම යනු කළ නොයුත්තක් ය කියා යැයි මට සිතුණි.
ඩී. ආර්. විජේවර්ධන සම්මානය යනු, මා අසා ඇති පරිදි, ප්‍රකාශයට පත් නොකළ අත් පිටපත් සඳහා වූ තරගයකි. එයින් ජය ගන්නා නවකතා අත්පිටපත මුද්‍රණය කෙරෙන අතර, මුදලින් ද ත්‍යාගයක් පිරි නැමේ.

දයාවංශ ජයකොඩි සමාගමෙන් ද, මේ ආකාරයේ ම නවකතා අත්පිටපත් තරගයක් පැවැත්වෙන අතර, මගේ මතකය නිවැරදි නම් එක් වසරක ඒ ත්‍යාගය ලැබුණේ ජගත් ජේ එදිරිසංහට ම ය.

සෑම වසරකම ස්වර්ණ පුස්තක සම්මානය, ගොඩගේ පොත් සම්මාන, ජයවර්දෙනපුර විවියේ සම්මාන මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද පිරිනැමෙන්නේ ඊට පෙර වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ වෙනුවෙනි.

මේ සම්බන්ධයෙන් මගේ අදහස මෙයයි.

සම්මානයක් බලාපොරොත්තුවෙන් පොතක් ලිවීම යනු සම්මානයක් බලාපොරොත්තුවෙන් විභාගයකට ලිවීම වැනිම පුද්ගල ප්‍රගමනයට මෙන්ම සමාජ ප්‍රගමනයට ද තුඩු දෙන, එනිසා පැසසුමට ලක්විය යුතු ක්‍රියාවකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය ලියද්දී මට ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණ ද, මා උසස් පෙළ විභාගය ලීවේ විශිෂ්ට සම්මාන හතරක් (A-A-A_A) බලාපොරොත්තුවෙනි. එය නිකං ම නිකං සිත ඇතුළේ සිර කර ගෙන සිටි බලාපොරොත්තුවක් නොව, ලොකු අකුරෙන් ඇඳී, මගේ පාඩම් මේසට මත ඇස් ඉදිරිපිට සෑම තත්පරයකම හොඳින් දර්ශනය වන්නට තබා තිබුණු පුවරුවක් ලෙස භෞතික ලෝකයේ ද ජීවත් වුණු බලාපොරොත්තුවකි.

මේ පිළිබඳ දීර්ඝ විස්තර සහිත විත්ති කතාවක් මගේ සිව් වසරක් මරදානේ (දයාවංශ ජයකොඩි ISBN:9789555478304) නම් කෘතියේ ඇතුළත් වේ.

මා බලාපොරොත්තු වූ ඒ ප්‍රතිඵලය වූ A-A-A-A මට නොලැබුණ ද, ඊට තරමක් ආසන්න ප්‍රතිඵලයක් කරා මට ළගාවීමට හැකි වූ බැවින් මගේ අවසාන අරමුණ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට මට හැකිවිය.

සම්මාන ගන්න විභාගය ලිවීමෙන් මට නම් වූයේ සෙතක් ම ය. අද වුව ද උසස් පෙළ විභාගය ලියන සියලුම සිසුන් සියලුම විෂයන්ට විශිෂ්ට සම්මාන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ කරා යොමු විය යුතු යැයි මම සිතමි.

අඩු වශයෙන් සියලු දෙනාටම තම තමන් ගේ විෂයන් පිළිබඳ ඉහළ දැනුමක් ලබා ගැනීමටත්, සමස්ත ලංකාවේ ම විභාග ප්‍රතිඵල ඉහළ යාමත් එයින් බලාපොරොත්තු විය හැක.

මා මේ ලිපිය ලීවේ මේ පහත කාරණය ද පැවසීමටයි.

යම් කිසි දිනක මා නවකතාවක් රචනා කරන්නේ නම්, එසේ කරන්නේ ද එක සම්මානයක් නොව විශිෂ්ට සම්මාන හතරක් ම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

මෙහි ප්‍රථම පියවර ලෙස දැන් මා සයිමන් නවගත්තේගම විසින් භාවිත කරන ලද ආකාරයේ තොප්පියක් පැළඳීම ආරම්භ කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි.

එය "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා" වර්ගයේ මිතුරෙකුගෙන් මට ලැබුණු ත්‍යාගයකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියට සම්බන්ධව පසුව ලිවිය යුතු සෝ ඔබ්වියස් දෙයක් මෙහි අන්තර්ගතයේ ඇත. නමුත් ඒ ගැන මේ ලිපිය කියවන අයෙකු ඇසුවොතින් පමණක් ලියන්නට සිතා දැනට නොලියා සිටිමි.

Tuesday, 5 July 2016

ඕස්ට්‍රේලියාව පැත්තේ මොකද වෙන්නේ ඕයි? - Can you really hang the Parliament?


මා වෙසෙනා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා සෑම වසර තුනකට ම වරක් පැවැත්වෙන මහ ඡන්දය පසුගිය සෙනසුරාදා පැවැත්වුණි. ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකු වන මට ද ඡන්දය බලය හිමි ය.

මා ඡන්දය දීමට ඡන්ද මධ්‍යස්ථානයට ගියේ සවස පහට පමණ නමුත්, ඒ බව විට ද, රථ ගාල පිරෙන්නට පිරිස් එහි සිටි අතර, විනාඩි දහයක පමණ පෝලිමක සිටින්නට ද සිදුවිය.

"පෝලිමේ මැද සිටියට පාඩු වෙනවද?" යැයි සිතමින් මා එහි රැඳී සිටියේ ඕස්ට්‍රේලියාවේ ඡන්දය දීම අනිවාර්ය නිසා (එනම් ඩොලර් පනහක දඩයෙන් ගැලවෙන්නට) නම් නොවේ. "ප්‍රජාතට්ටරත්කරනාවාදයේ" අනිවාර්ය ක්‍රියාකාරකමක් වන ඡන්ද විමසීම්වලට මා අතිශයෙන් ප්‍රිය කරන නිසා ය.

මාස දෙකක් ඇදී ගිය මෙවර ඡන්ද කාලය පිළිබඳව මෙහි වෙසෙන පණ්ඩිතයින් මෙන්ම ඇවරේජ් පන්ටරස්ලා හෙවත් පොදු ජනයා ද පවසා සිටියේ "ටූ ලොන්ග්, ටූ ඩල්, ටූ බෝරිං!" කියා වුව ද, මට නම් එය එසේ නොවිණි. ඡන්ද ව්‍යාපාරයේ හැම දිනයමක පාහේ රසවත් සිදුවීම් වාර්තා වුණු අතර, ඒ ගැනම සුවිශේෂී රූපවාහිනී විකට වැඩ සටහන් ද නිර්මාණය කෙරුණි.

සාමාන්‍යයෙන් මා දැක ඇති ඕස්ට්‍රේලියානු ඡන්ද විමසීම්වලදී, සවස හයට ඡන්දය දීම අවසාන වූ විගස, ඒ ඡන්ද ගණං කිරීම ඇරඹෙන අතර, ඡන්ද පොළෙන්, ඡන්ද පොළට ලැබෙන ඡන්ද එකතු කර ප්‍රවණතා අධ්‍යයනය කරමින්, පසුගිය මැතිවරණවල ප්‍රතිඵල සහ පක්‍ෂ මෙන්ම අපේක්‍ෂකයින් අතර ඇති සම්මුතීන් ද සැලකිල්ලට ගෙන අවසාන ප්‍රතිඵලය හැකි විගස පුරෝකථනය කරනු ලැබේ.

මා මින් පෙර ලියූ ලිපියක ද සඳහන් කළ පරිදි, ඡන්දය දා, සවස 7:30 පමණවන විට දිනන්නේ කවුද යන්න බොහෝ දුරට පැහැදිලි වේ. රාත්‍රී දහය පමණවන විට, ප්‍රධාන පක්‍ෂ දෙකෙන්, පැරදෙන පිළේ නායකයා පරාජය භාර ගනිමින් කතා කරන අතර, ඊට මද වේලාවකට පසු නව පාර්ලිමේන්තුවේ අගමැති වීමට නියමිත පුද්ගලයා තම ජයග්‍රාහී කතාව කරයි.

මධ්‍යම රාත්‍රිය පසුවෙනවාත් සමගම සියලු දෙනා නිවෙස් බලා යන අතර, නැවත ඡන්ද ගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ පසුවදා එනම් ඉරිදා ය, නැතිනම් ඇත්තටම සඳුදා ය.

මෙවර ඒ සියලුම දේ අන්ජ-බජල් විය!

ඡන්ද දිනය නිමවූයේ කිසිදු පිළකට බලය ලැබෙන බව නිශ්චිතව කීමට නොහැකි තත්වයක් තුළ ය. එනම් ප්‍රධාන පක්‍ෂ දෙක බොහෝ ආසනවල දී කරට කර තරගයක යෙදෙමින් ඡන්ද ලබා තිබීමයි. තුන්වෙනි බලවේගවලට බලාපොරොත්තු වූවාට වඩා ඡන්ද ලැබී තිබීම ද මෙයට එක් හේතුවක් වී ඇත. යළි ඡන්ද ගැනීම ආරම්භ වීමට නියමිතව ඇත්තේ අඟහරුවාදා උදෑසන ය.

අද මේ ලිපිය සංස්කරණය වන මොහොතේ ප්‍රකාශිත ඡන්දවලින් 78% පමණ ගැනීම නිමවී ඇති අතර පාර්ලිමේන්තුවේ ආසන 150 අතරින් බලයේ සිටි සන්ධානය නිශ්විතව ලබා ගන්නට යන්නේ ආසන 67 කි. විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂයවන කම්කරු පක්‍ෂය දැනට ආසන 66 ක් නිශ්විතව දිනන බව පෙනේ. ආසන පහක් වෙනත් පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයින් විසින් දිනා ගැනීමට නියමිතය. ඉතිරි ආසන දහය පිළිබඳ කිසිදු නිගමනයකට තවමත් එළැඹිය නොහැකි බව කියවේ.

අද ප්‍රධාන වශයෙන්ම ගැනෙනු ඇත්තේ, තැපැල් ඡන්ද වන අතර, ඒ අතරින් වැඩි කොටස හිමිවෙනු ඇත්තේ ලිබරල්-නැෂනල් සන්ධානයට නිසා, ඔවුන්ට ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය අවම බලය වන ආසන 76 ක් දිනා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එවැනි බහුතරයක් නැති ආණ්ඩුවක් ඉතා අස්ථිර එකක් වනු බවට සැකයක් නැත. ආණ්ඩුවට සහය දී, තමන් ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ද, සුළුතර පක්‍ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ට හැකි වෙනු ඇත.

මා හිතවත් ජගත් බණ්ඩාරට සෙනෙට් සභාවෙන් ජය හිමිවේදැයි නිශ්විතව දැන ගැනීමට තවත් දින කිහිපයක් ම ගතවෙනු ඇත. කෙසේ නමුත්, අපේ ප්‍රාන්තය තුළ, ඔහු නියෝජනය කළ කම්කරු පක්‍ෂයට හිමිවීමට නියමිත සෙනෙට් සභික ස්ථාන හතරක් වැනි සංඛ්‍යාවක් නිසා පක්‍ෂ ලයිස්තුවේ පිළිවෙළට අනුව නම් ඔහුට සෙනෙට් පුටුවක් හිමි වෙනු ඇතැයි නොසිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳව මා ලියා ඇති ලිපි කිහිපයක් මෙන්න.

1. ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections :: http://rasikalogy.blogspot.com/2014/11/brief-note-on-australian-elections.html

2. ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party :: http://rasikalogy.blogspot.com/2015/03/blog-post.html

3. ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday :: http://rasikalogy.blogspot.com.au/2015/03/how-i-voted-yesterday.html

4. ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! - What a joke! :: http://rasikalogy.blogspot.com/2015/08/what-joke.html

5. වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia :: http://rasikalogy.blogspot.com/2015/08/political-parties-in-australia.html

6. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance :: http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

7. ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia :: http://rasikalogy.blogspot.com/2016/06/message-for-those-who-live-in-nsw.html

8. මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද? මොකා දිනුවත් අපට මොකද? - A note on Australian federal election - 2 July 2016 :: http://rasikalogy.blogspot.com/2016/07/note-on-australian-federal-election-2.html

(image: http://www.portnews.com.au/story/4006208/what-to-expect-from-a-hung-parliament-in-australian-federal-election/?cs=256)

Friday, 1 July 2016

මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද? මොකා දිනුවත් අපට මොකද? - A note on Australian federal election - 2 July 2016


හෙට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා ඡන්දය පැවැත්වේ. මෙය සෑම වසර තුනකට වරක් පැවැත්වෙන සර්කසයකි. මෙවර ඡන්දය ප්‍රකාශයට පත් කළේ මීට සති අටකට පමණ පෙර නිසා, මෙය මෑත ඉතිහාසයේ පැවැත්වුණු දීර්ඝතම ඡන්ද ව්‍යාපාරය බවට පත් වී ඇති අතර, එනිසාම, රටේ පැවති වඩාත්ම ඒකාකාරී ඡන්දය ලෙස ද පණ්ඩිතයින් විසින් නම් කර ඇත.

මා කලින් දිනයක විස්තර සඳහන් කළ ආකාරයට, ඕනෑම රටක මෙන් මේ රටේ ද ඇත්තේ ප්‍රධාන පක්‍ෂ දෙකකි. බලයේ සිටින්නේ ලිබරල් සහ නැෂනල් සන්ධානයයි. අගමැති මැල්කම් ටර්න්බුල් නියෝජනය කරන්නේ ඉන් ප්‍රධාන කොටස වන ලිබරල් පක්‍ෂයයි. ඔවුන් නමට ලිබරල් කීවාට අදහස් සහ ක්‍රියාකාරකම් අතින් අන්ත දක්‍ෂිණාංශික කන්සර්වෙටිව් ලා ය.

විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂය ලේබර් නම් වේ. බිල් ෂෝටන් එහි නායකයා ය. මා මිත්‍ර ජගත් බණ්ඩාර පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව සඳහා අපේක්‍ෂකයෙකු ලෙස තරග වදින්නේ ලේබර් පක්‍ෂයෙනි.

මීට අමතරව හරිත පක්‍ෂය ප්‍රධානව තවත් සුළුතර පක්‍ෂ කිහිපයක් තිබුණ ද, මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් ඔවුන් ගේ බලපෑම නොසැලකිය හැකි තරම් ය.

කෙසේ වෙතත්, එක් පක්‍ෂයකට සීමා නොවී ඡන්දය ප්‍රකාශ කළ හැකි නිසා අවසානයේ සියලුම ඡන්දවලට වටිනාකමක් ලැබේ.

ලිබරල්-ජාතික සන්ධානය සහ ලේබර් පක්‍ෂය අතර කරට-කර තරගයක්, එනම් දෙපිලටම 50-50 ඡන්ද, ඇති බවත්, සන්ධානය යාන්තමින් ඉදිරියෙන් සිටින බවත් සමීක්‍ෂණ මගින් සොයා ගෙන ඇත. මේ ආකාරයේ සමීක්‍ෂණ ප්‍රතිඵල ඉතා නිවැරදි බව පසුගිය ඡන්ද විමසීම්වල දී මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

ප්‍රාන්ත සඳහා පැවැත්වෙන සමානුපාතික ක්‍රමයේ සෙනෙට් මණ්ඩල ඡන්දය මෙන් නොව, ඒකල ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයේ දී වැදගත් වෙන්නේ දිනන පැත්තේ ඒ 50% ට මදකට වැඩි ඡන්ද සංඛ්‍යාව ආසන අතර බෙදී යන්නේ කොයි ආකාරයට ද කියා ය.

ඡන්ද කොට්ඨාස හෙවත් ආසන 150 ක පාර්ලිමේන්තුවෙන් තුනෙන් එකක පමණ විශාල සංඛ්‍යාවක (49) ප්‍රතිඵලය තීරණය වෙන්නේ 5%කට අඩු ඡන්ද වෙනසකින් වීම වත්මන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් ඡන්දවල ඇති විශේෂත්වයි.

දැනට පවතින සන්ධාන රජයට ආසන 88 ක් ඇති අතර ප්‍රධාන විපක්‍ෂයට හිමිව ඇත්තේ ආසන 57 ක් පමණි. එනිසා, සැම ආසනයකටම එක සමාන 3.3% ක වෙනසක් සන්ධානයට එරෙහිව සිදුවුණත් පවතින රජයට නැවත බලයට පැමිණිය හැකි බව පෙනේ. ලේබර් පක්‍ෂයට බලයට ඒමට නම් සන්ධාන රජයට විරුද්ධව 4% ක ඡන්ද වෙනසක් සිදුවී ආසන 19 ක් පිල් මාරු විය යුතුය.

හෙට උදේ හතර ඇරඹී සහව පහට අවසන් වෙන ඡන්ද විමසීමේ මූලික ප්‍රතිඵල අනුව රාත්‍රී නමය පමණ වන විට දිනන්නේ කවර පක්‍ෂයක් ද යන්න දැන ගැනීමට ලැබෙනු ඇත.

නමුත්, පත්වෙන මන්ත්‍රීවරුන්, සහ ඔවුන් ගේ පවුල්වල අය සහ කාර්යාල සේවකයින් හැරුණු විට අන් අයට, එනම් ඕස්ට්‍රේලියානු පොදු ජනතාව ගේ ජීවිත සම්බන්ධයෙන් නම්, මීළඟ අගමැති වන්නේ මැල්කම් ටර්න්බුල් ද, බිල් ෂෝටන් ද යන්නෙන් ලොකු වෙනසක් නොවෙනු ඇත.

ඉන් කිසිසේත් ම අදහස් වෙන්නේ මොකා දිනුවත් අපට හුළං හෝ මොකා දිනුවත් අපට කෙළවෙනවා යන්න නොවේ. ඒ වෙනුවට, මේ පක්‍ෂ දෙක අතර සැලකිය යුතු වෙනසක් නැති නිසා, ඡන්දයෙන් පසු ඉරිදා උදයේ සිටත් තමන්ට සුපුරුදු ජොලියෙන් ජීවත්වීමට හැකි වෙනු ඇති බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳව මා ලියා ඇති ලිපි කිහිපයක් මෙන්න.

1. ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections :: http://rasikalogy.blogspot.com/2014/11/brief-note-on-australian-elections.html

2. ලංකාවේත්, ඕස්ට්‍රේලියාවේත් දෙරටේ ම ඡන්දය ඉල්ලන දේශපාලන පක්‍ෂයක්? - Socialist Equity Party :: http://rasikalogy.blogspot.com/2015/03/blog-post.html

3. ඊයේ මා ඡන්දය දුන් හැටි (ඡායාරූප සහිතයි) - How I voted yesterday :: http://rasikalogy.blogspot.com.au/2015/03/how-i-voted-yesterday.html

4. ඕස්ට්‍රේලියාවේ පිස්සු ප්‍රශ්නය - හිනා ගොස් පණ යෑමට ඉඩ ඇත! - What a joke! :: http://rasikalogy.blogspot.com/2015/08/what-joke.html

5. වත්මන් ඕස්ට්‍රේලියානු දේශපාලන පක්‍ෂ මා දකින අයුරු - Political parties in Australia :: http://rasikalogy.blogspot.com/2015/08/political-parties-in-australia.html

6. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance :: http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

7. ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia :: http://rasikalogy.blogspot.com/2016/06/message-for-those-who-live-in-nsw.html

(image: http://www.dailymail.co.uk/news/article-3277764/Love-air-Politicians-getting-emotional-sides-fence-Malcolm-Turnbull-s-leadership-coup.html)