Wednesday, 29 April 2015

මරණ දඬුවම ද මිනීමැරුමකි - Stop killing humans in the name of law


ඉන්දුනීසියාව තුළ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් ඕස්ටේ‍ර්ලියානු ජාතිකයින් නම දෙනා ගේ නායකින් යැයි සැලකෙන මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චැන්ග් යන දෙදෙනා, ඒ සිදුවීමෙන් වසර දහයකට පසුව, නඩු තීන්දුවේ ප්‍රකාර අද උදෑසන වෙඩි තබා මරා දමන ලදී.

ඒ සමගම මේ වරදට ම අසුවී නඩු අසා මරණ දණ්ඩනයට නියම කරන ලද තවත් විජාතිකයින් හය දෙනෙකුට ද ඒ ඉරණම අත්විය.

මත්ද්‍රව්‍ය යනු මිනිස් ජීවිත විනාශ කරන දෙයකි. එ නිසා, ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ විකිණීම සාපරාධී ක්‍රියා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මේ දඩුවම, ඒ වරදට සුදුසු ද?

මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චෑන්ග් අසුවූයේ ඉන්දුනීසියාවේ සිට ඕස්ටේ‍ර්ලියාවට මත් ද්‍රව්‍ය ගෙන ඒමේදී බවද මෙහිදී සඳහන් කළ යුතුයි. ඔවුන් ලුහුබැඳ ආ, ඕස්ටේ‍ර්ලියානු පොලිස් කණ්ඩායම, ඒ ඔත්තුව එදා ඉන්දුනීසියානු පොලිසියට ලබා නොදී, ඔවුන් ගේ ගුවන් ගමන අවසානයේ දී ඕස්ටේ‍ර්ලියාව තුළ දී අත්අඩංගුවට ගත්තේ නම් මේ සිද්ධිය කෙළවර වෙන්නේ මේ ආකාරයට නොවේ.

සාමාන්‍යයෙන් මරණ දඩුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!

මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන එන නො දියුණු සමාජයක නීතියක් වන මරණ දඩුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් එක්කෝ නීතියෙන් ම ඉවත් වී තිබේ, නැතිනම්, ක්‍රියායත්මක කිරීම අත් හිටුවා ඇත.

එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.

විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 103 ක් මරණ දඩුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 50 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙ පිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඩුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඩුවමක් ලෙස භාවිතා නොකරති.

ඒ අනුව මරණ දඩුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 36 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 32 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.

මරණ දඩුවම ක්‍රියාත්මක වෙන ඒ රටවල් 50 අතරිනුත්, අවුරුදු දහ අටට අඩු අය සඳහා මරණ දඩුවම තවමත් නීතිගතව ඇති රටවල් ඇත්තේ තුනක් පමණි. ඒ ඉරානය, සවුදි අරාබිය සහ සුඩානයයි.

මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. මේ දිනවල මැද පෙරදිග සිදුවෙන "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය කල්ප ගණනක් දුර බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුවද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනකම උදාහරණය නම් යහපාලන අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ගේ 2015 ප්‍රකාශයයි.

-රසිකොලොජිස්ට්

(image: http://archives.dailynews.lk/2007/06/27/fea03.asp)

Tuesday, 28 April 2015

යුද්ධය උත්කර්ෂයට නැංවීම අවැඩකි - Don't glorify evil war


පළමුවෙනි ලෝක යුද්ධයේ දී, එවකට මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සංධානය වෙනුවෙන් යුද වැදුණු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බල ඇණි, තුර්කියේ ගැලිපොලි නම් ස්ථානයට කඩා වැදීම සිහිපත් කරන ඇන්සැක් දිනය (ANZAC Day) නම් වූ සැමරුම අප්‍රියෙල් 25 දා ඕස්ට්‍රේලියාව පුරා නගරවලදී ද, තුර්කියේ පිහිටි ඒ ඓතිහාසික යුද බිමේදී ද පැවැත්වුණා. මේ ඇන්සැක් දිනය ඕස්ට්‍රේලියාවේ නිවාඩු දිනයක්. මෙවර පැවති මේ උත්සව මාලාව වැදගත් එකක් වූයේ, මේ වසරේ දී, ගැලිපොලි සටනට හරියටම වසර සීයක් පිරීම නිසායි.

ඒ ගැලිපොලි ආක්‍රමණයේ අරමුණ වී ඇත්තේ කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කරගෙන, ජර්මනිය හා පැවතුණු යුද්ධයට තවත් ප්‍රහාරක මාර්ගයක් විවර කරගැනීමයි.

නමුත්, මාස අටක් පුරා පැවති යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පිලේ බල ඇණි පසු බැස තියෙන්නේ දෙපිරිසෙන් ම ලක්‍ෂයකට වඩා මිනිස් ජීවිතවල විනාශයත් සමගයි.

බ්‍රිතාන්‍ය කොලනි කිහිපයක් ලෙස වෙනම ආණ්ඩු කෙරුණු වත්මන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත එකතු කරමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය බිහිවී ඇත්තේ වසර 1901 දී යි. ඒකීය රාජ්‍යයක් ලෙසින් ඕස්ට්‍රේලියාව මුලින්ම සහභාගී වූ ප්‍රධානතම යුද මෙහෙයුම ලෙසින් සැලකෙන මේ ගැලිපොලි සටන නිසා එක් රටක් ලෙස ජාතිමාමතව්‍යයත්, අසල්වැසි නවසීලන්තය සමග එක පෙරමුණක යුධ වැදීම නිසා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධයකුත්, ඇති වුණු බව සාමාන්‍ය පිළිගැනීමයි.

ඉන් පසු ඕස්ට්‍රේලියාව රටක් හැටියට, දෙවන ලෝක යුද්ධයට සහභාගී වුණා. ඒ බ්‍රිතාන්‍යයේ මූලිකත්වය තිබූ මිත්‍ර පාර්ශවයෙන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර යුද කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වී තියෙනවා. ඕස්ට්‍රේලියාවට එවැනි ගිවිසුමක් වැදගත් වුනේ ජපානය වැනි රකට ආක්‍රමණයක් හමුවේ සහාය ලබා ගැනීම සඳහායි.

නමුත් මේ දක්වා ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවුණු කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය, ගල්ෆ් යුද්ධය, ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්ථාන් යුද්ධය වැනි ඇමරිකාව මූලිකත්වය ගත් යුද මෙහෙයුම්වලට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට සිදුවීමයි.

වියට්නාම් යුද්ධයේ දී, එයට විරුද්ධව රටතුළ ඇති වුණු විරෝධය නිසා යුද්ධය සැමරීම කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ ඉහළින් සිදු කෙරුණු දෙයක් වී නෑ. නමුත් පසුකාලීනව සිදුවුණු ඉරාක යුද්ධය වැනි දේශපාලනික කරුණු මත සිදුවුණු යුද මැදිහත්වීම් නිසා, ඒ ගැන ඇතිවෙන විරෝධය එක් ආකාරයකට යටපත් කරන්නට දෝ, යුද කටයුතු සැමරීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩු මගින් කෙමෙන් කෙමෙන් වැඩිවෙන අවධානයක් යොමු කර ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.

පළමු ලෝක යුද්ධයේ ගැලිපොලි සටනට වසර සියයක් සැමරුණු මේ වසරේ එලෙස යුද්ධය උත්කර්ෂයට නැංවීම උපරිමව කෙරුණු බව හොඳින් පෙනුණා.

මෙහි සෘණාත්මක කූටප්‍රාප්තිය වුණේ, තම ට්විටර් ගිණුම හරහා යුද්ධයට සහ "සෝ-කෝල්ඩ්" රණ විරුවන්ට දැඩි ලෙස සරදම් කෙරුණු සටහන් කිහිපයක් තමන්ගේ 30,000 ක පරිජනයාට බෙදා හැරි රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු සේවයෙන් පහ කිරීමයි.

ඒ නාලිකාව රජයෙන් යම්කිසි ප්‍රමාණයක වාර්ෂික ආධාර ලබන, නමුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් මුදල් උපයන, ස්වාධීනව පවත්වාගෙන යන ආයතනයක්. එසේ වෙතත්, ඒ ට්විටර් පණිවිඩ ගැන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සන්නිවේදන ඇමති, අදාළ බලධාරීන්ට පැමිණිලි කළ බවත්, සේවයෙන් පහ කිරීම සිදුවුණේ ඉන් පසුව බවත් කියායි කියවෙන්නේ.

මෙය හොඳ පෙරනිමිත්තක් නොවන බවයි අද මේ ගැන පැවති වෙනත් නාලිකාවක සාකච්ඡාවක දී කතා කළ කිහිප දෙනෙකුම පැවසූයේ. මගේ අදහසත් එසේමයි.

යුද්ධය යනු උත්කර්ෂයට නැංවිය යුතු දෙයක් නොවේ. රටක් යුද වැදිය යුත්තේ, එය නොකර සිටීම කළ නොහැකි ම නම් පමණයි.

-රසිකොලොජිස්ට්

ඕස්ට්‍රේලියාවේ එස්බීඑස් සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී ස්කොට් මැකින්ටයර් ගේ සේවය අහිමි කළ ඒ ට්විටර් පණිවිඩ මෙසේය.

1. The cultification of an imperialist invasion of a foreign nation that Australia had no quarrel with is against all ideals of modern society (ඕස්ටේ‍ර්ලියාව සමග කිසිදු ආරවුලක් නොතිබුණු විදේශික රටක් අධිරාජ්‍යවාදීන් ලෙස ආක්‍රමණය කිරීමේ ක්‍රියාව වන්දනාමාන කිරීම නූතන සමාජයේ ඇති සියලුම පරමාදර්ශයන්ට එරෙහිව යන්නකි!)

2. Wonder if the poorly-read, largely white, nationalist drinkers and gamblers pause today to consider the horror that all mankind suffered (පොතක් පත්තරයක් කියවා නැති, මුළුමනින්ම වාගේ සුදු හම ඇති, ජාතිකවාදී බේබද්දන් සහ සූදු අන්තුවන් පිරිස අද සමස්ත මිනිස් ප්‍රජාවටම මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීම ගැන අද එක මොහොතක් හෝ නැවතී සිතා බලාවිද?)

3. Remembering the summary execution, widespread rape and theft committed by these "brave" Anzacs in Egypt, Palestine and Japan (මේ අභීත ඇන්සැක් ලා ඊජිප්තුවේ දී, පලස්තීනයේ දී සහ ජපානයේ දී සිදු කළ නඩු නැති දිවි තොර කිරීම්, සැමතැනපතල ස්ත්‍රී දූෂණ සහ සොරකම් සිහිකරමු!)

4. Not forgetting that the largest single-day terrorist attacks in history were committed by this nation & their allies in Hiroshima & Nagasaki. (එක් දිනක් තුළ සිදුවුණු ඉතිහාසයේ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කරන ලද්දේ මේ රට සහ ඔවුන්ගේ මිත්‍රපක්‍ෂ විසින් හිරෝෂිමාවේ දී සහ නාගසාකි හි දී බව අමතක නොකරමු!)

5. Innocent children, on the way to school, murdered. Their shadows seared into the concrete of Hiroshima (පාසල් යමින් සිටි කුඩා දරුවන් මරා දමන ලදී. ඔවුන් ගේ සෙවනැලි හිරෝෂිමාවේ කොන්ක්‍රීට් තුලට කා වැදී ගියේය.) https://pbs.twimg.com/media/CDa-S6MUEAESLXV.jpg


(image: http://www.peace-calendar.org/)

Friday, 24 April 2015

උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ කවියෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix?



මිනිසා ශිෂ්ඨාචාර බිහිකර ගන්නට පෙර පැවතියේ කැලෑ නීතිය යැයි කියවේ. එය ශක්තිවන්තයා ජයගන්නා පරිසරයක් විය. බාහු ශක්තිය වැඩියෙන් ඇති මානවයාට වැඩියෙන් ආහාර, ලිංගික සුවය සහ අනෙකුත් සැප පහසුකම් ලැබෙන්නට ඇත.

ඒ ශක්තිවන්තයින්ට අභියෝග කර ජයගන්නට උත්සාහ කරන අය ද ඉන්නට ඇත. නමුත්, ඔවුන් ගේ අභිප්‍රාය වෙන්නට ඇත්තේ වත්මන් ශක්තිවන්තයා පරදා තමන් ඒ තැන ගන්නට මිස, තිබෙන සම්පත් සැවොම අතර සමව බෙදා ගන්නට නම් නොවේ.

එසේම, ඒ කැලෑ නීතිය රජ කරන කාලයේදීත්, රජ කරන ශක්තිවන්තයින්ට සහය දක්වමින් එමගින් තමන්ට ද ලෙවකන්නට මස් කට්ටක් ලබාගැනීම අරමුණු කරගත් මානවයින් ද සිටින්නට ඇත.

බාහු ශක්තිය කෙසේ වෙතත් ජාන ශක්තිය මත රාජ පරම්පරා බිහිවී රාජධානි ගොඩ නැගුණේ ඉන් පසුවය.

රජු, යුවරජුන්, ඈපාවරුන් විසින් පාළනය කෙරුණු රාජධානියේ සියළුම ඉඩකඩම්, දේපල, වස්තුව හිමි වූයේ රජුටයි. එපමණක් නොව, රාජධානියේ ගම් නියම්ගම් හි ඉපදෙන සෑම හැඩ වැඩ ඇති යුවතියක ගේ ම ලිංගික පහස හිමි වූයේ රජුටයි. එවැන්නියකට රජු ගේ ඇස ගැටුණු ක්‍ෂණයකින් අනතුරුව ජීවිතය ගෙවන්නට සිදු වූයේ අන්තඃපුරයේ ය.

යුවරජුන්ට ද, ඈපාලාට ද, ඇමැත්තන්ට ද, නිළමේලාට ද තම තමන් ගේ බල ප්‍රදේශ තුළ එවැනි බලතල අඩු වැඩි වශයෙන් තිබුණු බව කියවේ.

අද අප ජීවත්වෙන්නේ සැමට සමාන අයිතිවාසිකම් ඇති ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ය. එසේම, සමාජයේ පැවත්මට බලපාන තීරණ ගනු ලබන්නේ බහුතරයේ අවශ්‍යතාවය අනුව වේ. ප්‍රායෝගික හේතු මත මේ සඳහා විවිධ ක්‍රමෝපායන් මහින් මහජන නියෝජිතයින් පත් කර ඇත.

අපේ සමාජයේ පැවැත්ම රදා පවතින්නේ නීතිය මතයි. මේ නීති සාදා අනුමත කර ඇත්තේද, ඒවා වෙනස් කරන්නට බලය ඇත්තේ ද, න්‍යායිකව මහජනතාවට ය.

නීති පද්ධතිය මගින් අප බලාපොරොත්තු වෙන්නේ සමාජයේ සැමට සමානව ජීවත්වීමට පරිසරයක් පවත්වාගෙන යාමයි. නීති කඩන්නන්ට දඬුවම් නියම කර ඇත්තේ ඒ නිසායි.

නීතිය හමුවේ සියළු දෙනාම සමානයින් විය යුතු අතර, නීතිය ක්‍රියාත්මක කිරීමද සර්ව සාධාරණව කළ යුතුය.

නියමිත පරිදි සාධනය වෙන තෙක් සැකකරුවන්, වරදකරුවන් ලෙස නොසැලකෙන්නේ ද, විත්තිකරුවන්ට නීති සහය ලබා දෙන්නේ ද ඒ නිසාය. ඒ ආකාරයට නොපැවැත්වෙන අධිකරණයන් කැන්ගරු උසාවි ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

මා ඒ වැල්වටාරම් සියල්ල ලියුවේ මා උසස් පෙළ සමයේ දී ලියූ මෙන්න මේ කවිය ඉදිරිපත් කරන්නටයි.

නීතිය සහ අවකලනය

නිලයට බලයට ධනයට යටවුනු
යුක්තිය අද අතවැසියෙක් ගානයි
අසාධාරණය රජවුණු ලෝකයෙ
නීතිය අද අවකලනය වාගෙයි

දුප්පත් එකාට එක සැලකිල්ලකි
පෝසත් එකාට තව සැලකිල්ලකි
යුක්තිය නැත නිසි ලෙස පසැඳෙන්නේ
අවලකනය මෙනි තීන්දු එන්නේ

eX සහ k ශ්‍රිතයන් ඇත්තේ
මේවා අවකලනය කළ යුත්තේ
k අවකලනය කළ විට බින්දුව
eX එයමය හරිද තීන්දුව?

අසරණ k ලා නීතිය හමුවේ
දඬුවම් ලැබිලා වැනසෙන්නේ
බලගතු eX ල ට නැත දඬුවම්
යහතින් සැමදා වැජඹෙන්නේ

නීතිය සවි නැති මකුළු දැලක් වේ
මැසි මදුරුවෝ ය පැටලෙන්නේ
තෝරුන්, මෝරුන් සහ මහ වවුලන්
දැල බිඳගෙන ඉගිලී යන්නේ


අද සිදුවෙන දේ සළකා බලන කල අපට පෙනෙන්නේ ද, ඒ කවියෙන් කියවෙන දේ ය.

එනම්:
චෝදනාවක් ලැබීම යනු වරදකරුවෙක් වීම නොවන මුත්, චෝදනාව ලබන පුද්ගලයා ගේ සමාජ තරාතිරම මත, චෝදනාව විභාග කිරීමේ ක්‍රියාවලිය වෙනස් වේ.

අවාසනාවට, එය අද සාමාන්‍ය නීතිය සේ වී ඇත.

අසනීපයකට ප්‍රතිකාර කළ යුතු බව සත්‍යයක් නමුත්, සිරබාරයට පත්වෙන සැකරුවා සමාජ තරාතිරමෙන් ලොක්කෙක් නම් ඔවුන් කෙලින්ම යොමු කෙරෙන්නේ සිර කුටියක සිමෙන්ති ඇඳට නොව, සියළු පහසුකම් ඇති ආරෝග්‍ය ශාලාවක සුවපහසු සියෙස්ටා ඇඳක් මතට ය.

එය ද අද සාමාන්‍ය නීතිය සේ වී ඇත.

අහෝ ඛේදයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
කෙදිනක හෝ මා ලංකාවේ දී සැකපිට අත් අඩංගුවට පත් වුව හොත් මා ද කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට බව ඉඳුරාම කිව හැක. එයට හේතුව මගේ සමාජ තරාතිරමේ ඇති ලොකුකමක් නම් නොවේ.

ප/ප/ලි
සාමාන්‍ය ගණිතය පවා නොදන්නා මරාවාදී බයියන්ට මේ අවකලන උපමාව නොතේරේ නම් ඒ ගැන අවංකවම කණගාටු වෙමි.

ප/ප/ප/ලි
විත්තිකාර සහ පැමිණිලිකාර දෙපිරිසට ම ඔවුන් ගේ තරාතිරම නොබලා සමානව සැලකෙන්නේ නම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී ඉදිරිපත්වෙන සාක්‍ෂි මත පමණක් පදනම්ව, එනම් කලින් ගත් තීරණ අනුව හෝ එක් පිළකට වාසි සහගත ලෙස හෝ උද්වේගය නිසා හෝ ආවේගය නිසා හෝ නොව, විනිශ්චය ලබා දෙන්නේ නම් එය සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් වේ. එසේ නොමැති තැන ඇත්තේ කැන්ගරු උසාවියකි.

මෙහිදී කැන්ගරු යන වචනයේ භාවිතය ගැන විවිධ මත ඇත.

ඉන් එකක් වනුවේ කැන්ගරුවෙකු මෙන් නීතියෙන් උඩින් පැන යෑමක් මේ උසාවි මගින් සිදුවීම නිරූපනය කරන්නට මේ වචනය යෙදෙන බවයි.

තවත් එක් මතයක් වනුයේ කැන්ගරු මවගේ උදරය ඉදිරිපස කුටීරයක් ඇති නිසා, මෙවැනි උසාවියක් ද යම් අයෙකුගේ පොකැට්ටුවේ ඇති බව ඉන් අදහස් කෙරෙන බවයි.

ඊට වඩා ගැලපේ යැයි මා නම් සිතන පැහැදිලි කිරීම නම්, කැන්ගරුවන් සිටින එකම රට වන ඕස්ටේ‍ර්ලියාව සිරකරුවන් ගේ එළිමහන් රැදවූම් කඳවුරක්ව තිබූ සමයේ ඔවුන් කළ වැරදි පිළිබඳව නඩු අසා දඬුවම් දුන් ක්‍රමය මෙයින් අදහස් වෙන බවයි.


(image: http://theplacewithintheabyss.blogspot.com/2010/10/artifact-11-primary-source-incomplete.html)

Wednesday, 22 April 2015

බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද නැතිනම් ගණිතය බැරි අමනයින් ද? - Having fools as your friends will make you a fool as well?


මහින්ද රාජපක්‍ෂවාදීන් ඇතුළු ඔහු ගේ සහචරයින් හැඳින්වීමට බයියන් යන වචනය භාවිතයට ආවේ මුදල් ඇමති ලෙස ඔහු 2014 අයවැය කතාව කියවා අවසානයේ තෙපලූ කටකැඩිච්ච කතාවක් නිසා බව අපි දනිමු.

මේ බයියන් යන සුරතල් වදනින් අදහස් කෙරෙනුයේ අමන මරිමෝඩයින් බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත්, ඊයේ සහ පෙරේදා දෙ දින තුළ, මහජන බයියන් ගේ පාරලිමේන්තුවේ වැඩ සිටිනා නියෝජිත බයි මාස්ටර්ලා ගේ හැසිරීමෙන් නම් පෙනුනේ බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද විය හැකි බවයි.

එසේ වෙතත්, මා මේ ලිපිය මුලට එකතු කර ඇති රූපය ඊයේ රාත්‍රියේ දහතුන්වෙනි වතාවට පමණ වත්පොතේ දී දුටු විට නම්, බයියන් යනු අමුම අමු මෝඩයින්, විශේෂයෙන්ම සාමාන්‍ය ගණිතයවත් නොදත් අමනයින් බව නැවතත් පෙනුණි.

කලින් මේ රූපය වත්පොතේ දී දුටු වතාවල දී, එහි ඇති අමනකම ගැන එය බෙදාගත් අයගේ දැනගැනීම පිණිස, යම් උපහාසාත්මක සඳහනක් කර නතර වූව ද, මෙවර මා මේ සටහන ලියන්නට සිතුවේ කිසියම් වැදගත් හේතුවක් නිසයි.

එනම්, මෙවර මේ රූපය වත්පොතේ බෙදා හැර තිබුණේ, එක්තරා රටක ජාතික ආර්ථික සහ සමාජයික තොරතුරු විශ්ලේෂණය කරන ආයතනයක ඉහල තනතුරක් දරන, මා දන්නා පරිදි වසර තිහක පමණ පශ්චාත් උපාධි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ විශේෂඥයකු වීමයි.

පැහැදිලිවම, ඔහුගේ දැනුමට වඩා බයිකම ඉස්මතු වී තිබුණි. නැතිනම්, ඔහු මෙවැනි රූපයක් බෙදා තමන්ගේ වත්පොත් පිටුවේ මිතුරන් සමග බෙදා ගන්නේ නැති යැයි සිතමි.

දැන් නැවතත් ඒ රූපය දෙස බලමු.



මෙය නිපදවූ, සහ එය වත්පොත හරහා සහ විද්‍යුත් ලිපි මගින් බෙදා හරින, බයියන් එමගින් පෙන්වන්නට හදන්නේ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ඉහල මට්ටමක පැවති කොළඹ කොටස් වෙළඳ පොළ, මෛත්‍රීපාල සහ රනිල් පාලන කාලය ඇතුළත දී කඩා වැටී ඇති බවයි.

මැතිවරණ සමයේ දී, "උඩ දෙකට යට දෙක කැපිලා ගියාම බින්දුවයි!" යනාදී විවිධ කතා ඇසුන ද, බයියන් යනු ගණිතය බැරි අමනයින් බව සාධනය කරගන්නට මෙතරම් හොඳ උදාහරණයක් තවත් ඇතැයි නොසිතමි.

මේ රූපයේ ඇති අමනකම ගැන විශ්ලේෂණයක් කරන්නට යෑම, මේ ලිපිය කියවන බයියන්ට නොමිලේ ටියුෂන් දීමක් වුවත්, අන් අයගේ බුද්ධියට නිගරුවක් විය හැකි නිසා, දැනට එසේ කිරීමෙන් වළකිමි.

අවශ්‍ය අයගේ දැන ගැනීම පිණිස, මේ පහත දැක්වෙන්නේ ඊයේ (21 අප්‍රියෙල් 2015) දින ලබාගන්නා ලද, පසුගිය වසරක කාලය තුල කොළඹ කොටස් වෙළඳ පොලේ සම්මත දර්ශකය වෙනස් වූ ආකාරය ගැන ප්‍රස්තාරයකි.



මෙන්න ගතවුණු තුන් මස ඇතුළත වෙළද පොළ මිළ දර්ශකය වෙනස් වුනු අයුරු දැක්වෙන ප්‍රස්තාරය.



ආර්ථික විද්‍යාවේ මූලධර්ම හෝ කොටස් වෙළඳ පොළේ හැසිරීම හෝ වැනි දේ යනු සාමාන්‍ය දැනුම නොවේ. නමුත් ප්‍රස්තාරයක් කියවීම යනු මා නම් හයේ හතේ පන්තියේ දී ඉගෙන ගත් දෙයකි.

මට ඇති එක දුකක් නම්, මගේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකු වන මගේ වත්පොත් මිතුරාත් මේ අමන රැළට වැටීමයි. අනෙත් අතට, ඒ හෙළිදරව්ව නම් ඉතා වටිනා එකකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිත් කියවන්න.

1. නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි - History may repeat
http://rasikalogy.blogspot.com/2015/01/history-may-repeat.html

2. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

3. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

4. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html

5. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

6. කේන්තියට ලියවෙන කවි - Sad reality of life
http://rasikalogy.blogspot.com/2015/03/sad-reality-of-life.html

7. පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!
http://rasikalogy.blogspot.com/2015/04/come-back-baby-come-back.html

8. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

10. මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya
http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

Monday, 20 April 2015

හදිසියේ සිහි වූ අතීත සිදුවීම් යුගලක් - Random memories


අප අත්විඳින ඇතැම් සිද්ධීන් එකෙනෙහි ම සිත තුළට කිඳා බසී. ඉනික්බිති, සිත ඇතුලේ කාලාන්තරයක් තිස්සේ නිහඬ මතකයන් ලෙස සැඟවී පවතී.

නොසිතු මොහොතක, නොසිතු අයුරින්, ඒ මතක ගොන්නෙන් බිඳක් සිත පතුළේ සිට සිත මතු පිටට ගලාගෙන එන්නේ කිසිම සරල සමීකරණයකින් හෝ සංඛීර්ණ ශ්‍රිතයකින් හෝ විස්තර කළ නොහැකි අහඹු ආකාරයට ය.

ඊයේ සවස් යාමයේ සීතල සුළගින් ගත වෙලී ගිය මොහොතක, කෙලින්ම එකිනෙක සම්බන්ධයක් නොපෙනෙන, එසේම කාල පරාසයෙන් එකක් අනිකෙන් දශක කිහිපයක් දුරස්ථ වූ, ඒ ආකාරයේ අතීත ස්මරණ ද්වයක් මගේ මතකයේ ඉහල ස්තරයට ඉලිප්පුනේ, අවට පරිසරයෙන් කාන්දු වූ සීතල ද අවම කරමිනි.


ඉන් මුල් කතාව මෙසේ ය.

මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ, පළමුවෙනි වසර අවසානයේ දී, අපට තුන් මසක පමණ කාලයක් තිස්සේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරු කාර්යාලවලට අනුයුකත්ව කාලය ගත කරමින් එකල කාර්මික පුහුණුව නමින් හැඳින්වුණු අභ්‍යාසයක නිරත වෙන්නට සිදුවිය.

මේ කාලය අවසාන වූ විට, අපට ඒ පුහුණුව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලියා ඉදිරිපත් කරන්නට නියමව තිබුණි. ඒ දක්වා ගත වූ අධ්‍යයන වසරේ දී අප සිදුකළ විද්‍යාගාර පරීක්‍ෂණයන්ට වඩා කාල පරිමාවෙන් සළකා බලන කල මේ පුහුණුව ඉතා විශාල එකක් වූ නිසා, පෙර කී වාර්තාව ද ප්‍රමාණයෙන් ඉතා විශාල එකක් විය යුතු යැයි අපට අසන්නට ලැබුණි.

මේ පුහුණුව සංවිධානය කිරීමේ පටන්, ඒ වාර්තා කියවා බලා, වාචික පරීක්‍ෂණ පවත්වා, අපේ පාඨමාලාවේ මෙම කොටසින් සිසුන් ඇගයීම පිණිස ඉංජිනේරු පීඨයේ සුවිශේෂී අධ්‍යයන අංශයක් ද පිහිටුවා තිබුණි.

මේ අංශයේ ප්‍රධාන ආචාර්යවරයා සිසුන් විසින් ලියා යොමු කරන වාර්තා පිරික්සා ලකුණු ලබා දෙන ක්‍රමවේදය, අපේ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පැවසූ අයුරින් මෙලෙස වේ.

වාර්තා මිටියක් රැගෙන කොරිඩෝවක බිම තබන ආචාර්යවරයා, ඉන් පසු ඈත සිට දිවගෙන විත් මේ වාර්තා ගොන්නට පාපන්දු පහරක් එල්ල කරයි. ඉන්පසු එක් එක් වාර්තාව සාපේක්‍ෂව කොතරම් දුරකට විසි වූයේ ද යන්න නිරීක්‍ෂණය කර මැන බලනු ඇත.

වැඩිම දුරක් විසිවුණු වාර්තා අසමත් ඒවා සේ නම් කෙරේ. විසි වී නො ගිය වාර්තාවලට විශිෂ්ඨ සාමාර්ථ ලැබේ. අන් වාර්තාවලට ලකුණු ලැබෙන්නේ වාර්තා මිටිය තැබූ තැන සිට ඒවා විසිවුණු දුරට ප්‍රතිලෝමව සමානුපාතිකව ය.

මෙයින් හැඟෙන්නේ ඔහු වාර්තා පරීක්‍ෂණය කර ලකුණු දුන්නේ ඒවා කියවා බලා නොව, වාර්තාවේ පිටු ගණන (බර) අනුව තීරණය කොට බවයි.

කෙටියෙන් කිවහොත්, බර දේ විසි නොවේ. සැහැල්ලු දේ ඉතා ලේසියෙන් විසිවී යයි.


දැන් මෙන්න මගේ සිතේ උඩ ස්තරයට ඉලිප්පී ආ දෙවන මතකය.

මින් වසර කිහිපයකට පෙර මා අපේ ආයතනය විසින් සංවිධානය කරන ලද එක්තරා අධ්‍යයන වැඩ මුළුවකට සහභාගී වීමි.

දේශණ, සාකච්ඡා, සංවාද, අභ්‍යාස, කණ්ඩායම් ක්‍රියාකාරම් යනාදී සුපුරුදු අංගයන්ගෙන් සමන්විත වූ මේ වැඩමුළුවේ එක් අවස්ථාවක, විසි දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අප කණ්ඩායම සිටියේ විශාල ශාලාවක පේලි දෙකකට සෑදී එකිනෙකාට මුහුණ ලා සිටගෙන යම් වාචික අභ්‍යාසයක නිරතවෙමිනි. මේ සඳහා අප භාවිතා කරමින් සිටි මේ පාඨමාලාව සඳහා මුද්‍රණය කරන ලද අත්පොත ඒ මොහොතේ අප අත රැඳී තිබුණි.

ඒ අභ්‍යාසය අවසානයේ දී, අප පිරිස ඊලඟ අංගයට යොමු කරවීම සඳහා, වැඩමුළුව මෙහෙයවූ සම්පත්දායිකාව මෙලෙස කීවා ය.

"හා, දැන් හැමෝම ඔය අතේ තියන පොත් ඔතනම බිමට දාන්න!"

මා හැර අන් සියළු දෙනාම, උපදේශිකාව ගේ ඒ ඉල්ලීම අනුව මුද්‍රිත අත්පොතේ තමන් ගේ පිටපත් බිමට අත හැරියහ.

ඒ වෙනුවට මා කළේ, එම පොත මගේ අමාරුවෙන් මගේ කලිසම් සාක්කුවේ රුවා ගැනීමයි.

එය දුටු උපදේශිකාව නැවත මා අමතා, "නෑ! නෑ!! මං කිව්වේ පොත බිමට දාන්න කියලයි" කියා පැවසීය.

"ඇයි මං එහෙම කරන්නේ? මං එහෙම කරන්නේ නෑ!" මම ස්ථිරව පැවසුවෙමි.

ඒ මගෙන් මතුවූයේ, කුඩා කල සිටම අසා දැන අනුගමනය කළ, පොත්වලට හොඳින් සැලකිය යුතුය යන අදහසයි.


දැන් මේ අතීත ස්මරණ ද්වයේ එකිනෙකට යම් සම්බන්ධයක් තිබේද නැද්ද, තිබේ නම් එය කුමක්ද යනාදිය ගැන සෙවීම, අද සහ හෙට දිනයේ හෝ ඉන් පසුව වුවද මේ ලිපිය කියවන අයට කිසිසේත්ම ප්‍රයෝජනයක් ඇති කාර්යයක් නොවන බව කිව යුතුයි.

ඊට වඩා සිතා වෙහෙස වෙන්නට අවැසි දේ අප අතර අනේකව සිදුවේ!

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

(image: http://agnes-cecile.deviantart.com/art/lines-hold-the-memories-196429806)

Sunday, 19 April 2015

සිනුවරට සිංහල අවුරුද්ද ලබයි - HNY Sydney, Australia


සිංහල කවි බසෙන් සිනුවර යැයි නම් ලද, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අග නගරය වූ, සිඩ්නි පුරවරයට, අද අප්‍රියෙල් 19 ඉරිදා, සිංහල අවුරුදු අසිරිය උදාවෙනු ඇත.

ඒ, සිඩ්නි තදාසන්න යේ "කාසල් හිල්" නගර සීමාව තුල පිහිටි "හාර්වි ලෝ පැවීලියන්" ශාලාවේ සහ ඒ අසල ඇති ක්‍රීඩා පිටියේ දී, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව තවත් ප්‍රජා සංවිධාන ගණනාවක ගේ සහය ඇතිව සංවිධානය කරන සිංහල අවුරුදු උත්සවය අද උදෑසන සිට රාත්‍රිය දක්වා පැවත්වීමට නියමිත නිසා ය.

මෙවර උත්සවය ඉංගිරිසියෙන් නම් කර ඇත්තේ "සන්ෆෙස්ට්" කියායි.

උදෑසන වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව කිරිබත් අනුභවයෙන් ඇරඹීමට නියමිත මේ අවුරුදු උත්සවය, පසුගිය වසර ගණනාවක මගේ අත්දැකීමට අනුව, කුඩා ළමුන්, තරුණ පිරිස් සහ වැඩිහිටියන් සියළු දෙනාටම සහභාගී වී විනෝද විය හැකි, චිත්‍ර පාට කිරීම, අලියාට ඇහැ තැබීම, කණා මුට්ටිය බිඳීම, බිත්තර රේස්, ගෝනි රේස්, තුන් පා රේස් සහ සාමන්‍ය රේස් ඇතුළු විවිධ දිවීමේ තරග, කඹ ඇදීම, සංගීත පුටු ඇතුළු සියළු සම්ප්‍රදායික තරගවලින් සමන්විත දිවා කාලයෙන් ද, විවිධ ඇඳුම් තරගය, අවුරුදු කුමර කුමරි සන්දර්ශනය, ගායන, නර්තන, රංගන සහ කවි මඩුවකින් ද සමන්විත සන්ධ්‍යාවකින් ද හැඩ ගැන්වෙනු ඇත.

සම්ප්‍රදායානුකූලව සියල්ල අවසාන වෙනු ඇත්තේ වේග රිද්ම බයිලා නැටුම්වලිනි.

ලංකාවේ අවුරුදු සන්දර්ශන හුරු පුරුදු අයට මෙහි එකම අඩුව වෙනු ඇත්තේ ලිස්සන ගහ නැගීමයි. ඕස්ට්‍රේලියාවේ ඇති රක්‍ෂණ සහ ආරක්‍ෂණ නීති රීති අනුව, ඒ තරගය නම් කිසි දිනක සිනුවර බක් මහ උත්සවයට එකතු වෙනු ඇතැයි සිතිය නොහැක.

පසුගිය වසරේ (2014) මා බත්තරමුල්ලේ පැවති "සයිබර් බක්මහ උළෙල"ට සහභාගී වුණු නිසා මට සිනුවර උත්සවය මග හැරුණි. ඊට කලින් වසරේ ද, අවුරුදු කාලයේ මා සිටියේ වෙනත් මහාද්වීපයක ය. එනිසා, මෙවර මා සිනුවර බක් මහ උළෙලට සහභාගී වෙන්නේ වසර තුනකට පසුවයි.

එසේ වුවත්, විවිධ කුටුම්භ රක්‍ෂණ හේතු නිසාවෙන් මට අද උත්සවයට සහභාගී වෙන්නට ලැබෙන්නේ ද සවස් වරුවේ සිටයි. මේ වන විට මා සිටින්නේ සිනුවරින් කිලෝමීටර් තුන්සීයක් පමණ උතුරින් පිහිටි පෝට් ස්ටීවන් නම් නගරයේ ය.

කලින් වසරවල දී මා මේ උත්සවයට සභභාගී වූ අවස්ථාවල දී මට පැවරුණු විස්තර කථනය කිරීමේ වගකීම් මැද්දේ ම විසින් ගොතා ගායනා කරන ලද කවි කිහිපයක් ඔබේ රස වින්දනයට පහත දක්වමි.



හැම වසරකටම බක් මස මැද රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියළු දෙනා

අද මෙම "හාර්වි ලෝ" ශාලාවට එක් වී
හොඳ එකමුතු කමින් යුතු එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියළු සැනසෙමු සන්සුන් වී

සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
හොද්දට මිටි කිරක් දා උයලා කන්න
හවසට සයිකලෙන් රවුමක් කැරකෙන්න
ඇත්තට හිතෙනවා මට හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිනුම් අප සැමගේ තරවේවා
එළැඹුණු අවුරුද්ද සැමට ම ජයවේවා!


-රසිකොලොජිස්ට්

(image copyright http://www.thescf.org.au/ and RCBTV.org)

Friday, 17 April 2015

නිමල් මෙන්ඩිස් ගේ මරණය නිසා සිහියට ආ කවියා - Augustus Vinayagaratnam


මාස්ටර් සර්, රන් ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගී සඳහා සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස් ගේ මරණය පිළිබඳ පුවත සහිත විවිධ ලිපි කියවන විට මගේ මතකයට නැගුණේ මා ඉතා කැමති ගී පද රචකයෙකු ගේ නමයි.

ඒ ඔගස්ටස් විනයාගරත්නම් ය.

මෙවැනි නම් දකින විට ඇඟ සලිතවෙන "මනපහතයින්" ද බ්ලොග් කියවන්නන් අතර සිටින බව මම දනිමි.

ඔගස්ටස් විනයාගරත්නම් යනු කවියෙකු, කෙටිකතාකරුවෙකු සහ චිත්‍රපට තිරනාට්‍ය රචකයෙකු ද කියා කියවේ. කෙසේ වෙතත්, මා ඔගස්ටස් විනයාගරත්නම් ගැන දැන ගත්තේ ඔහු ලියූ ගී පද මාලා නිසායි.

ඔහු ලියූ ගී පද මාලා අතරින් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය ගීතය නම් නිමල් මෙන්ඩිස් සංගීතය නිම වූ "ගඟ අද්දර" චිත්‍රපටයේ එන "රන් ටිකිරි සිනා මුව මුව පාලා" විය යුතුයි.

නමුත් මා නම් කැමති මෙන්න මේ ගීත දෙකට යි.

පළමුවෙනි ගීතය - අමරදේව ගයන නිම් හිම් සෙව්වා මා සසරේ

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී, යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළය ගිම් සනහා අප ම යි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ



දෙවෙනි ගීතය- මිල්ටන් මල්ලවාරච්චි ගයන උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා, ළදකි වාසනා, නම මොනාලිසා

හද පාරන මාරුතයේ, ඔබ ආ හැටි ආදරියේ
හැමදාක ම මා පැතු ඒ, සුවදයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුනා ඇය හිරි පොද හැඟුම් සළාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවණයි, නිසල කළේ මගේ හද ජාලා

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා, ළදකි වාසනා, නම මොනාලිසා

හද පාරන මාරුතයේ, ඔබ ආ හැටි ආදරියේ
හැමදාක ම මා පැතු ඒ, සුවදයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා, ඔබ සිනාසුනා, මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා, ළදකි වාසනා, නම මොනාලිසා



අවාසනාවට මෙන්, ඔගස්ටස් විනයාගරත්නම් කියන්නේත්, මහගම සේකර සේ් ම අකාලයේ මිය ගිය කවියෙකි.

-රසිකොලොජිස්ට්

ප/ලි
නිම් හිම් සෙව්වා සංගීතයට සහ නිමල් මෙන්ඩිස්ට ඔබ කැමති නම් මේ වීඩියෝවත් නරඹන්න.



(image: http://www.itn.lk/2012/12/23/sanhinda-2012-12-23/)

Thursday, 16 April 2015

වසර දහයක් සැපිරූ පැරණිතම සිංහල බ්ලොගයකට පොඩි තල්ලුවක් - Blogging for ten years!


සුනාමි ව්‍යවසනයෙන් ලොවම කම්පාවට පත්වූ 2004 දෙසැම්බරයේ එක් දිනයක නිවාඩු පාඩුවේ නිවසට වී පරිගනකය ඉදිරියේ කල් මරමින් සිටි මම, එවකට මා භාවිතා කළ ෆයර්ෆොක්ස් බ්‍රව්සරයට නොමිලයේ ම එකතු කර තිබූ බුක් මාරක් පිරිස්සා බලන්නට පටන් ගතිමි. බ්ලොගර් නම් වූ සේවාව මුලින් ම මගේ ඇස ගැටුනේ එදා ය.

ඒ කුමක්දැයි, කෙලෙස ප්‍රයෝජනයට ගන්නේදැයි, කිසිවක් නොදැන මම ඔහේ ඉබාගාතේ විවිධ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ කරමින් බ්ලොගර් සේවය හා පැය කිහිපයක් ගත කළෙමි. බ්ලොගින් යනු කුමක් දැයි පිරික්සා සොයා බැලුවෙමි.

කලක් තිස්සේ මා අතින් ලියවෙමින් තිබූ කවි සහ ඒ ඇසුරෙන් ගොඩ මා නැගූ ගී පද මාලා අන් අය හා බෙදා ගන්නට මේ බ්ලොගර් සේවාව උපයෝගී කරගත හැකි බව මට ක්‍රමයෙන් පසක් විය.

දැන් ප්‍රශ්ණය වූයේ, සිංහල අකුරු කොයි ආකාරයට භාවිතා කරන්නේ ද යන්නයි.

ඒ වෙන විට දිවයින පුවත් පත කපුටා ඩොට් කොම් නම් ෆොනටික් අකුරු මාලාවකින් අන්තර්ජාලයට එකතු වී කාලයක් ගත වී තිබුණි. මගේ කවි මා පරිගනක ගත කර තිබුණේ ද කපුටා අකුරු ආධාරයෙන් "කෝ-කෝ" ක්‍රමයට කොට කොටා ය.

නමුත් හැම පරිගනකයකම කපුටා අකුරු නොතිබුණි. විශේෂයෙන් ම කාර්යාලවල සිට අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට තමන්ට කැමති අකුරු යොදා ගැනීම සඳහා අවසර නොතිබුණි.

එනිසා මා තීරණය කළේ, මගේ ගී පද මාලා මුලින් කපුටා අකුරෙන් ලියා, දෙවනුව ඒවා රූප බවට පෙරලා, තෙවනුව ඒ රූප බ්ලොගය හරහා අන්තර්ජාලයට එක් කිරීමටයි.

ඒ ආකාරයට වදෙන් පොරෙන් මා සාදා ගත් "පෙම් ගී - http://pemgee.blogspot.com.au/" නම් බ්ලොගයට පසුගිය අප්‍රියෙල් එකොළොස් වෙනිදා වසර දහයක් පිරුණි.

බ්ලොගර් සේවය ඇරඹී ඇත්තේ ඩොට්-කොම් බූම් සමයේ 1999 දී ය. මා බ්ලොගර් හඳුණා ගන්නා විට, එහි අයිතිය ගූගල් සමාගම විසින් මිළට ගෙන වැඩි දියුණු කර නොමිලයේ ලබාදෙන සේවාවක් ලෙස දියත් කර තිබුණි. එසේ නමුත්, බ්ලොග් පෝස්ටුවක් සඳහා රූප ඇතුලත් කිරීම අද මෙන් එක එල්ලේ කළ නොහැකි විය. ඒ සඳහා පිකාසා නම් ගුගල් සමාගම විසින් මිළට ගෙන තිබූ තවත් සේවාවක පිහිට ලබා ගැනීමට සිදුවිය.

එදා පෙම් ගී බ්ලොගය ඇරඹූ 2005 අප්‍රියෙල් 11 දින සිට, 2006 ඔක්තෝබර් දක්වා විටින් විට මා ලියූ ගී පද මාලා විසි පහක් මුලින් සඳහන් කළ ආකාරයට රූප ලෙසින් බ්ලොගයට ඇතුලු කළෙමි.

කලින් මා කළ රැකියාවක දී මුද්‍රණය කළ බිස්නස් කාඩ් ගොන්නක පසුපස "පෙම් ගී" බ්ලොග් ලිපිනය ලියා, සිඩ්නි වාසී මිතුරන් සහ අළුතින් මුණ ගැසෙන අය අතර බෙදා හැරියෙමි. ලොව පුරා මිතුරන්ට මේ ගැන පැවසීමි. මගේ ඊ-මේල් ලිපිවල අගට බ්ලොගයේ ලිපිනය ඇතුළත් කළෙමි. වසර 2005 නොවැම්බරයේ ලංකාවට පැමිණි විට පිළියන්දල අච්චු කන්තෝරුවකින් අළුත්ම බිස්නස් කාඩ් තොගයක් මුද්‍රණය කරගෙන ඒවා ද බෙදා හැරියෙමි. ඒවන විට ජාලයේ තිබූ වෙනත් සිංහල සේවාවන්ට ද මේ ගැන දැනුම් දුන්නෙමි.

මගේ ඒ උත්සාහය තරමක් හෝ සාර්ථක වූ බව කිව හැකියි. ඇමරිකාවෙන්, ඉතාලියෙන්, එංගලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මගේ නිර්මාණ ගැයීමට පිරිස් ඉදිරිපත් වූහ. ඒ කිහිප දෙනෙක් ඒ පද මාලාවන්ට තනු යොදා, සංගීතය මුසු කොට ගීත ලෙස ගායනා කළහ. තවත් සමහරු යම් එම් අත්හදා බැලීම් සිදු කළහ. ඒවායේ දළ පිටපත් ද මා අසා ඇත.

ඊට අමතරව මගේ "පෙම් ගී" අඩවිය දැක මා හා ඊ-මේල් සම්බන්ධතා ඇති කර ගත් තරංග ජයසේන නිසා, අන්තර්ජාලයේ නිමවුණු තවත් සිංහල සාහිත්‍යමය කටයුතු හා සම්බන්ධවන්නටත්, බූන්දි වෙබ් අඩවිය, අක්‍ෂර සෙනග නිර්මාණ එකතුව වැනි දේ සඳහා ආරම්භයේ සිටම සම්මාදම් වෙන්නටත් මට අවකාශ ලැබුණි.

සිංහල යුනිකෝඩ් යුගයට පෙරාතුව, අන්තර්ජාල පහසුකම් බහුලව පැතිරෙන්නට පෙරාතුව (මා එකල භාවිතා කළේ ද 56kbps මෝඩමයක්, ගෙදර දුරකතන සම්බන්ධය හරහායි) මා එදා වසර දහයකට පෙර ගත් ඒ උත්සාහය ගැන අද දශකය සංවත්සරය ගෙවෙන මේ මොහොතේ මට ඇත්තේ ලොකු සතුටකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි කාලයේ දී ඉඩකඩ ලැබෙන අයුරින් පෙර කී ඓතිහාසික සළකුණු එළෙසම තබාගෙන ඵෙම් ගී බ්ලොගයට යම් ආකාරයක පුනර්ජීවයක් ලබා දීමට අදහස් කරමි.

ප/ප/ලි
මගේ පෙම් ගී බ්ලොගය, අද සම්මතයෙන් සිංහල බ්ලොගයක් යැයි සැලකිය නොහැකි බව මගේ අදහසයි. එය සිංහල වචන රැගත් රූප බ්ලොගයක් ලෙස පැවසීම වඩා උචිත වේ.

Wednesday, 15 April 2015

දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


පොඩි කාලේ සිට ම, ලංකාවේ දී අප බිව්වේ තේ කොළ තේ පෝච්චියට දමා එයට උතුරණ උණුවතුර වත්කර පෙරා සාදා ගත් තේ වතුර ය. කඩවල නම් තේ හදන්නේ රෙදිවලින් සාදා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ දමා ඒ හරහා උණු වතුර යැවීමේ තරමක අප්‍රසන්න ක්‍රමයකටයි.

මීට හාත්පසින් ම වෙනස් ආකාරයක තේ බීමේ අත්දැකීමක් මට ලැබුණේ විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර තුනක් පමණ ලංකාවේ ගතකර ඉන් පසු තායිලන්තයේ ආසියානු තාක්‍ෂණ ආයතනයට බැඳුණු දිනයේ ය. මා තේ බෑග් නමින් හැඳින්වෙන කුඩා තේ ගොට්ටකින් තමන් ම තේ හදා බොන්නට පුරුදු වුණේ එහි දී ය.

මිතුරෙකු සමග මුලින්ම ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපන ශාලාවට ගොස් බාට් තුනක් ගෙවා කෝප්පයකට දැමූ තේ බෑගයක් සහ උණුවතුර සහිත තේ කෝප්පයක්, එය තැබූ පීරීසිය මත තිබුණු හැන්දක් ද සහිතව ලබා ගත් හැටි හොඳින් මගේ මතකයේ ඇත. තේ කහට හොඳින් උණන තුරු සිට, කෝප්පයට කිරි සහ සීනි මුසු කරගෙන, අර තේ බෑගය හැන්ද වටා නූලෙන් ඔතා මිරිකා සියළු තේ රස එකතු කරගෙන එදා රස වින්දෙමි.

පසු කළෙක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු, තේ බෑග් භාවිතය හැර වෙනත් තේ හැදිමක් ගැන නොසිතුවේ තේ කොළ පෙරීම, තේ පෝච්චි හේදීම යනාදී තේ කෝප්පයක් රස විඳිමට පරිබාහිර අනවශ්‍ය වැඩ ගැන කරදර වීමට නැති නිසා ය. නමුත්, තේ කොළවලින් ඔරිජිනල් විදියට තේ සෑදීම තරම් මේ තේ බෑග් ක්‍රමය රසවත් නොවෙන බව ඉඳහිට හෝ වෙනත් නිවසකට ගොස් තේ කොළවලින් පෙරූ තේ කෝප්පයක් බොන විට තේරුණි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පසු සිදුවුණු තවත් වෙනස්කම් කීපයක් විය. ඉන් වැදගත්ම වෙනස්කම වූයේ නිකම්ම නිකං "බ්ලැක් ටී" වෙනුවට, චායි තේ, ග්‍රීන් තේ සහ විවිධ පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් තේ වර්ග බොන්නට හැකි වීමයි. ඒ සියලු රස මා විඳින්නේ තේ බෑග් භාවිතා කරමිනි. මේ සමහර තේ බෑග්වල නොතිබුණේ ද තේ කොළ ය.

මේ දැක්වෙන්නේ ඔෆීසියේ ඇති මගේ පුද්ගලික තේ එකතුවයි. (ඔෆීසියේ ඇති ඔෆීෂියල් ලිප්ටන් "බ්ලැක් ටී" මට නම් මෙලෝ රහක් නැත!)



මෙන්න නිවසේ ඇති විවිධ තේ වර්ග එකතුව.



ඉඳහිට එවැනි පළතුරු රස සහ ශාක කොටස් ඇතුළත් වෙනත් තේ වර්ග බොනවා වුවද, උදේ හවා අප නිරතුරු පානය කරන්නේ කටට හුරුපුරුදු කළු තේ ම ය. මුලදී නම අසා සුපුරුදු නිසා ලිප්ටන් යනාදී තේ වර්ග සොයා ගිය ද, පසුව අපට වැටහුණේ, නියම තේ රස ඇත්තේ ලංකාවේ නිෂ්පාදිත ඩිල්මා නම් තේ වර්ගයේ බවයි. මේ තේ වර්ගය මෑත කලෙක සිට ලංකාවේ දී ද මිළට ගත හැකිය.

ඩිල්මා තේ ද වර්ග කීපයක් ඇත. දැන් දැන් මගේ කටට කහට රහ ගෙනෙන්නට සමත් වෙන්නේසාමාන්‍ය මට්ටමේ ඩිල්මා වර්ගය නොව, එක්කෝ එක්ස්ට්‍රා ස්ටේ‍රන්ත් හෝ නැතිනම් සිලෝන් ගෝල්ඩ් වර්ගයයි.

ඕස්ට්‍රේලියාවේ දී මට හුරු වෙන්නට අපහසු වූයේ කිරිපිටි වෙනුවට දියර කිරි දමා තේ බීමයි. කිහිප වරක් උත්සාහ කර එය අතහැර දැමූ මම, ඉන්පසු කිරි පිටි වර්ග කිහිපයක් පරීක්‍ෂණයට භාජනය කර වඩාත් දිවට ගැලපෙන වර්ගය තෝරා ගතිමි. ඕස්ට්‍රේලියාවේ දී තේ කෝපි බීම සඳහා කිරිපිටි භාවිතා කරන්නේ අප වැනි කිහිප දෙනෙකු පමණක් විය යුතුයි. මෙහි මේ කිරිපිටි වර්ග නිපදවෙන්නේ නොයෙකුත් රසකැවිළි වර්ග සහ වෙනත් අතුරු පස සෑදීම සඳහා ය.

තේ සෑදීම හා සම්බන්ධව ගත් කල, මා ඕස්ට්‍රේලියාවේ දී උගත් වැදගත් කරුණු දෙකක් වේ. මේ කරුණු ද්වයම මා උගත්තේ ඒ ඒ ඇසුරුම්වල මුද්‍රණය කර ඇති සාදා ගන්නා අන්දම දැක්වෙන සටහන් කියවා බලා ය.

ඉන් වැදගත්ම කරුණ නම්, තේ වතුර සෑදීමේ දී, සෑම විටම අළුතෙන් කරාමයෙන් ගත් වතුර නටවා ගත යුතු බවයි. වරක් රත් කර නිවූ වතුර නැවත රත් කර තේ සෑදීම යෝග්‍ය නොවෙන බව උගත්තෙමි. ඉන් රසයේ සෑහෙන වෙනස් කමක් ඇතිවේ.

දෙවෙනි කාරණය තේ වතුරට කිරි පිටි දිය කිරීම පිළිබඳවය. ලංකාවේ දී අප නිරතුරු උත්සාහ කළේ, කිරිපිටි සහ සීනි මුලින් එකට කවලම් කර ඉන්පසු එය මතට උණු වතුර මදින් මද එකතු කර තේ කෝප්පයේ කිරි පිටි දිය කිරීමයි. නමුත්, මෙහි අප භාවිතා කරන කිරිපිටි වර්ගය අසුරා ඇති ඇසුරුමේ සඳහන් වන්නේ උණුවතුරට කිරි පිටි මිශ්‍ර කර හොඳින් කවලම් කර ගන්නට කියාය. මා දැන් අනුගමනය කරන්නේ ඒ නොවරදින ක්‍රමයයි.

ඒ හැර මේ මෑත අතීතයේ දී සිදුවුණු තවත් වෙනස්කම් දෙකක් ද ඇත.

මින් වසර පහළොවකට පමණ පෙර, එවකට සිංගප්පූරුවේ සේවය කරමින් සිටි මා මිතුරෙකු අප නිවසට පැමිණ දින දෙකක් පමණ ගත කළේය. ඔහු තේ කියා බීවේ නිකම්ම නිකං කහට තේ පමණි. ඒ ගටැන විමසූ විට ඔහු කීමේ මෙය, ඔහු ජපානයේ වසර දෙකක් පශ්චාත් උපාධියක් හැදෑරූ කාලයේ දී පුරුදු වුණු දෙයක් බවයි.

සිදු වී ඇත්තේ මෙයයි.

ඒ දෙවසරේ කාලය තුල මගේ මිතුරා තම ජපන් ජාතික උපදේශක මහාචාර්යවරයා හමුවෙන්නට ඔහුගේ කාර්යාලයට ගිය සැම වතාවක ම, මහාචාරයවරයා මුලින් ම කර ඇත්තේ ජපන් ක්‍රමයට තේ පෝච්චියක් වත් කිරීමයි. ඉන් පසු ඔවුන් ගේ පරීක්‍ෂණ යනාදිය ගැන සෑම කතා බහක්ම කෙරී ඇත්තේ අර තේ පෝච්චිය කුඩා කෝප්ප පුරවමින් බොන අතරතුර දී ය.

දෙවසර අවසානයේ මගේ මිතුරා, සීනි හෝ කිරි හෝ නොමැතිව තේ බොන්නට පුරුදු විය.

මා ගැන කියනවා නම් දැන් කාලයක සිට, මා ද කාර්යාලයේ තේ පානය කරන්නේ සීනි පමණක් නොව කිරි ද හෝ නොමැතිවය. සීනි කෑම අවම කිරීම යනු, පාන් කෑම අඩු කිරීම මෙන්ම ශරීර සෞඛයට වැඩදායක දෙයකි!

මෑත අතීතයේ දී සිදුවුණු වෙනස්කම් දෙක එලෙස වේ.

තේවල නියම රසය දැනෙන්නේ සීනි සහ කිරි නොමැතිව පානය කරන විට බව මම දැන් දනිමි.

තරුණ කාලයේ දී යම් යම් උත්සව අවස්ථාවලදී එක්කෝ කෝක් හෝ නැතිනම් සෝඩා හෝ එක් කළා වුවද, දැන් නම් නිකම්ම නිකං අයිස් පමණක් පාවිච්චි කරන්නේ ද අන්න ඒ වගේ කාරණයක් නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මැද පෙරදිගින් ඇරඹී අප්‍රියෙල් 8-15 කාලයේ පැවතුණු, ජැස්මින් බ්ලොග් වසන්තයට මගේ සම්මාදම අදින් නිම කරමි.

බ්ලොග් වසන්තය 1 - 8, අප්‍රියෙල් 2015
අප්‍රියෙල් 8 - වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia
අප්‍රියෙල් 9 - මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...!
අප්‍රියෙල් 10 - ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම - Grass for my feet
අප්‍රියෙල් 11 - වසන්තයේ අග දවසක - End of Spring is not end of life
අප්‍රියෙල් 12 - පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title
අප්‍රියෙල් 13 - සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...!
අප්‍රියෙල් 14 - තේකක් බොමු ද? - Any time is tea time
අප්‍රියෙල් 15 - දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?


(image: http://www.kgbclothing.co.uk/newYork.html)

Tuesday, 14 April 2015

තේකක් බොමු ද? - Any time is tea time


තේ බීම පිළිබඳ මගේ ඇති පැරණිම මතකය නම්, වෙල පැත්තේ සිට නිවසට එන ආච්චී "ලොක්කෝ, නැද්ද කහට ටිකක්?" යැයි අසන ආකාරයයි. ඒ අප පරකන්දෙනියේ තාත්තා ගේ මහගෙදර සිටි මුල් කාලයේ ය. ලොක්කෝ කියා කියන්නේ අපේ ලොකු නැන්දාට ය. කහට කියා කියන්නේ ආච්චී බොන තේ වතුරවලට ය.

පසුගිය දිනවල මෙන් සීනි ඇමතිලා නොසිටි නිසා දෝ, ලංකාවේ සීනි හිඟයක් තිබුණු අප කුඩා දරුවන් වූ ඒ කාලයේ පමණක් නොව පසු කාලයේ ද අපේ ආච්චී තේ බීවේ තේ කහට ටිකක් කෝප්පයකට ගෙන අල්ලට දා ගත් සීනි ටිකක් දිවගින් ලෙව කමිනි. තේ බීම කෙසේ වෙතත්, අර සීනි අල්ලට දාගෙන දිවෙන් කෑම නම් ඒ දිනවල මගේ ද ප්‍රියතම කර්තව්‍යයක් විය.

ඇත්තටම මා තේ බොන්නට පටන් ගත්තේ, එනම්, තනිකර කිරි බීමෙන්, තේ වතුරට කිරි සහ සීනි දියකර බීමට පුරුදු වුනේ කොයි කාලයේ දැයි මට නිවරූදිව කිව නොහැක. සමහර විට පාසල් යන්නට පටන් ගත් පසුව විය යුතුයි.

ඒ දිනවල තේ වතුරේ ලේසියෙන් දිය නොවෙන කිරි පිටි වර්ග කැටි නොගැසී දිය කර ගැනීමට අප විවිධ ක්‍රම අත්හදා බලනවා තවමත් මගේ මතකයේ තිබේ. වඩාත් හොඳ ක්‍රමය වූයේ, මුලින් කිරි පිටි සහ සීනි කෝප්පයක එකට කවලම් කර, ඉන් පසු එයට තේ වතුර ස්වල්පය බැගින් යොදා වේගයෙන් කලතමින් ක්‍රමක්‍රමයෙන් තේ කෝප්පය සාදා ගැනීමයි.

ඒ කිරි පිටි සහ සීනි කවලම් කිරීමේ දී, මිශ්‍රණයෙන් අඩක් පමණ, තේ වතුර නොමැතිවම බඩට යෑම යනු මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ අතීතකාමය වඩවන අත්දැකීමක් බවට සැකයක් නැත.

පාසලේ කැන්ටින්වල ද තේ තිබුණද, මා නම් මාලු පාන් ගෙඩියක් කනවා මිසක, කිසි දිනක තේ කෝප්පයක් පානය කර නැත. එසේ නමුදු, දහයේ පන්තියේ සිට මරදානේ ආනන්ද විද්‍යාලයට යාමට පටන් ගත් පසු, මරදානේ සහ කොටුවේ දුම්රිය ස්ථානවල ආපනශාලාවලින් ශත විසි පහකට පමණ මිළදී ගත හැකි ටින්කිරි මිශ්‍ර තේ ඉඩ ලැබෙන පරිදි බොන්නට නම් මගේ අකමැත්තක් නොතිබුණි.

කඩෙන් තේ පානය කිරීමේ මා ලැබූ වෙනස්ම අත්දැකීමක් වූයේ, එක් දිනක් ආනන්ද-නාලන්ද ක්‍රිකට් තරගයක් අවසානයේ අප කණ්ඩායමක් මරදානේ දුම්රිය නැවතුමේ මැද වේදිකාවක තිබුණු ආපන ශාලාවට ගිය දිනයේ දී ය. මා සමග සිටි දෙදෙනෙක් ම බියර් ලබාගත් අතර (හැඳුනුම් පත් පරීක්‍ෂාවක් නොවුණි), හොඳ ළමයෙකු වූ මා ඇනවුම් කළේ තේ ය.

වෙනදා වැයකරන ශත විසි පහ වෙනුවට, බිග් මැච් සන්තෝශය පිට දමා, සල්ලි සල්ලි කියා නොබලා රුපියල් දෙකක් පමණ වියදම් කර මා ලබා ගත් ඒ තේ වඩිය පැමිණියේ පෝච්චියක ය. සීනි සහ කිරි වෙනම අමුතු හැඩයේ භාජනවල අසුරා තිබුණි.

එදා මට ජිවීතයේ මුල්වරට, ආපන ශාලාවක දී, නිවසේ දී මෙන් තේ කෝප්පයක් තමන් ම සාදා පානය කිරීමේ, අත්දැකීම ලැබුණි. අද සිදුවූයේ නම්, වහාම ජංගම දුරකතනයෙන් ඡායාරූපයක් ගෙන, යහපාලන "වයි-ෆයි" උපයෝගී කර ගනිමින් වත්පොතට ඒ ඡායාරූපය සහ විස්තරයක් එකෙනෙහිම ඇතුළු කරන්නට තරම් ඒ සිදුවීම වටිනා එකක් බව කිව යුතුය.

සීනිත්, කිරිත් අවමයකින් යුතු තේ වතුරවල පවා රස විඳින්නට මට හැකි වූයේ පේරාදෙනියේ ය. අක්බාර් භෝජනාගාරයේ කැෆටේරියාවේ ටෙන්ඩරය හිමි කරගෙන සිටි නරියා මුදලාලි ගේ තේ හදන ගෝලයා ලක්ස්ප්‍රේ කිරි පිටි එක් මේස හැන්දකින් තේ කෝප්ප දහයක් සාදන ශිල්පය මනාව ප්‍රගුණ කර තිබුණි. එසේ වුවද, රාත්‍රී එකොළහට තේ කඩය වසන්නට පෙර දවසේ අවසාන තේ කෝප්පය බීමට අපි අමතක නොකළෙමු.

අක්බාර් තේ කෝප්පයට වඩා, ඉංජිනේරු පීඨයේ ආපන ශාලාවේ තේ කෝප්පය ශත කිහිපයක් මිළ වැඩි වුණත් තරමක් හෝ බොන්නට හැකි තත්වයක තිබුණු බවද කිව යුතුය.

ඉංජිනේරු පීඨයේ සේවකයින් සහ ශිෂ්‍යයින් ගේ කමිටුවක් මගින් පවත්වාගෙන ගිය ඉංජිනේරු පීඨ ආපන ශාලාවේ ආරම්භය පිළිබඳ ඉංගිරිසියෙන් ලියවුණු ලිපියක් මෙතැනින් කියවන්න.

http://efacmemories.blogspot.com/2014/07/faculty-canteen.html

පෙර කී සෑම තැනකම වාගේ තේ වතුර සෑදුනේ, තේ පෝච්චියකට හෝ ප්ලාස්ටික් ජොග්ගුවකට දමන ලද තේ කොළ ස්වල්පයකට නටන උණුවතුර එකතු කිරීමෙනි. සමහර ආපන ශාලාවල නම් රෙදිවලින් මසා ගත් පුනීලයක් වැනි ගොට්ටකට තේ කොළ යොදා උණු වතුර ඒ තුලින් යවා තේ වතුර සාදන, මට තරමක් අප්‍රසන්න වූ, ක්‍ර්‍රියාවලියක් ද තිබුණි.

තේ කොළවලින් තේ බෑග්වලට මාරු වුණු ආකාරය සහ තේ බීම ගැන කිව හැකි වෙනත් දේ බොහෝ ය.

ඒවා බ්ලොග් වසන්තයේ අවසන් දිනයට කල් තබමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දෙවෙනි තේ කෝප්පය- http://rasikalogy.blogspot.com/2015/04/afternoon-tea-time.html

(image: http://www.au.timeout.com/sydney/aroundtown/events/32007/mad-hatters-tea-party)

Monday, 13 April 2015

සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...!


මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළේ මුලින්ම වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයටයි. එහි තදාසන්න ප්‍රදේශ තුනක, වසර හයක් පමණ කල් විසීමෙන් පසු ජීවිතයේ සිදුවුණු වෙනස්කම් කිහිපයකට පසුව අප පවුලට නැවතත් සංක්‍රමණයක්, මෙවර රට අභ්‍යන්තරයේ, සිඩ්නි නගරය බලා, කරන්නට සිදුවිය.

සිඩ්නි නගරය ඕස්ට්‍රේලියාවේ පැරණිම නගරය මෙන්ම, ප්‍රමාණයෙන් විශාලතම, වැඩිම ජනගහනයක් වෙසෙන සහ වඩාත්ම වියදම්කාරී නගරය ද වේ. දැනට සාර්ථක දහතුන්වෙනි වසරේ සිඩ්නි තදාසන්නයේ වාසය කරන මට, මේ සුවිසල් නගරය හා ඇති එක ප්‍රශ්ණයක් නම් සිඩ්නි යන නාමය කවි පදයක යෙදිය හැකි ආකාරයේ මටසිළුටු එකක් නොවීමයි.

එලිවැට හෝ එළිසමය රුකීමට සිඩ්නි යන්න යොදා ගැනීම නම් හුදෙක් සිහිනයක් ම පමණි.

මේ ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට සමනලයෙකු මගින් යැවෙන සංදේශ කාව්‍යයක් ”සමනල දූතය” නමින් රචනා කළ සිඩ්නිවාසී හෙන්රි කුමාරප්පෙරුම කවියා ය.

වසර 2005 අග භාගයේ දී හෙන්රි කුමාරප්පෙරුම එකල සභාපතිත්වය දැරූ නිව් සවුත් වේල්ස් හි "ස්කැට්ස්" සංවිධානය මගින් ඉදිරිපත් කළ "සංක්‍රමණික චින්තා" නම් සිංහල කාව්‍යය පිළිබඳ සම්මන්ත්‍රණයේ දී පළ කෙරුණු සඟරාව සඳහා ඔහු රචනා කර තිබුණු කවි පන්තියක සිඩ්නි නුවර යන්න යෙදුම කෙටි කොට -සිනුවර- යන නම නිමවා භාවිතා කොට තිබුණි.

කවියක එළිසමය සහ තාලය රකිමින් යොදන්නට ඉතා අසීරු වචනයක් වන සිඩ්නි යන්නට වඩා "සිනුවර" යන්න කොතරම් යෝග්‍ය දැයි මට එකෙනෙහිම සිතුණි.

මෙල්බර්න් නුවර වසන ගීත රචකයෙකු වන සිසිර දිසානායක විසින් මෙල්බර්න් පුරවරය සඳහා භාවිතයට "මෙපුර" යනුවෙන් මේ ආකාරයේ ම වදනක් නිපදවා තිබේ.

එයින් වසර තුනකට තුනකට පමණ පසු ඕස්ට්‍රේලියාවේ පළවෙන එක් සිංහල මාසික සඟරාවක් වන සන්නස පුවත් පත සඳහා සිඩ්නි විස්තර බිඳක් එකතු කරන්නට මා ඇරඹූ තීරු ලිපිය සඳහා මා යොදා ගත්තේ "සිනුවර හසුන" යන නමයි.

වසර 2008 සැප්තැම්බරයේ සිට වසරකට අධික කාලයක් තිස්සේ සිනුවර හසුන තීරු ලිපිය සන්නස මාසිකයේ පළ විය.

http://sannasa.sinhalajukebox.org/2008/Sep/2008Sep_page12.pdf

පසු කළෙක, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සිඩ්නි ශාඛාව විසින් ඇරඹුණු වාර්ෂික සංස්කෘතික විවිධ ප්‍රසංගයට ද සිනුවර යන නම සහිතව සිනුවර ප්‍රතිභා යනුවෙන් නම් කෙරිණි.

සිනුවර නාමාභිෂේකය ලබූ අළුත්ම දරුවා වන්නේ මැතක දී වත් පොතේ ඇරඹුණු "සිනුවර සිංහල සංවාද" වත්පොත් කණ්ඩායමයි.

සිනුවර සදා දිනේවා යැයි පතමි!

-රසික සූරියආරච්චි (aka රසිකොලොජිස්ට්)

ප/ලි:
සයිබරයේ සිංහල බ්ලොග් වසන්තය ඇරඹී තිබුණද සිනුවර නම් මේ දිනවල ගිලෙමින් ඇත්තේ හේමන්තයේ ය.

(image:http://rcbtv.org/2014/08/06/sinuwara-prathiba-2014-photos/)

Sunday, 12 April 2015

පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title


මේ ලිපිය ලියන්ට පටන් ගතා වේලේ මා ඒ සඳහා මුලින් දුන් මාතෘකාව වූයේ පිං, කුසල් සහ සංඝනායක ලා යන්නය. නමුත්, ස්වල්ප මොහොතකට පසු, එය ඉහත මාතෘකාව ලෙසට වෙනස් කෙරුවෙමි.

මා කියන්ට යන දෙයට මූලය සැපයුනේ බ්ලොග් වසන්තයේත් නිදා සිටින (එනිසා ම හිටපු?) බ්ලොග්කරුවෙකු වන හසිත චාමිකර ගුරුසිංහ විසින් වත්පොත් තබන ලද කෙටි සටහනකි.

පසුගිය දිනවල ලංකා බුද්ධ සාශනයේ, සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක ධුරය හෙබවූ හාමුදුරුවන් අපවත් වූ පුවත නොදන්නා අයෙක් බ්ලොග් කියවන්නන් අතර නැතියැයි කිව හැක. සාමාන්‍ය සිදුවීමක් වන මෙය ලෝක විනාශයට ලඟින් යන එකක් යැයි සිතන්නෝ ද සිටිති.

මගේ අදහස නම්, ඔය සංඝනායක ලා නායකයින් වන්නේ සංඝ සමාජයට පමණක් බවයි. ඔවුන් ගේ නායකකම් ගිහියන් වන අපට වැදගත් නැත. මට නම්, ගමේ පන්සලේ සාදුත්, නායක හාමුදුරුකෙනෙකුත් අතර වෙනසක් නො පෙනේ.

කෙසේ වෙතත්, හසිත චාමිකර ගුරුසිංහ සැපයූ වස්තු බීජය මෙලෙස විය.

තමන් උදෑසන සේවා ස්ථානයට බස් රථයෙන් යමින් සිටියදී, පරලොව සැපත් මහ නායක හාමුදුරුවන් ගේ මෘත ශරීරය රැගත් වාහනය යනු දුටු බවත්, එවිට තමන් හුන් අස්නෙන් නැගිට එයට ආචාර කළ බවත්, ඒ කුමක් සඳහාද යන්න නොදත්, බසයේ සිටි බොහෝ දෙනෙකුට ඒ නැගිටීම පුදුමයක් වූ බවත් හසිත පවසා තිබුණි.

මෙය ප්‍රතිචාර දක්වන හාමුදුරු කෙනෙකු පවසා තිබුණේ, හසිතට පින් සිදුවෙන බවයි.

ඒ අදහස දුටු මට ආ ප්‍රශ්ණය වූයේ හසිත කළ පරිදි, "අසුනෙන් නැගීටීමෙන් සහ මළ සිරුරකට ආචාර කිරීමෙන් පින් සිදුවෙනවා ද?" යන්නයි.

අසුනෙන් නැගීටීම ගැන කියනවා නම්, තමන් බස් රථයේ බොහෝ විට ගමන් ගන්නේ හිටගෙන බව හසිත ඔහුගේ බ්ලොගයේ ලියා තිබුණු නිසා, මෙ දිනද ඔහු හිටගෙන සිටියා නම්, ඒ පින කරගන්නට ඔහුට ඉඩක් නොලැබෙන බව පැහැදිළි ය. එසේ නැතිනම්, බස් රථවල හිටගෙන යන අය, තමන් දැන හෝ නොදැන, නිරතුරුවම පින් සිදු කරගනිමින් යනවා විය යුතුය.

"මියගිය අයෙකුගේ සිරුරට ආචාර කිරීම පිනක් ද? එය අයත්වෙන්නේ දස කුසලයෙන් කවර නම් කුසලයට ද?" යනුවෙන්, වත්පොතේ මා නැගූ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස මුලින් ලැබුනේ, පින් කිරීම ඉතා පහසු වැඩක් බවත්, පව් නොකර සිටීමෙන්ම පින් ලැබෙන බවත් ය.

"පව් නොකර සිටමෙන් පින් ලැබෙනවා නම්, ණය නොවී සිටීමෙන්, එනම්, රිම් එකෙන් යෑමෙන්, ධනවතෙකු විය හැකි නොවේ ද?" යැයි මම ඇසුවෙමි.

සුපුරුදු පරිදි "රේනුකානේ" කියවන ලෙස මට උපදෙස් ලැබුණි.

මේ සංවාදයෙන් මා උකහා ගත් දෙයක් වේ නම් එය දක්වා තිබුණේ හසිත චාමිකර ගුණසිංහ විසින් ම ය.

එය නම්, පින් සහ කුසල් යනු දෙවර්ගයක් බවයි!

සරලව කියනවා නම්, ඒ වෙනස මෙයාකාරය කියා මට සිතුනි.

පින් යනු ද්‍රව්‍යමය දෙයක් සේ ය. එක් ගිනුමකින් තවත් ගිනුමකට මුදල් මාරු කරනවාක් මෙන් අපට වෙනත් අයෙකුට පින් ලබා දිය හැක.

නමුත් කුසල් යනු, තමන්ම එක් රැස් කරගත යුතු දේ ය. හරියට හොඳ මිතුරන් මෙනි. (බොක්කක බොක්කක් බොක්කක් ය යනාදී තර්ක අමතක කරන්න!)

හසිත උපුටා දක්වා තිබුණු පරිදි, දස කුසල් සහ දස පුන්‍ය ක්‍රියා යනු මේ ලෙස වේ.


දස කුසල්
  1. පාණාතිපාතය නොකිරීම
  2. අදත්තාදානය නොකිරීම
  3. කාමමිත්‍යාචාරය නොකිරීම
  4. මුසාවාදය නොකිරීම
  5. පිශුනාවාචය නොකිරීම
  6. පරුෂාවාචය නොකිරීම
  7. සම්ඵප්ප්‍රලාපය නොකිරීම
  8. අභිධ්‍යාව නොමැතිවීම
  9. ව්‍යාපාදය නොමැතිවීම
  10. මිථ්‍යාදෘෂ්ඨිය නොමැතිවීම

දස පුණ්‍ය ක්‍රියා
  1. දානය - තමන් සතු වස්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම
  5. පත්තානුමෝදනා - වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කළ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම
  6. වෙය්‍යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම
  10. දිට්ටිජුකම්ම - බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇති කරගැනීම


ඔබ සැම ගේ සිත් පහන් වේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: shared in Facebook)

Saturday, 11 April 2015

වසන්තයේ අග දවසක - End of Spring is not end of life


මේ කියන්නේ බ්ලොග් වසන්තය ගැන නොවේ. ඒ වසන්තය නම් තාම උදාවුණා විතරකි.

මේ කවිය ලියවුණේ ඒ ගැන නොව එක්තරා පුද්ගලයෙකු ගේ ජීවිතයේ එක්තරා වසන්තයක් නිමා වූ දිනය ගැනයි.

වසන්තය නිමා වුණා කියා දුක්වීමේ ලොකු ප්‍රයෝජනයක් නැතැයි යන්න සත්‍යයකි. ඒ එක් වසන්තයක් ගෙවී, පෘථිවිය දිගටම හිරු වටා කැරකෙමින් ගොස්, තව මාස නමයක් ගෙවුණු කන නැවතත් වසන්තයක් උදා වෙන නිසාය.

නමුත් කවියක් ලියන්නට අවශ්‍ය වූ විට ඒ විස්තර සියල්ල සළකා බැලීම ඇවැසි නොවේ.

මෙන්න ඒ කවිය.

වසන්තයේ අග

අඩ සඳ අහසේ ඉකි බිඳිමින් සිටි
රැය මැදියම අතිනත පටලා
මට මතකයි අප සක්මන් කල හැටි
පිණි පොද වැසි මැද පා නගලා

හිස බමනය කල මියැසිය හැරදා
මහවැලි පටු පාලමෙන් එගොඩ වී
සරසවි උයනේ කොණකින් කොණකට
මල් ලිය වැල් පිරි මගෙහි තුරුළු වී

අවසන් වරටත් ඔබෙ අත සිපගෙන
සමුගත් හැටි මතකයි හද බර වී
ඒ මොහොතේ සිතුනාද කියනු මැන
දුක් වෙන්නට යලි මේ ලෙස හමුවී



"අපෙ ආදරේ සුවඳ තවමත් තියේ!" ගී පද සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

-රසිකොලොජිස්ට්

(http://www.elakiri.com/forum/showthread.php?t=762784 and ESPS-Peradeniya)

Friday, 10 April 2015

ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම (හුදෙක් ම වාර්තාවක් පමණි) - Grass for my feet


මා ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, පෙන්රිත් නම් නගර සභා ප්‍රදේශයේ පිහිටි ග්ලෙන්මෝ පාක් නමැති ගම්මානයේ ය.

මෙය මා ගම්මානයක් යැයි හැඳින්වූව ද සැබැවින් ම කිව යුත්තේ තදාසන්න ප්‍රදේශයක් හෙවත් සබර්බයක් ලෙසිනි. නමුත්, මනරම් උද්‍යාන, ජලාශ, වාහන සඳහා ද, පයින් යන්නන් සඳහාද මාර්ග සහිත, උතුරු පසින් අධිවේගී මාර්ගයකටද, දකුණු පසින් කුඩා වන පෙදෙසකට සහ වගාබිම් කිහිපයකට ද, අනිත් දෙපසින් මහා මාර්ග දෙකකටද මායිම් වූ මේ ප්‍රදේශයේ ඇති සරල සුන්දර බව නිසාම එය ගමක් ලෙස මිස නගරාසන්න පෙදෙසක් ලෙස බොහෝ විට නොසිතෙයි.

මෙහිදී බොහෝ විට යනුවෙන් මා අදහස් කළේ උදෑසන සහ සවස් වරුවේ දුම්රියපොළට යාමට සහ ඒමට මෝටර් රථයෙන් යනෙන අවස්ථාවන් අතහැර බව සලකන්න. මේ දිනවල අපේ උදෑසන අපේ ගමෙන් පිටවීමට ද, සවස ගම කරා ඒමට ද වාහන පෝලිම සැරටම පවතී!

බටහිර ඕස්ටේ‍ර්ලියාවේ අගනුවර වෙන පර්ත් නගරාසන්නව වෙසෙන සිංහල කවියෙකු වර්ග කිලෝමීටර් 6,500 ක වපසරියකින් යුතු, මිනිසුන් මිලියන දෙකක් පමණ ජීවත්වෙන ඒ පර්ත් නුවර හඳුන්වන්නේ පර්ත් ගම යනුවෙන් බව සලකන කල, වර්ග කිලෝමීටර් 8.3 ක් විශාල, විසි දහසක ජනගහණයකින් යුතු මා වසන ග්ලෙන්මෝ පාර්ක් ප්‍රදේශය ගම්මානයක් යැයි සැලකීම අරුමයක් නොවේ.



මා අසා දැන ඇති පරිදි ග්ලෙන් යන ස්කොට්ලන්ත වචනයෙන් අදහස් වෙන්නේ කුඩා නිම්නයක් හෝ කුඩා දියපහරක් ගලා යන ප්‍රදේශයක් යන්නයි. වත්මන් ඕස්ට්‍රේලියාවේ යූරෝපීය පසුබිම නිසා, ග්ලෙන් යන්නෙන් ඇරඹෙන ප්‍රදේශ නාම සිය ගණනක් මෙහි ඇත.

එසේම, මෙය ලංකාවට නුහුරු නමක් ද නොවේ. උදාහරණයක් ලෙස, මගේ බිරිඳ ගේ ලංකාවේ මහගෙදර පිහිටා තිබුණේ "ග්ලෙන් ෆෝල් පාත්" නමැති මාවතකයි. කඳු මුදුන්වල වනාන්තර විනාශ කිරීම නිසා පසු කලෙක මුළුමනින් ම වාගේ සිඳී යන්නට පෙර ඒ මාවත ඇදී ගියේ "ග්ලෙන් ෆෝල්" නමින් හැඳින්වුනු දිය ඇල්ලක් දෙසටයි.

ග්ලෙන්මෝ පාර්ක් ගම්මානය තුළ වෙසෙන ළමුන් සඳහා ප්‍රාන්ත රජයෙන් පාලනය වෙන ප්‍රාථමික පාසල් දෙකක් ද, ද්වීයිතික විද්‍යාලයක් ද පිහිටා ඇත. මීට අමතරව, රජයෙන් ආධාර ලබන නමුත් කතෝලික පල්ලියෙන් පාලනය වෙන ප්‍රාථමික පාසලක් සහ ද්වීයිතික විද්‍යාලයක් ද වේ. මගේ පුතා වසර පහක් ඉගෙනුම ලැබුවේ ඉහත ප්‍රාථමික පාසල් අතුරෙන් අපේ නිවසට ලඟින්ම පිහිටා ඇති ප්‍රාථමික පාසල වූ ග්ලෙන්මෝ පාක් මහජන පාසලේ ය. රජයෙන් පාලනය වෙන මේ මහජන (හෙවත් පබ්ලික්) පාසල් නිර්-ආගමික වේ. ඒ ගැන වැඩි විස්තර පසුවට තබමි.

මා මේ ගම්මානයේ පදිංචියට ආවේ වසර 2002 ඔක්තෝබරයේ දී ය. අපේ ජීවීතවල සිදු වූ යම් යම් වෙනස්කම් නිසා අප සිව් දෙනා, මෙල්බරන් තදාසන්නයේ සිට මේ ප්‍රදේශයට පැමිණියේ ඊට වසරකට පමණ පෙරදී ය. එතැන් සිට, මේ ගම්මානයේ පදිංචියට ඒමට පෙර, අප වසරක පමණ කාලයක් වාසය කලේ මීට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි කිංග්ස්වුඩ් නම් ප්‍රදේශයේයි.

මා මුලින් කී විවිධ කරුණු නිසා කිංග්ස්වුඩ් හා සසඳන විට අපේ ග්ලෙන්මෝ පාක් ගම, සෑබෑ ගමකි. මෙහි මාර්ග සියල්ලම සාදා ඇත්තේ දෙපසටම වංගු සහ වෙනත් මාර්ගයකට සම්බන්ධ නොවී නිවෙස්වලින් ම අවසන්වන කෙටි මාර්ග රාශියකින් යුක්තවය. වංගු පාරවල්වල වාහනය නිදැල්ලේ පදවන සැම විටම පාහේ දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි.

අප ග්ලෙන්මෝ පාර්ක් හි පදිංචියට ආ මුල් කාලයේ බිරිඳත්, මාත් දෙදෙනා ම සේවය කළේ මේ ප්‍රදේශයේ ම ය. නමුත් දැන් මා සේවය කරන්නේ අපේ ගමෙන් කිලෝ මීටර් හැට හයක් පමණ දුරින් ඇති සිඩ්නි නගරයේ උතුරු කෙළවරේ ඇති කාර්යාලයක ය. එනිසා දිනපතා නිවසේ සිට කිලෝ මීටර් අටක් පමණ දුර ගෙවා දුම්රිය ස්ථානයට ගොස් එතැනින් දුම්රියක පැයයි විනාඩි පහළොවක් පමණ කල් ගත කොට නගරයේ පිහිටි කාර්යාලයට යාමට මට සිදුවී ඇත.

ගමනට කෙතරම් කාලයක් ගත වුණ ද, මේ ගම හැරදා සිඩ්නි නගරයට වඩා කිට්ටු ප්‍රදේශයක පදිංචියට යාමට නම් මම නො පතමි.

නිවස කිට්ටුව ඇති පෙන්රිත් නම් නගරයේ රැකියාවක් සොයා ගැනීම ඊට වඩා හොඳ විකල්පයයි. මක් නිසා ද යත්, බිරිඳ සේවය කරන්නේ ද, පුතා පාසල් යන්නේ ද පෙන්රිත් නගරයේ හෙයිනි!

-රසිකොලොජිස්ට්

(මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)

(images: Google maps & http://www.parkviewglenmoreridge.com.au/)

Thursday, 9 April 2015

මගේ ගම පරකන්දෙණිය යි - It is worth 150 Rs. for an undergraduate...!


ඔබේ ගම කුමක්දැයි ඇසුවොත් කිව යුත්තේ කුමක්ද? ඔබ ඉපදුණු ගම ද? පියා ගේ මහ ගෙදර පිහිටි ගම ද? ඔබ හැදී වැඩුණු ගම ද? දැන් ඔබ ජීවත්වන ගම ද?

මා උපන්නේ කොළඹ මහා රෝහලේ ද සොයිසා ප්‍රසූතිකාගාරයේ දී ය. මෙය පිහිටා ඇත්තේ කොළඹ කින්සි පාරේ මරදාන පැත්තේ නිසා මා ඉපදුණු ගම මරදාන ලෙස සැලකිය හැක. මේ ගැබිණි වාට්ටුව පිහිටා තිබුණේ කින්සි පාරේ අනිත් පැත්තේ නම්, මා ඉපදුණු ගම වෙනු ඇත්තේ කුරුඳුවත්ත යි.

නමුත් ඇත්තටම මගේ ගම ලෙස සැළකිය යුත්තේ, මගේ පියා කුඩා කළ සිට හැදුණු වැඩුණු, මගේ ජීවිතයේ මුල් අවුරුදු දහ අටෙන් දොළහක් ම ගත කළ පරකන්දෙණිය නම් වූ ග්‍රාමයයි.

පරකන්දෙණිය ගම පිහිටියේ ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ එක් කෙළවරක ය. එහි මායිම් ගම්මාන වූයේ කොස්සින්න, කටුවාලමුල්ල, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ඇල්දෙනිය සහ ගිණිකොණ දෙසින් කොළඹ-නුවර පාරයි.

ගම හරහා පැයකට වරක් එක් දිසාවකට ගමන් ගත් බස් රථය වූයේ අංක 218 ගණේමුල්ල-කඩවත බසයයි.

විශාල ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු පරකන්දෙණිය ගම මගේ පියා ගේ දෙමව්පියන් දෙදෙනාගේ ම උපන් ගම විය. නමුත්, සීයා ගේ ඥාතීන් සිටියේ අප එකල ඉහල පරකන්දෙණිය නමින් හැඳින්වූ නුවර පාර ආසන්න ප්‍රදේශයේ ය. සීයා සහ ආච්චී පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර පිහිටියේ ගමේ අනෙක් කෙළවරේ ය.

ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි.

අපේ නිවස පිහිටා තිබූ ඉඩමට අල්ලපු වත්ත අයත් වූයේ කොස්සින්නටයි. මා කුඩා කාලයේ පාසල් ගියේ ද, මගේ පියා ගේ මුල් පාසල ද වුණු කොස්සින්න ශ්‍රී ශ්‍රීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයටයි. පරකන්දෙනිය ගමේ ද, මායාදුන්න කණිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් වූ නමුත් අප නිවසේ සිට එය පිහිටියේ කොස්සින්න පාසලට වඩා සාපේක්‍ෂව තරමක් දුරිණි.

අප පෝය දිනට ගියේ ද, කොස්සින්න පන්සලටයි. එය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් පුරාණ රජමහා විහාරයකි. පරකන්දෙණියේ පන්සලට මා කිසි දිනක ගොස් නැත.

අපේ ගමට තැපැල් බෙදුවේ ඉඹුල්ගොඩ තැපැල් කාර්යාලයෙන් වූ නමුත් අප නිතරම ගියේ කොස්සින්නේ පිහිටි උප තැපැල් කාර්යාලයටයි, එසේත් නැති නම්, ගණේමුල්ලේ තැපැල් කාර්යාලයටයි.

කොටින් ම, අපට පරකන්දෙනිය යන නම වැදගත් වූයේ කරුණු දෙක තුනක් සඳහා පමණි.

ඉන් ප්‍රධානම කරුණ නම් තැපැල් සේවය සඳහා භාවිතා කළ යුතු ලිපිනයේ ඇතුලත් කිරීමටයි. ඇත්තටම අප වාසය කරන්නේ කොස්සින්නේ නොව පරකන්දෙණිය නම් ගමක බව මා දැන ගත්තේ ද, පාසලේ දී නිවසේ ලිපිනය ලිවීමට සිදුවූ මොහොතක දී ය. අල්ලපු වත්තේ සිටි මගේ ඥාතියෙකු සහ පාසල් මිතුරෙකු වන ආනන්ද ජයතිලක තම ලිපිනය කොස්සින්න, ගනේමුල්ල කියා ලියද්දී මම ද එසේ ලියූවෙමි. මා වෙසෙන්නේ පරකන්දෙණියේ බව මට කියා පහදා දුන්නේ ආනන්ද විසිනි. (Happy birthday, Ananda)

මීට අමතරව, අපේ සලාක යනාදිය ලැබෙන සමූපකාරය පිහිටා තිබුණේ ද, ග්‍රාමසේවක කාර්යාලය තිබුණේ ද, ඡන්දය දීමට යා යුතු වූයේ ද, පරකන්දෙණිය ගම මධ්‍යයේ පිහිටි විවිධ ස්ථාන වලටයි.

පරකන්දෙණිය යන නම ලංකාවේ වැඩි දෙනෙකු අසා හුරු පුරුදු නමක් නොවේ. එය, එක්තරා දිනයක මගේ වාසියට හේතු විය.

ඒ කතාව මෙසේය.

මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජීවිතයේ වසන්ත සමය ගතකළ කාලයේ දී දිනයක, හදිසියේ ම, විශ්ව විද්‍යාලය වසා දමන ලදී. නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදිනම විශ්ව විද්‍යාල භූමියෙන් පිටත්ව නිවෙස් බලා යන ලෙස පාලකයෝ දැනුම් දුන්හ.

මේ ආකාරයට විශ්ව විද්‍යාලය හදිසියේම වසා දමන විට සිසුන්ට නිවසට යාම සඳහා මුදල් ආධාර දීමේ ක්‍රමයක් එකල පැවතුණි. කුමක් හෝ ඓතිහාසික හේතුවක් නිසා සිසුන්ට ලබා දුන් මේ මුදල් ප්‍රමාණය නීර්ණය කෙරුණේ විශ්ව විද්‍යාලයේ සිට එක් එක් නිවසට ඇති දුර අනුව ය.

නිවස නුවර පලාතේ නම් ලැබෙන්නේ රුපියල් විසි පහකි.

ගම්පහ, කුරුණෑගල, බණ්ඩාරවෙල නම් රුපියල් පනහක් ලැබේ.

නිවස පිහිටියේ ඊටත් දුර නම් රුපියල් හැත්තෑ පහක් හෝ සීයක් ලැබේ.

වැඩිම මුදළ වූ රුපියල් එකසිය පනහක් ලැබුණේ, නිවස යාපනය, මඩකළපුව, ත්‍රිකුනාමලය, මාතර හෝ හම්බන්තොට යන දිස්ත්‍රික්කයක පිහිටා ඇති නම් පමණි.

පීඨ ලේඛකාධිකාරී කාර්යාලයේ දී. අපේ ශිෂ්‍ය වාර්තා පොතේ ඇති ලිපිනය පරීක්‍ෂා කර ඒ අනුව මේ මුදල ලබා දෙන ලදී.

මගේ ගමේ නම වූ පරකන්දෙණිය යන්න සහ තැපැල් කාර්යාලය වූ ඉඹුල්ගොඩ යන්න දුටු පීඨ කාර්යාලයේ ලිපිකරු මේ කොයි දිස්ත්‍රික්කයේ දැයි මගෙන් ඇසුවේය. "රුපියල් එකසිය පනහක දුර!" යැයි මම පැවසූයෙමි.

මාතර දිස්ත්‍රික්කය යටතේ මගේ නම ඇතුළත් කළ ඔහු මට රුපියල් එකසිය පනහක් දුන්නේ ය.

ඊට හරියටම මාස විසි එකකට පසු දිනක, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියා පදිංචි වීමේ දී මට ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසු කලෙක සිදුවුණු ග්‍රාම සේවක වසම් නැවත නම් කිරීමේ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙස අපේ මහ ගෙදර තිබුණු ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ කටුවාලමුල්ල උතුර කියාය. නමුත්, ග්‍රාමසේවකලාට කෙසේ වෙතත්, ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙණිය යි!

(මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)

Wednesday, 8 April 2015

වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia



වසන්ත යන වචනය සිංහල පිරිමි නමක් ලෙස භාවිතා වෙන්නේ එයින් වසන්ත සෘතුව හැඳින්වෙන නිසා බව අප දනිමු. වසන්ති සහ වසන්තා යනු මේ නමේ ම කාන්තා රූපක වේ.

ඒ ආකාරයට ම, හේමන්ත සෘතුව නිසා හේමන්ත/හේමන්තී/හේමන්තා යන නම් භාවිතයට විත් තිබෙන අතර ඉංගිරිසියෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන ගිම්හානය යන්න, ගිම්හාන සහ ගිම්හානී යනුවෙන් පුද්ගල නාම ලෙස භාවිතා වෙන බව ද පෙනේ.

නමුත් ඉංගිරිසියෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන සිසිර යන්න භාවිතා වෙන්නේ පිරිමි නමක් ලෙස පමණකි. සිසිරා හෝ සිසිරී කියා කාන්තා නම් මා දන්නා තරමින් නැත.

මා හඳුනන වසන්ත ලා දෙදෙනෙක් ගැන මට මෙ වෙලේ සිහි වේ. දෙදෙනා ම මැවිසුරුවෝ ය. ඉගෙන ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල දෙකකය. සේවය කරන්නේ දෙ රටක ය.

එක් අයෙක් තම නම ඉංගිරිසියේ ලියන්නේ Wasantha කියා ය. අනෙකා ලියන්නේ Vasantha කියා ය.

මේ දෙයාකාරය ම නිවැරදි විය නොහැක. එසේ නම් නිවැරදි යෙදුම කුමක් ද? Wasantha ද? Vasantha ද?

කලකට ඉහත "සිහි සටහන්" නමින් බ්ලොගයක් (මේ වන විට වසා දමා ඇත!) ලියූ චානුක වත්තේගම වත්පොතේ සටහනක් තබමින් වත්තේගම යන්න ඔහු පාරම්පරිකව Wattegama කියා ලියූවද, එය ඇරඹිය යුත්තේ V අකුරෙන් බව කියා තිබුණි. ඒ සටහනේ දී ම ඔහු බොහොමයක් සිංහල නම් ඉංගිරිසියෙන් ලිවීමේ දී, නිවැරදිව යෙදිය යුතු V වෙනුවට W යොදන බවද වැඩිදුරටත් පවසා තිබුණි. චානුක නොකියූ දේ වූයේ ඔහු (V/W)aththegama කියා නොලියා (V/W)attegama කියා ලියන්නේ ඇයි කියායි. වසන්ත කියා ලියන්නට V යොදන්නන් W යොදන්නන්ට වඩා සාපේක්‍ෂව ඉතා අඩු වුණද, ත-යන්න සඳහා t යොදන්නෝ ද th යොදන්නෝ ද සම සමව සිටිති.

මගේ අදහස වනුයේත් වසන්ත කියා ඉංගිරිසියෙන් ලිවිය යුත්තේ Vasantha කියා බවයි. ඒ මක් නිසාද යත්, ඉංගිරිසි W අකුර ශබ්ද කල යුත්තේ උ-ශබ්දයෙන් පටන්ගෙන බව මා කුඩා කළ ඉගෙන ගත් නිසා ය. ඒ සමගම එය ප්‍රායෝගිකව ද නිවැරදි බව ඉංගිරිසි බස දොඩන්නන් හා ආශ්‍රය තුළින් හඳුනා ගෙන ඇති නිසා ය.

මේ සඳහා හොඳම උදාහරණය ලෙස දැක්වෙන්නේ Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියා බව මා කුඩා කළ කියවූ "ඉංගිලිසියට සරල මග" (බලංගොඩ ආනන්ද මෛත්‍රී) පොතේ දක්වා තිබුණි.

වසන්තය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපට ඇත්තේ පෙර කී V එරෙහිව W අකුරු ප්‍රශ්නය නොව, වෙනස් ම ආකාරයේ ප්‍රශ්නයකි.

ලංකාවේ දී වසන්තය කියූ විට අපේ සිහියට එන්නේ මල් පිපෙන, පලතුරු සෑදෙන මාර්තු-අප්‍රියෙල්-මැයි කාලයයි. අවුරුදු උත්සවය මෙන්ම අප්‍රියෙල් මාසයේ නුවරඑළිය වැනි ප්‍රදේශවල පැවැත්වෙන උත්සව ද "වසන්ත සැණකෙළි" ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ප්‍රජාව ලංකාවේ දී මෙන් අප්‍රිියෙල් මාසයේ දී සිංහල අළුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරති. මෙහිදී ප්‍රධාන තැනක් ගන්නේ අවුරුදු ක්‍රීඩා, විවිධ ඇඳුම් සංදර්ශනය, අවුරුදු කුමාරී සංදර්ශනය සහ විවිධ සංගීත, නර්තන, රංගණාංගයෙන් යුතු වූ අළුත් අවුරුදු උත්සවයයි.

මීට අමතරව කාලයක් තිස්සේ සිඩ්නි නගරයේ පැවැත්වෙන "බක්මහ රංගන" නම් වූ විවිධ ප්‍රසංගයක් ද වේ. මේ ප්‍රසංගය එක් වසරක නම් කෙරුණේ වසන්තයේ රාවය යන අරුත දෙන "වසත් රාව" යන නමිනි.

එහි තිබූ නොගැලපීම නම් මෙයයි.

ඕස්ට්‍රේලියාව පිහිටා ඇත්තේ ලෝකයේ දක්‍ෂිණාර්ධගෝලයේ ය. මේ ප්‍රදේශය අප්‍රියෙල් මාසයේ දී ගත කරන්නේ හේමන්ත සෘතුවේ ය. ඉන්පසු ජූනි මුල සිට අගෝස්තු අවසානය දක්වා සිසිර සෘතුව ගෙවී ගොස්, වසන්ත සෘතුව ලබන්නේ සැප්තැම්බරයේ ය!

බක් මාසයේ පැවති විවිධ ප්‍රසංගය අපේ ඇත්තන් විසින් "වසත් රාව" ලෙස නම් කෙරුණේ කාලය, දීපය, දේශය ගැන හිතා නොව "මව" ගැන සිතා බව පැහැදිලි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!

(image: https://www.facebook.com/groups/693226280782347/)

Monday, 6 April 2015

නිවාඩු පාඩුව - My great loss in 2015


ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන අයෙකුට මුහුණ දෙන්නට වෙන කටුක සත්‍යයක් වනුයේ සති අන්තයන් හැරුණු විට ඇති පොදු නිවාඩු දිනවල අඩුකමයි.

ලංකාවට ආවේනික වූ පෝය නිවාඩු, සිංහල අලුත් අවුරුදු නිවාඩු යනාදිය මෙරට එළෙසම නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඊට අමතරව වුනත් පොදු නිවාඩු දින ඇත්තේ අල්පයක් පමණි.

උදාහරණයක් ලෙස මා වසන නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ 2015 වසර සඳහා නියමිත පොදු නිවාඩු දිනයන් මෙසේය.

ජනවාරි 1 දා      අවුරුදු දිනය (දිනය ස්ථිරයි)
ජනවාරි 26ඕස්ට්‍රේලියා දිනය (දිනය ස්ථිරයි)
අප්‍රියෙල් 3මහ සිකුරාදා (සැමවිටම සිකුරාදාවකි)
අප්‍රියෙල් 6පාස්කු සඳුදා (සැමවිටම සඳුදාවකි)
අප්‍රියෙල් 25ඇන්සැක් (ANZAC) දිනය (දිනය ස්ථිරයි)
ජූනි 8රැජින ගේ උපන් දිනය (සැමවිට ම සඳුදාවකි)
ඔක්තෝබර් 5කම්කරු දිනය (මෙය ද සැමවිට ම සඳුදාවකි)
දෙසැම්බර් 25නත්තල් දිනය (දිනය ස්ථිරයි)
දෙසැම්බර් 26බොක්සින් දිනය (දිනය ස්ථිරයි)
දෙසැම්බර් 28රජයේ සේවක අමතර නිවාඩු දිනය
(දිනය ස්ථිර නැත. එය නියම කරන්නේ දෙසැම්බර් 25 සහ 26 යෙදෙන
දවස අනුව දිගු නිවාඩුවක් ලබා දීමටය.)

ඕස්ට්‍රේලියාවේ අන් ප්‍රාන්තවල සමහර නිවාඩු දින වෙනස් දිනවලට යෙදේ. උදාහරණයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු දිනය යෙදෙන්නේ මාර්තු මාසයේ සඳුදාවක ය.

මේ නිවාඩු දින සමහර ඒවා ස්ථිර දින වූවත්, අන් දිනයන් සැම විටම සඳුදා දිනවලට නියම කෙරෙන්නේ වැඩකරන ජනතාවට දිගු සති අන්තයක් ලබා දීමට බව කිව යුතුය. මේ සඳහා හොඳම උදාහරණය රැජින ගේ උපන් දින නිවාඩුව වේ. එලිසබෙත් ආච්චි පරලොව ගොස් චාලි ගොයියා රජ වුණු පසුව ද, නම පමණක් වෙනස් වී මේ නිවාඩු දිනය සඳුදාවක් ලෙස ම පවතිනු ඇත.

මා සේවය කරන්නේ නිව් සවුත් වේල්සයේ ප්‍රාන්ත රජයට සම්බන්ධ ආයතනයක් වන මාර්ග සහ ජලාප්‍රවාහන සේවාවේ ය. අපේ රැකියා ගිවිසුමට අනුව හිමිවෙන සාමාන්‍ය පුද්ගලික නිවාඩු වන වාර්ෂික නිවාඩු, ලෙඩ නිවාඩු යනාදියට අමතරව සෑම සති හතරකට ම වරක් එක දිනයක නිවාඩුවක් තමන්ට කැමති දිනයක (ඉහල නිලධාරියා ගේ අනුමැතියට යටත්ව) ලබා ගත හැක. ඒ සඳහා ඇති අනිත් කොන්දේසිය නම්, සෑම සතියක ම සේවා කාලය වෙන පැය තිස් පහ වෙනුවට පැය දෙකක් පමණ වැඩිපුර සේවය කිරීමයි. එවිට සති හතරකට පසු පැය හතහමාරක අතිරික්තයක් ඇති වේ.

මේ නිවාඩුව, තම තමන් කැමති ආකාරයට ගත හැකි (හෝ නොගෙන සිටිය හැකි) නිසා, හැඳින්වෙන්නේ නම්‍ය (flexible) නිවාඩුව ලෙසිනි.

මීට අමතරව, විවිධ සංස්කෘති සහ ආගම්වලට අදාල වෙන දින රාශියක්, සේවකයින්ට කැමති පරිදි තමන් ගේ පුද්ගලික නිවාඩු ගැනීමට, රජය මගින් අනුමත කර ඇත. පිටු ගණනාවක් දිග මේ ලයිස්තුවට ශ්‍රී ලංකා ජාතික දිනය, සිංහල අලුත් අවුරුද්ද සහ වෙසක් දිනය ද ඇතුළත් වේ.

නත්තල සහ ජනේරුව සහිත දිගු නිවාඩුවෙන් පසුව අපට දිගු නිවාඩුවක් ලැබෙන්නේ මහ සිකුරාදා සිට පාස්කු සඳුදා දක්වා ය. අප්‍රියෙල් පාසල් නිවාඩුවද බොහෝ විට මේ වෙන විට ඇරඹී ඇති නිසා මේ දින හතරේ නිවාඩුවේ තම පවුලේ අය සමග ගමන් බිමන් යෑම බොහෝ දෙනෙකු ගේ සිරිතයි. මේ නිසාම නගරයෙන් පිටත ඇදෙන ප්‍රධාන අධිවේගී මාර්ගවල සෑහෙන තදබදයක් සිකුරාදා උදේ වරුවේ මෙන්ම, සඳුදා සවස් වරුවේ ද ඇතිවේ.

මේ තත්වයට එක පිළියමක් ලෙස හඳුන්වමින් අපේ ආයතනය විසින් සේවකයින්ට දී ඇති සහනයක් නම්, එක්කෝ මහ සිකුරදාට පෙර දිනය හෝ නැතිනම් පසු සතියේ අඟහරුවාදා දිනය අමතර නම්‍ය නිවාඩුවක් ලෙස ගැනීමට අවසර දීමයි. එය අදාල දින දෙකෙන් දින භාගයක් බැගින් ද ලබා ගත හැක.

නමුත් ඔය සියළු නිවාඩු ලබා ගත හැක්කේ තමන් ගේ රැකියාවේ ඇති වගකීම් අනුව බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවර මගේ නිවාඩු පාඩුව ඇති වූයේ එලෙසයි.

හෙට අඟහරුවාදා අපේ අංශයේ කළමනාකරුවන් ගේ රැස්වීමක් දවස පුරා පැවැත්වේ. මේ රැස්වීමේ වැඩ කටයුතු සඳහා ප්‍රධාන වගකීමක් මට පැවරී ඇත. එනිසා, ආයතනය මගින් ලබා දෙනු ලැබූ අමතර නම්‍ය නිවාඩුව එදිනට ලබා ගැනීමට මට නොහැකි ය.

අවාසනාවට මෙන්, මේ දින හතරේ නිවාඩුව නිසා ම, එළැඹෙන අඟහරුවාදා රැස්වීමට අදාල වැඩ කටයුතු රාශියක් මට පසුගිය බ්‍රහස්පතින්දා ඉටු කිරීමට තිබුණි. එ නිසා, එදින මේ අමතර නම්‍ය නිවාඩුව ගැනීමට මට හැකියාවක් නොතිබුණි.

මගේ නිවාඩු පාඩුව එයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපියේ අරමුණ සිඩ්නි ජීවිතය පිළිබඳ යම් අදහසක් නොදන්නා අයට දීම බව සළකන්න.

(image: http://www.sqrft.net/2010/03/office-manager/)

Saturday, 4 April 2015

සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen


පවතින රජයට, වත්මන් ජනාධිපතිට සහ ඔවුන් බලට පත් කිරීම සඳහා ඡන්දය දුන් අයට ගහලා හෝ මහින්ද රාජපක්‍ෂ යළි බලයට ආ යුතු බවට "මාස්ටර් සර්" ට "වියෝ ගී" ගයන නීලා වික්‍රමසිංහ නම් නළාකාරිය ගේ ප්‍රකාශයක් අද සයිබර් අවකාශයේ හෝ හෝ ගා හිට් වෙමින් පවතී.

මේ කතාව පසුගිය ජනවාරි නමවෙනි දා හෝ ආසන්න දවසක මැදමූලන ගම්-බයියෙකු ගේ කටෙන් මුලින් ම ඇසුණු වෙලේ එහි අප බොහෝ දෙනෙකුට පුදුමයක් නො තිබුණි.

නමුත්, නීලා වික්‍රමසිංහ වැනි අයෙකු ගේ "රන් ටිකිරි සිනා" නැගුණු මුවින් මෙවැනි පඩත්තල වදන් වැලක් පිටවීම අබුද්දස්ස යුගයක පෙර නිමිත්තක් දෝ හෝ සිතට කම්පා ගෙන දෙන්නකි.

මේ කතාව සහ මෙවැනි තවත් කතන්දර රාශියක් නිසා මේ දිනවල සයිබර් අවකාශයේ වැදගත් මාතෘකා කිහිපයක් ම සහෘදයින් අතර සාකච්ඡාවට බදුන් වෙමින් ඇති බව පෙනේ.

ඉන් එකක් නම්, "කලාකරුවෙකු ගේ නිර්මාණයක්, ඔහු ගේ හෝ ඇය ගේ දේශපාලනය අමතක කර, අපට රස විඳිය හැකි ද?" යන්නයි.

ඒ ප්‍රශ්නයට එළැඹෙන්ට කලින් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම් ගායකයෙකු හෝ ගායිකාවක යනු කලාකරුවෙක් ද යන්නයි.

මා නම් කලාකරුවෙකු ලෙස අර්ථ දක්වන්නේ තම හැකියාවකින් යම් කිසි නිර්මාණයක් බිහිකරන පුද්ගලයෙකි. මේ නිර්වචනයට අනුව මට නම් වෙනකෙක් ලියූ පදවැලක්, වෙනකෙකු ගේ තනුවකට සහ සංගීතයට තවත් පිරිසක් විසින් කරනු ලබන සංගීත භාණ්ඩ වාදනයක් පසුබිම් කරගෙන ගායනා කරන අයෙකු කලාකරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.

එක් ගායකයෙකු ගේ හෝ ගායිකාවක ගේ ගීතයක් තවත් අයෙකුට ගායනා කළ හැකි වන්නේ ඒ නිසා ය. උදාහරණයක් ලෙස, නෙවිල් ප්‍රනාන්දු ගැයූ මාස්ටර් සර් ගීතය නීලා වික්‍රමසිංහ ගයන්නීය. ඇය කලාකරුවෙකු ද? භාතිය සහ සන්තූෂ් නම් නළාකාර බාන සහ පිරිසක් ද එම ගීය ම ගයති. ඔවුන් එහි දී කලාකරුවන් ද?

මට නම් ඒ ගීතයේ කලාකරුවන් නම් සංගීතය නිර්මාණය කළ නිමල් මෙන්ඩිස් ය. සිංහල පදවැල ලියූ කරුණාරත්න අබේසේකර ය.

ඒ කතාව එතැන තබා මගේ මුල් ප්‍රශ්නයට යොමුවෙන්නේ නම්, නැවතත් මට නම් යමෙකු ගේ දේශපාලනය අමතක කර ඔවුන් විසින් නිමවන කලාකෘතියක් හෝ ගයන ගීතයක් රස විඳිය නොහැක. දේශපාලනය නොබැස හෝ ඒ ගැන කතාබහ නොකර, තමන්ගේ නිර්මාණකරණය කරන අය සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්නයක් පැන නො නගී.

මෙය කියවන සමහරු මා හා එකඟ වෙනු ඇත. මා හා එකඟ නොවන්නන් මෙය මගේ රසිකත්වයේ අඩුවක් ලෙස දකින්නට ද ඉඩ ඇත.

ජැක්සන් ඇන්තනි ගේ රඟපෑම්වලින් මට අද අවංකව ම රස විඳිය හැක්කේ "වැලන්ටයින් උතුමාණනි, මා ඔබේ බලු කුක්කා පැබ්ලෝ" නමැති ගීතමය ජවනිකාව පමණි. අන් සියල්ල මට ඔක්කාරය ගෙන දෙයි.



මෙයින් ඇතැම් විට වාසි ද සිදුවේ.

උදාහරණයක් ලෙස මීට වසරක එකහමාරකට පමණ පෙර සිඩ්නි නගරයේ ප්‍රදර්ශනය කළ "කුස-පබා" හෝ "සිරි පැරකුම්" හෝ එවැනි චිත්‍රපට මම මේ හේතුව නිසාම නැරඹීමට නොගියෙමි. එයින් මට ඉරිදා හවස් වරුවක කාලය ඉතුරුවීමට අමතරව, ඩොලර් විස්සක් ටිකට් පත් ගාස්තුවත්, ඩොලර් පහක පමණ පෙට්‍රල් වියදමත්, පැය තුනකට වඩා එක විනාඩියක් හෝ රවුස් හිල් සංඛීර්ණයේ වාහනය ගාල් කරන්නට සිදුවී නම් ගෙවන්නට සිදුවෙන ඩොලර් පහක ගාස්තුවත් ඉතුරු විය.

මේ දිනවල ලැබෙමින් ඇති "ආරංචි"වලට අනුව සමහර විට ජූලි මාසයේ දී පමණ මීටත් වඩා මුදලක් නාස්ති නොවී ඉතුරු කරගෙන පින් අතේ වැඩකට යොදන්නට මට හැකිවෙනු ඇත!

නරක නෑ නේද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනාධිපති ඡන්දයේ දී මහින්ද රාජපක්‍ෂට සහයෝගය දැක්වූ කලාකරුවන් කියා ගන්නා පිරිස ඡායාරූප සහිතව පහත දිගුවෙන් බලා ගත හැකිය.
http://www.sinhayanews.com/news/artists-join-hands-support-president-mahinda-election

මේ සියළු දෙනා නීලා වික්‍රමසිංහ පෙර කී ප්‍රකාශය කළ රැස්වීමට සහභාගී වූයේ නැති යැයි සිතමි. එසේම ඔවුන් සියළු දෙනා ඇය ගේ ඉහත "ගහලා බලය ගැනීම"ට කළ යෝජනාව අනුමත කරනවා යැයි ද නො සිතමි!

(image: http://123soleil.deviantart.com/art/CBNS-Henchmen-332600709)

Thursday, 2 April 2015

පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!


හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හෙවත් මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට එන බව අනුමාන කළ හැක.

ඔහු ඒ බව කෙලින්ම කියා නැති නමුත්, විමලසේන ඇතුළු හෙන්ච්මන් ලා කරන ගෝෂාව නිසාත්, එනවාදැයි අසන විට නැතියැයි කෙලින් නොකියන නිසාත්, ඔහු යළි නොඑනවා යැයි සිතීමට වඩා, එනවා යැයි සිතීම වඩා ප්‍රායෝගික බව පෙනේ.

මගේ අවංක අදහස නම් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියහොත් වඩාත් හොඳ බවයි.

එයට හේතු කිහිපයකි.

ඔහු බලයේ සිටි කාලයට හෝ ජනාධිපති ඡන්දය පැවැත්වුණු කාලයට හෝ වඩා හොඳින්, පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිසා, අද වන විට මට මා දන්නා හඳුණන අය අතරින් ජාතිවාදීන් යනු කවුරුන්දැයි වෙන්කර හඳුණා ගැනීමට හැකි වී තිබේ. ඡන්දය පැරදුණු දිනට පසු ඒ ආසන්න කාලයේ දී, දුකෙන් තැවෙන රාජපක්‍ෂවාදීන් කෙරෙහි මගේ සිත තුල ඇති වූයේ සැබෑ දුකකි. සන්තාපයකි. ඒ ඔවුන් ඒ දිනවල නැගූ හද කකියවන විලාපය නිසා ය.

අද වන විට ඒ විලාපය, එකම ජාතිවාදී උඩු බිරුමක් බවට පත් වී තිබේ. මිතුරන් ද, මිතුරන් නොවන අය ද අතරින් ජාතිවාදීන් කවුරුන්දැයි මට හඳුනා ගැනීමට ඉතා පහසු වී ඇත්තේ ඒ උඩු බිරුම නිසා ය.

මීට කලකට පෙර මා ලැබූ අත්දැකුමක් ගැන සිහි කරනවා නම්, කුරිරු මිනී මැරුමක ඡායාරූපයක් දුටු විට, ඒ ගැන කම්පාවන්නෝ ද, නිහඬව සිටින්නෝ ද එක සේ සිටිති. ඒ නිහඬව සිටින්නන්ගෙන් බහුතරයක් එසේ ඉන්නේ විස්සෝපයෙන් තුෂ්නිම්භූත වී හෝ මුව ගොළු වී හෝ නොවේ. ඔවුන් නිහඬව සිටින්නේ ඒ අදාල මරණය නිහඬව අනුමත කරමිනි.

මේ අතර තව පිරිසක් කරන්නේ මිනී මැරුම සනාථ කෙරෙන ඡායාරූප ගත් කැමරාවේ වර්ගය හෝ නාභිදුර හෝ වැනි තාක්‍ෂණික කරුණු මතු කිරීමයි.

පශ්චාත් ජනාධිපති ඡන්ද වාතාවරණය තුල ද එළෙස නිහඬව සිටින්නන් ද, කැමරාවේ පිරිවිතර සොයන්නන් ද එමට ය.

රාජපක්‍ෂ නැවත ඡන්දයකට ඉදිරිපත් වුවහොත්, දැනට හඳුණාගෙන ඇති ජාතිවාදීන් පිරිසට අමතරව තවත් කීප දෙනෙක් හෙළිදරව් වෙන්නට ඉඩ ඇති බව පෙනේ.

මා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත කරලියට කෙලින්ම එනවා නම් අවංකවම ඒ ගැන කැමති වෙන්නේ මූලිකව ම අන්න ඒ ආත්මාර්ථකාමී හේතුව නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජ්‍යොතිෂය තවමත් විශ්වාස කරන අයට මෙන්න සිතන්නට පොඩි නිමිත්තක්.

තම නීත්‍යානුකූල සේවා කාලය නිම වෙන්නට තව වසර දෙකක් ම තිබිය දී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හදිසි ජනාධිපති ඡන්දයක් ජනවාරි අටවෙනි දින පැවැත්වූයේ ඇයි ද කියා දන්නවා නොවේද?

ඒ, පසුගිය දෙසැම්බර් මාසය සහ ජනවාරි මාසයේ අටවෙනිදා දක්වා කාලය ජ්‍යෝතිශ්‍යානුකූලව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ගේ ජීවිතයේ උච්ඡතම අවස්ථාව නිසා ය.

ඡන්දයක් දිනනවා නම්, ජ්‍යෝතිෂ්‍යයට අනුව, දිනන්න තිබුණේ ඒ කාලයේ දී ය.

එතැනින් ඔබ්බට ඇත්තේ පල්ලම් බැසීමේ කාලයයි!

(image: http://evil.gua-le-ni.com/)