
දින දෙක තුනකට ඉහත දී මම ජයලත් මනෝරත්න විසින් ලියා, අධ්‍යක්‍ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟ පෑ
"ගුරු තරුව" නම් වේදිකා නාට්‍යය ගැන ලියූ ලිපියක "ගුරු ගීතය" නම් පරිවර්තන කෘතිය ගැන යන්තමින් සඳහනක් කළෙමි.
"ගුරු ගීතය" පරිවර්තන කෘතිය පිළිබඳව මම ඊට පෙර ලිපියක ද සඳහන් කර ඇති බව ඒ මොහොතේ මට සිහිවිය. ඒ පෙර අවස්ථාව වූයේ හිටපු පාසල් ගුරුවරයෙකු වන සමන්ත විද්‍යාරත්න නම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරු ගීතයේ ආ ප්‍රධාන චරිතයේ පුද්ගල නාමය උපයෝගී කර ගෙන ඇරඹූ
"දුයිෂෙන් ගේ අඩවිය" නම් බ්ලොගය හඳුන්වා දීම උදෙසා රසිකොලොජියේ පළ කළ ලිපියයි.
සමන්ත විද්‍යාරත්න යනු මා සිත දිනා ගත් දේශපාලන චරිතයක් බව මුළින් ම කිව යුතුය. මා කිසි දිනෙක ඔහුව සැබැවින් දැක නැති නිසා, ඒ පැහැදීමට හේතුව මුළුමණින් ම සයිබර් අවකාශය හරහා මා දැක ඇති ඔහු ගේ කතා, දේශන සහ විවාද ආදිය බව පැහැදිළිය.
පසුගිය මහ ඡන්ද සමයේ තවත් බොහො දෙනෙකු ගේ මෙන්ම මගේත් අපේක්‍ෂාව වූයේ මේ අපූරු මිනිසා පාර්ලිමේන්තුවට තේරී පත් වේ ය කියායි.
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html
එය එසේ නොවූ කළ, අන් අය මෙන් ම,
මා ද දුක් වීමි.
කරුණු එසේ හෙයින්, ගුරු ගීතය නවකතාවේ ප්‍රධාන චරිතයවන දුයිෂෙන් ගේ නම ආරූඪ කර ගෙන සමන්ත විද්‍යාරත්න බ්ලොග් ලොවට පිවිසෙන බවට ලැබුණු ආරංචිය සිත තුළ ඇති කළේ සතුටකි.
බ්ලොග් ලියමින් සිට පූර්ණකාලීන දේශපාලනයට ගිය අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන වැන්නන් ගැන මා දැන සිටිය ද, දුයිෂෙන් ගේ ආගමනයේ දී සිදු වුණේ එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි, එනම්, පූර්ණකාලීන දේශපාලකයෙකු බ්ලොග් ලොවට පිවිසීමයි.
එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි.
සමන්ත විද්‍යාරත්න ඇරඹූ දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගය ගැන ඇති වූ මා පෙර කී ඒ සතුට සමගම මගේ සිතේ යම් කිසි ආකාරයක කුකුසක් ද ඇති විය.
එනම්, කුමක් හෝ දේශපාලන පක්‍ෂයට බැඳී තම හෘද සාක්‍ෂිය ඒ පක්‍ෂයට පාවා දී පක්‍ෂයේ මතය අකුරට ම අනුගමනය කරමින් ජීවත්වීමත්, සාහිත්‍යමය කර්තව්‍යයක් වන බ්ලොග්කරනයේ නිරතවීමත් එකට කළ හැකි කාර්යයන් ද්වයක් නොවන බව මට එදා ම සිතුණි.
දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගයේ පළ කළ මුල්ම ලිපිය වූ
"දුයිෂෙන් ගේ පන්නරය ලැබූ ගුරු ජීවිතය" නම් සටහනෙන් සමන්ත විද්‍යාරත්න තමන් ගේ වෘත්තීය ජීවිතය ඇරඹුණු හැටි අපූරුවට විස්තර කළේ ය.
මේ ඒ ලිපිය කියවා එදා මා තැබූ තැබූ ප්‍රතිචාරයයි. ඇත්තෙන් ම, ඔහු ගේ බ්ලොගයේ ප්‍රතිචාරයක් තැබූ මුල් ම පාඨකයා මම ය.
මෙවැනි පාසල්වල ළමුන්ට උදව් කිරීමට අය සොයා ගන්න පුළුවනි අද නම් ලේසියෙන් ම අන්තර්ජාල සබඳතා නිසා.
මගේ මල්ලීත් වසර දහයක් ම මාතලේ ලග්ගල ප්‍රදේශයේ අති දුෂ්කර ගමක පාසලක සේවය කළා.
පසුව ඔහු කවුදැයි හොඳින් දැන ගත් පසු මෙසේ පැවසුවෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.
ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.
දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.
නමුත් මේ ටිකත් කිව යුතුයි. මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්ෂිය පාවා දෙන්න වෙනවා. පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්ෂියක් නැතුව යනවා.
කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්ෂයේ ප්‍රකාශය නිසායි.
ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.
එසේම, ප්‍රධාන පක්ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.
ජයවේවා!
මේ ඔහු එදා එයට දුන් පිළිතුරයි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි.
මා මෙන් ම, ඒ ආකාරයේ සහ ඒ හා සමාන ප්‍රශ්න නැගූ අය බොහෝ දෙනෙකු වූහ. මේ ලියන්නේ පක්‍ෂයෙන් අවසර අරගෙනදැයි සමහරු කෙලින්ම ඇසූහ.
දුයිෂෙන් ඒ සැම දෙනාටම ලබා දුන්නේ එක සමාන ඇල්වතුර (එනම් සංවර) පිළිතුරකි.
සමන්ත විද්‍යාරත්න ගේ බ්ලොගයේ ඒ මුල් ම ලිපියට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. බ්ලොග් අවකාශයේ ධනාත්මක වෙනසක් සිදු වී ඇතැයි බොහෝ දෙනෙකු මෙන් ම මම ද සිතුවෙමි.
ඔහු ගේ
දෙවෙනි ලිපිය ගම්බද දිළිඳුකම තුරන් කිරීමට ක්‍රියාත්මක කළ හැකි බොහෝ දුරට සිල්ලර වුවත් කෙටි කාලීනව ප්‍රායෝගික විය හැකි එක් විසඳුමක් පිළිබඳව විය.
මා හිතන පරිදි දුයිෂෙන් ගේ අඩවියේ අවගමනය ඇතිවුණේ බ්ලොගය අරඹා මසකට පමණ පසු එහි සිව්වෙනි ලිපිය ලෙස පළ වූ
ඌව පළාතේ තිබුණා ය කියවෙන අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ලියවුණු ලිපියත් සමග ය. මෙය සමන්ත විද්‍යාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්‍ෂගේ මධුසමය පැවති 2005-2009 කාලයේ ලියවුණු එකක් විය යුතුය යනුවෙන් විවිධ හේතු මත මා පසුව නිගමනය කළෙමි.
ඒ ලිපිය කියවන විට මට සිතුණේ, මා කියවා නැති, ප්‍රව්ඩා, ගැන්මා සහ පීපල්ස් ඩේලි පුවත්පත්වල ලිපි මේ ආකාරයේ ඒවා විය යුතු නේද කියායි!
ලස්සන වචනවලින් වසා තිබුණද, කිසිදු වැදගත් ප්‍රගතිශීලි අන්තර්ගතයක් නොතිබුණු එය එතරම්ම පුස් ලියවිල්ලක් විය.
ලිපියේ අන්තර්ගතය පිළිබඳ පාඨකයින් නැගූ එකදු ප්‍රශ්නයකටවත් සාධනීය පිළිතුරක් සැපයීමට සමන්ත විද්‍යාරත්න අපොහොසත් විය. ඒ වෙනුවට ඔහු, අන්තර්ගතය වර්ණනා කරමින් අලගපත් තැබූ අයගේ ප්‍රතිචාරයෙන් ඔකඳ වෙමින් සිටිනවා දෝ යි මට සිතුණි.
මගේ අදහස වූයේ සමන්ත විද්‍යාරත්නලා කළ යුත්තේ කැප්පෙටිපොළ, කුඩහපොළ, කීර්ති විජබාහු වැනි චරිත සහ ඒ අදාල ඉතිහාසයේ ඇලී ගැලී සිටීම නොව, රටේ ප්‍රශ්නවලට ජාතික මට්ටමේ විසඳුම් ලබාදෙන සැළසුම් ඉදිරිපත් කිරීම බවය.
මා ඒ බව මෙසේ ප්‍රතිචාරයක් මගින් කීවෙමි.
ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!
ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය....
ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිට ම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!
සමන්ත ගේ පිළිතුර මෙසේ විය.
ඔබ පිඹින හොරණෑව කුමන අඩව්වකටදැයි නොතේරෙණමුත් ඉතිහාසය ලිවීම කියවීම හොරණෑවක් නොවන බව කාරුණිකව දන්වමි. ඉතිහාසයෙන් අතීත වෘත්තාන්තයන් ගෙනහැර පෑම පමණක් නොව අතීතය හා වර්තමානය සම්බන්ධ කොට අනාගතයට මඟ සලසන පාලමක් සපයන බව දන්වමි. ඉතිහාසය නැමති කවුළුවෙන් අනාගතයට අාලෝකධාරා එක්කරගත් රටවල් මෙන්ම පුද්ගලයන්ද ඔබ හදුනනු ඇත.
ඉතිහාසයෙන් අනාගතය වෙනුවෙන් ආදර්ශයන් හා ශක්තීන් උකහා ගැනීමේ වරදක් නැත. කෙළවීම හෝ විනාශය සිදුව ඇත්තේ සමාජයට බව පැහැදිලිය. ඉලක්ක ගැනීමේ වරදක් නැත. ඉලක්ක සැපිරුනේ නම් ඔබ ඇතුළු බොහෝ දෙනා සතුටුවෙනු ඇත. ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා වෙහෙසෙනවුන්ට ඔබ වැන්නන්ගෙන් චෝදනා විවේචන එල්ලවීම වැළැක්විය නොහැක. තේරුම් ගන්නා ලෙස ඉල්ලමි. වඩා හොඳ සමාජයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ බව.
කෙසේ වෙතත්, දැන් සෑහෙන කාලයකින් දුයිෂෙන් ගේ අඩවිය යාවත්කාලීන වී නැත. නැගගෙන ආ තරුව බැසගෙන ගොස් දැයි මට සැක සිතේ.
එසේ නොවන්නේ නම් හොඳ ය.
මා ගුරු ගීතය පරිවර්තිත නවකතාව කියවා නැති වුණත්, එනමින් යුතු චිත්‍රපටය නරඹා ඇති බව මුළින් සඳහන් කළෙමි. එය නරඹද්දී මට හිතුණේ, අවසානයේ දුයිෂෙන්ට හෝ අල්තීනාට අත් වූ සුගතියක් නෑ නොවේ ද යන්නයි.
චිත්‍රපටයේ දැක්වුණු ආකාරයට නම් අවසානයේ අල්තීනා වියපත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කල් යවයි. දුයිෂෙන් නම් ආගිය අතක් නැත.
එහි නම් උත්ප්‍රාසයක් නැත. ඇත්තේ අභාග්‍යයක් පමණකි!
-රසිකොලොජිස්ට්
ප/ලි (28 September 2016, 01:25pm AEST):
කල් දැමිය නොහැකි පුද්ගලික වැඩකට කාලය ගත කිරීමට නොහැකි වුණු නිසා, මේ ලිපියට පසුව ලැබුණු ප්‍රතිචාරවලට නිසි ලෙස පිළිතුරු ලිවීමට නොහැකි විය.
මේ සැමට පොදු පිළිතුරකි.
ජවිපෙට සහ සමන්ත විද්‍යාරත්නට දේශපාලන සතුරන් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.
නමුත්, මේ ලිපිය ලිවීම ගැන මට දෝශාරෝපනය කරන ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න ගේ මිතුරන් වටහා ගත යුතු කාරණය නම්, මා ඒ කණ්ඩායමේ අයෙකු නොවන බවයි.
වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය.
මට ජවිපෙ සමග හෝ සමන්ත විද්‍යාරත්න සමග හෝ අවුලක් නැත. වෙනත් කිසි කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැත.
මගේ ගුරුවර, ශාස්තෘ, පිළිම වන්දනා නැත. මම මගේ අවංක මතය ලියමි.
එය ඒ ඒ පිළිම වන්දනා කරන්නන්ට අජීර්ණ විය හැක. ඒ සඳහා මම වග නොකියමි!
ස්තුතියි!
(https://en.wikipedia.org/wiki/Pied_Piper_of_Hamelin)