Thursday 11 May 2017

ඔළු බක්කන් නැටවීම තහනම් - Ban on "big headed" people


අප්‍රියෙල් අලුත් අවුරුද්දට ලැබෙන අමතර නිවාඩු දවස, අවුරුදු උදාවට පෙර ලැබෙතත්, වෙසක් එකට අමතර නිවාඩුව දෙන්නේ පෝයට පසු දිනය වීමට හේතුව ලෙස මා කීවේ එසේ කරන්නේ වෙසක් පෝයට පසුව දා ඔළු බක්කන් නටවන්නට ඉඩ දෙන්නට බවයි.

නමුත්, අප කුඩා කාලයේ දී රස විඳි ඒ ඔළු බක්කන් නැටවීම අද ලංකාවේ නිල වශයෙන් ම හෝ එසේ පනතකින් සම්මත වී නොමැතිව හෝ තහනම් වී ඇති බව නම් දැන් පන්සල්වලට බාර හාර වී, ඉන්ටර්වීව් සමත්වුණු පොලිස්පති ගේ පහත නියෝගයෙන් පෙනේ.



අප කුඩා කාලයේ පැවැත්වුණු ඔළු බක්කන් සංදර්ශනවල වැඩි වශයෙන් ම තිබුණේ ජේ.ආර්. සිරිමා වැනි දේපාලුවන් ගේ ඔළු ගෙඩි ය.

පත්තර පල්ප්වලින් සාදන ලද විශාල ප්‍රමාණයේ ඔළු ගෙඩි තුළට තම හිස් ඔබා ගත් තරුණයින් විසින් ජනප්‍ර්‍රිය ගීතයක තාලයට අත පය විසි කරමින් නටනවා හැරෙන්නට මේ ඔළු බක්කන් සංදර්ශනවල ඇති වෙනත් දෙයක් නොතිබුණි.

නාට්‍යමය ජවනිකා හෝ දෙබස් හෝ තිබුණා යැයි මම කිසිසේත් ම නොසිතමි.

ඔළු බක්කන් ඒ ප්‍රාථමික අඩවියේ සිට තරමක් වැදගත් තැනකට ආවේ අනූවේ දශකයේ අග භාගයේ ටී.එන්.එල්. නාලිකාවේ ප්‍රචාරය වුණු ඕල්වේස් බ්‍රේක් ඩවුන් නම් දේශපාලන ප්‍රහසන වැඩ සටහන නිසා ය.

ඇනිබල් (චන්ද්‍රිකා), ඇම්ඩන් (රනිල්), සේලයින් (පවුසි), කිරි බර්ටි (අනුර) වැනි දේශපාලුවන් නිරූපණය කෙරෙන චරිත රැගත් ඒ ඕල්වේස් බ්‍රේක් ඩාන්ස් වැඩ සටහන් කොටස්වල යම් කිසි තත්කාලීන දේශපාලන ප්‍රශ්නයක් ගැන කතාවක් ද, ඊට අමතරව ජනප්‍ර්‍රිය ගී තනුවලට පබැඳුණු ගීත කිහිපයක් ද විය.

මේ ගී කෙතරම් ජනප්‍රිය වී ද යත්, ඒවා කැසට්පට ලෙස ද වෙළඳපොළට නිකුත් විය.

ඒ එක කැසටයක් ද, වීඑච්එස් වීඩියෝ පටයකට නගන ලද ඕල්වේස් බ්‍රේක් ඩවුන් කොටස් කිහිපයක් ද එකල මා සතුව ද තිබුණි.

නමුත්, ඕල්වේස් බ්‍රේක් ඩාන්ස් වැඩසටහන් රාශියෙන් යුටියුබයේ මට සොයා ගන්නට ලැබුණේ එහි තේමා ගීතයේ හඬ පටය සහ පෙර කී කැසට්ටුවක හඬ පටය පමණි.



මේ වැඩ සටහන නව සහස්‍රකයේ මුල් කාලයේ ද ලංකාවේ ප්‍රචාරය වුණු බව මගේ මතකයයි. ඒ මක් නිසා ද යත් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස එකල සාකච්ඡා වුණු

දේශපාලන පැකේජය ගැන ලියවුණු ගීත කිහිපයක් ම මා සතුව ඇති කැසට්ටුවට අඩංගු වී ඇති නිසා ය.

කිරි බර්ටි ගේ දේශපාලන ජීවිතයට විසිපස්වසරක් සම්පූර්ණ වුණු කාලයේ ලියවුණු ගීතයක මුල් පද කිහිපය තවමත් මගේ මතකයේ ඇත.

කිරි බර්ටී අද චාටර් වී ඉන්නේ
උපන් දා පටන් විපක්‍ෂයේ ම යි නේ
රිදී ජුබිලිය ද සමරන්න යන්නේ
අයියෝ බර්ටී, කිරි බර්ටී
දුක සැප කොහොමද බර්ටි මස්සිනා, කිරි බර්ටී

(නිසංසලයි සීතයි - ජෝතිපාල)

ඇනිබල් අක්කා ගේ ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් ගේ චරිත අපට ඕල්වේස් බ්‍රේක් ඩවුන් වැඩ සටහනේ දී හමු වුව ද, සමනල විප්පලවය නවකතාවේ ආ සාසනයා (හෝ ධීවරයා හෝ) එහි සිටි බවක් මට මතක නැත.

කෙසේ වෙතත්, ඕල්වේස් බ්‍රේක් ඩවුන් වැඩ සටහන වසර කිහිපයකට පසු අවසන් විය.

ඇන්-කොම්පැනිය ආවේ ඊට පසුවයි සිතමි.

ඇන් කොම්පැනියේ ද සාසනයා (හෝ ඔහු ගේ පුනරුත්පත්තියක් හෝ) සිටියා යැයි මා දැක නැත.

-රසිකොලොජිස්ට්

12 comments:

  1. ඒ කාලේ පොඩි උනත් පට්ටම ආතල් එකක් ගත්තා. සමහරවිට ඔක් මේකෙන් කොපි කරපු එකක් වෙන්නත් බැරි නෑ.
    https://www.youtube.com/watch?v=jINZBOxdja8

    හැබැයි දේශීය අනන්‍යතාවයක් මාරෙටම තියනවා.

    පස්සෙ කාලෙක මේක අහුවෙලා බලද්කොදී ටිකක් විතර කොළඹ සන්නිය මතක් වෙනවා. කොපි කරා කියන්නෙ නෑ. හැබැයි පොඩ්එඩක් එක වගේ.

    https://www.youtube.com/watch?v=NwzaxUF0k18

    ReplyDelete
    Replies
    1. ඕල්වේස් බ්‍රේක් ඩවුන් ලිව්වේ කවුද කියා මට සිහි කර ගන්න බෑ. පොර දිවයිනේ කං-බානට් ලියූ ලේඛකයා වගෙයි මතක!

      Delete
    2. හරිත් ගුණවර්ධන පස්සෙ සද්දාමංගල සුරියබන්ඩාර

      Delete
    3. හරිත් ගුණවර්ධන පස්සෙ සද්දාමංගල සුරියබන්ඩාර

      Delete
  2. ඇනිබල් අක්කයි ඇම්ඩන් අයියයි සින්දු කියා ගන්නේ
    ගල්මුල් එහෙ මෙහෙ විසික්ක කරමින් රණ්ඩු දබර වන්නේ
    පිල්පිල් බෙදිලා තියෙන වැරදි ගැන මඩමයි නාගන්නේ
    තුටුමල් ගවසා අපිත් බලාලා සිනා නගා ගන්නේ......

    ජයවේවා!!!

    ReplyDelete
  3. ඕල්වේස් බ්‍රේක්ඩවුන් වැඩසටහනේ නම බ්‍රේක්ඩාන්ස් කියා ලිවීම ජේ ආර් උන්නැහේ කළා වගේ හිතා මතා වරදවා කීමක් ද? (ජේ ආර් හැමදාම ජනතා විමුක්ති පෙරමුණට ජාතික විමුක්ති පෙරමුණ කියාත් රෝහණ විජේවීරට රොහාන් විජේවීර කියාත් කීවේය. පැන්සොන් යන තුරුම වැරැද්ද හදාගත්තේ නැත.)

    ReplyDelete
    Replies
    1. පොඩි වැරදීමක්. අන්තිම හරියේ නිවරැදිව ලියලා තියෙනවා.

      නිවැරදි කරන්නම් ස්තුතියි.

      Delete
    2. මා ළඟ තිබුණු ඕඩියෝ කැසට් එක ඕල්වේස් බ්‍රේක්ඩාන්ස්.

      ඒකේ චරිත ඇනිබල් සහ ඇම්ඩන් නොව ඇනට් සහ ඇන්ටන්. ශිල්පීන් ඒ අයමයි. ටීඑන්එල් එකට හොරෙන් ගහපු එකක් වගේ.

      Delete
  4. ඔලු බක්කන් නැටවීම තහනම් කිරීම නම් විසුළු සහගතයි.

    ReplyDelete
    Replies
    1. නීතිය නවන්න බැරි වෙන එකක් නෑ, නේද?

      Delete
  5. බඩ රිදවීම කොර වීම දෝ පාචනේ
    මට රිදවන්නෙ ඇයි ආයෙ පනු හාමියේ
    මම හැමදාම පෙති බිව්වෙ නෑ යාළුවේ
    ..........................
    (ඇල්පේනිස් කියපු සින්දුවක්.)

    තුනයි පණහෙ පාමකුත් නෑ
    රටින් ගෙනා හාලක්ය්ත් නෑ ඇනිබා
    බැනීබාබ බාබ බාබ බා බා බා

    රූං පෙත්ත කැරකෙනවා
    මිරිස් අපේ වේලෙනවා
    ඇනී අපට සුරංගනා කතා කියනවා

    ස්පෝක් සයිකලය මත වැඩ වෙසෙනා..
    බාබු දෙවියනි ඔද තෙද වඩනා..
    හද උතුරන සෝ දුක කියමි
    සයිකලෙ පාමුල.. මම වැඳ වැටෙමි

    ඔය වගේ සිංදු ගොඩක් තාමත් මතකයි.

    හායි මෙයා හායි... කියල ලස්සනට තිබ්බ ඒක.
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.