Wednesday, 29 June 2016

ඒ දිනවල ජීවිතේ සහ මේ දිනවල ජීවිතේ හෙවත් "කොහොමද වෙනස සැපයි ද"? - One jungle to another


"කොහොමද වෙනස සැපයි ද?" යන්න බයියන් විසින් මූලිකවම ටොයියන්ගෙන් සහ සමහර විට පොදුවේ බයියන් නොවෙන සැමගෙන් සමහර විට අසන බයියන්ට සැනසිලි ත්‍යාගයක් බඳු වී ඇති ප්‍රශ්නයකි.

අපේ ඔෆීසියේ ස්ථාන මාරුව සහ ඇක්ටිවිටි බේස්ඩ් වර්කින් හෙවත් වැඩට-ඉඩ ක්‍රමයට මාරුවීම නිසා එදිනෙදා ජීවිතයේ සිදුවී ඇති වෙනස්කම් කවරේදැයි දුම්රියේ නිවසට යන අතරතුර කල්පනා කර විශ්ලේෂණය කර බැලීමි.

ඒ කවුරුන් හෝ "කොහොමද වෙනස සැපයි ද?" යනුවෙන් මගෙන් විමසුවොත් පිළිතුරු දීම සඳහා ය.

ජීවිතේ නම් මගේ ම බව සැබෑ ය. නමුත් පොඩි පොඩි වෙනස්කම් සිදුව ඇත, නැතිනම් වෙනස්කරම් කර ගන්නට සිදුවී ඇත.

වෙනදා උදෑසන හත පමණ වෙනතුරු නිදා ගත් මම, දැන් මගේ එලාමය තබාගෙන ඇත්තේ හිමිදිරි පාන්දර හයට නාද වන ලෙස ය. වදෙන් පොරෙන් හත පසුවී විනාඩි පහළොවක් ගත වන විට ඇදෙන් නැගිට නාන කාමරය වෙත ඇදෙමි. කෙසේ හෝ උදෑසන හතට පෙර දුම්රිය ස්ථානයට ළඟාවීම මගේ අරමුණයි.

නාන කාමර කර්තව්‍යයන් ගේ වෙනසක් නැත. මා ඒ දිනවල ද දිනපතා රැවුල නොකැපුවෙමි. දැන් ද එසේ ම ය. කැලේ වෙනස් වූ පලියට පුල්ලි වෙනස් කර ගන්නේ ඇයි?

ඇඳ පැළද ගැනීමේ දී සිදු වී ඇති එක් වෙනසක් නම්, වෙනදා කළාක් මෙන් ස්මාරට් කැෂුවල් ඇඳුම් එනම් අත් දිග කමිසය සහ කලිසම නොව දැන් මා ඊට අමතරව ටයි පැළඳ, කෝට් ද ඇඳ ජැන්ඩියට සැරසීමයි. එය මා විසින් උවමනාවෙන් ම ඇති කර ගත් වෙනසකි. සිනුවර දැන් ගිලී ඇති ශීත සිසිරය ද එයට හේතුවකි.

වෙනදා මෙන්ම එක අතකින් තේ දැමූ ට්‍රැවල් මග් එක ද, අනෙත් අතෙන් ලැප්ටොප් පරිගණකය, උදෑසන පාතරසය ලෙස ගන්නා නිවසේ සැදූ පලතුරු සුමුදු බීම බෝතලය සහ පොත් පත් සහිත බෑගය ද රැගෙන වාහනයට නගින්නේ බොහෝ විය හයයි හතළිස් පහට පමණ ය. අලුත් කාර්යාලයට ඒන්නට පෙර සමයේ නිවසෙන් මීට පැයකට පමණ පසුව පිටවූ කාලයේ දී මුහුණ දෙන්නට සිදුවුණාත් මෙන් අතරමග රථවාහන නිසා ප්‍රමාදයක් දැන් ඇති නොවේ.

එකම වරද නම්, දුම්රිය ගමන විනාඩි තිහකට පමණක් සීමා වීමයි. ලැප්ටොප් පරිගණකය දිග හැර වචන දෙතුන් සීයක් කොටන්නට පෙර ගමනාන්තය ළඟා වේ. ඉතින්, මුලින් කොන්ට්‍රොල් එස් ගසා, ඉන්පසු ලැප්ටොප් පරිගණකය වසා බෑගය ඇතුළට දමා ගනිමි.

උදෑසන හත පසුවී විනාඩි හතළිහ වන විට මා කාර්යාලයේ ය. වෙනදා මා සේවය ඇරඹුවේ බොහෝ විට උදැසන නමයයි තිහට ය.

එහි ගිය විගස මා කරන්නේ ඒ දවසේ මගේ වැඩ-ස්ථානය ලෙස භාවිතා කිරීමට තැනක් තෝරා ගැනීමයි. මා මේ දක්වා ගතවුණු සති හතරකට වඩා වැඩි කාලය තුළ එකම ස්ථානයක දෙවරක් අසුන් ගෙන ඇත්තේ දෙතුන් වරක් පමණි. උදෑසනම කාර්යාලයට යෑමේ ඇති වාසිය එයයි.

බෑගය එහි තබා, මගේ ලොකර් කබඩය වෙත ගොස් එය හැර මගේ කාර්යාලීය ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් අඩුම-කුඩුම රැගෙන නැවත තෝරාගත් මේසය වෙත එමි.

ලැප්ටොප් පරිගණකය එහි ඇති ඩොකින් පුවරුවට සවි කර ගත් පසු කාර්යාලයේ වැඩ කටයුතු වෙනදා මෙන් කළ හැක.

ඊළඟට කිව යුතු විශාලම වෙනස නම් සවස හතරට පෙර දවසේ වැඩ කටයුතු නිමවා මට කාර්යාලයෙන් පිටත් විය හැකි බවයි. ආපසු යන ගමනේ දී බොහෝ විට එදින උදෑසන ඇරඹූ රසිකොලොජි ලිපිය අවසාන කළ හැකි වෙන අතර සවස පහේ හෝරාවට පෙර නිවසට ළඟා වී තේ කෝප්පයක් ද පානය කළ හැකි වේ.

එපමණක් ම නොවේ.

ඒ වන විට පාසල නිමවා නිවසට පැමිණ සිටින පුතා සමග ගමේ පාරක ඇවිඳින්නට, කඩයට පිලට යන්නට, ව්‍යායාම කරන්නට, කොක්ටේල් බීමක් සාදන්නට, බිරිඳ නිවසට එන්නට පෙර අවශ්‍ය පරිදි හොද්දක් බතක් උයන්නට ද මට දැන් වේලාව ඇත.

කොහොමද වෙනස සැපයි ද?

ඔව්, සැපයි තමයි ඕයි!

ඇයි අවුල් ද?

-රසිකොලොජිස්ට්

(image: http://ravaya.lk/?p=7565)

Monday, 27 June 2016

පන්සලේ ඒජීඑම් එක සහ සිංහල බ්ලොග් ලෝකය - Same there, same here


සිනුවර තදාසන්නයේ ස්කෝෆීල්ඩ් නම් වූ ගම්මානයේ පිහිටා ඇති ලංකාරාම පන්සල පාලනය වන්නේ ගිහියන්ගෙන් සැදුම් ලත් සංගමයකිනි. එහි සාමාජිකත්වය ගැනීමට, මගේ මතකයට අනුව, මසකට ඩොලර් දහයක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුවන අතර අවශ්‍ය නම් අවුරුදු දහයක පමණ මුදල ගෙවා යාවජීව සාමාජිකත්වය ලබා ගත හැක.

මේ සාමාජික මුදලින් කරනු ලබන්නේ, පන්සලේ එදිනෙදා වියදම් සඳහා වියදම් කිරීම යැයි සිතමි. පන්සලේ භෞතික සංවර්ධන කටයුතු, එනම් බණ මඩු, චෛත්‍යය සැඳීම වැනි දේ, සඳහා මුදල් සෙවීමේ ව්‍යාපෘති අවශ්‍ය පරිිදි වෙනම ක්‍රියාත්මක වේ.

ඕනෑම සංගමයක මෙන් මේ සංගමයේ ද, ඒජීඑම්එක හෙවත් ඇනුවල් ජෙනරල් මීටිම හෙවත් වාර්ෂික මහා සභාව සෑම වසරක ම සැප්තැම්බරයේ පමණ පැවැත්වේ. මෙහි දී කරනු ලබන එක් කර්තව්‍යයක් වනුයේ එළැඹෙන නිල වර්ෂයේ පන්සල කරගෙන යාම සඳහා සභාපති, භාණ්ඩගාරික ඇතුළු කමිටුවක් පත් කර ගැනීමයි.

මා ප්‍රිය බිරිඳ මේ බෞද්ධ විහාර සංගමයේ සාමාජිකත්වය මීට වසර කිහිපයකට පෙර ලබා ගත්තේ වුව ද එය ඉන්පසු වරකට දෙවරකට වඩා යාවත්කාලීන කළා යැයි මම නොසිතමි.

නමුත්, පන්සලට යාමට, එහි ගොස් වන්දනාමාන කිරීමට ඒ බෞද්ධ සංගමයේ සාමාජිකත්වය කිසිසේත් ම අවශ්‍ය නැත.

එසේ වුවත් නැතත් මට නම් දැන් සෑහෙන්න කාලයකින් පන්සල් යෑමට නොහැකි විය. මා සාමාන්‍යයෙන් ලංකාරාමයට යන්නේ නොවැම්බරයේ කටින පිංකම සඳහා කටුම්බා පන්සලේ සිට සාදුලා ඩබලක් ලංකාරාමයට ට්‍රාන්ස්පෝර්ට් කිරීමේ පිං අතේ කොන්ත්‍රාත්තුව මගේ හොඳම මිතුරෙකු මෙන්ම ලංකාරාමයේ ද ප්‍රධාන දායකයෙකුවන පේ්‍රමරත්න විසින් මට පැවරුණු දිනයක හෝ වෙසක් පෝය දවසේ හෝ එහෙමත් නැති නම් මිතුරෙකු ගේ මියගිය ඥාතියෙකු වෙනුවෙන් බණ දෙසුමක් පැවැත්වෙන දිනයක ය.

මන්ක් ට්‍රාන්ස්පෝර්ට් කොන්ත්‍රාත්තුව මා අවසාන වරක ඉටු කළේ 2013 දී බව මගේ ඊමේල් ඉතිහාසය පවසයි. වෙසක් එකට පන්සලට අවසාන වතාවට ගියේ 2014 දී බව බ්ලොග් සහ වත්පොත් සටහන් අනුව පෙනේ. එසේ නම් මා අවසාන වතාවට ලංකාරාමයට ගියේ නයනා ගේ මැණියන්ට පිං පැමිණවීම සඳහා පැවැත්වුණු දහම් දෙසුම යෙදුණු 2015 පෙබරවාරියේ දී ය.

මා වැනි ප්‍රතිපත්ති පූජාවල නිරතවෙන පරමාදර්ශී බෞද්ධයින් යැයි සිතා සිටින අය නොව සතිපතා ඉරිදාට සවසට පැවත්වෙන මල් පුජාවටත්, මසකට වරක් පැවැත්වෙන ධර්ම දේශනාවටත්, පසලොස්වක පෝය දිනයටත් නිතිපතා පන්සල් යන අය සුපින්වත්හූ සිනුවර එමට සිටිති.

නමුත්, ඒ පරිපූර්ණ සිනුවර බෞද්ධයින් අතරෙන් වුවද, පන්සලේ පරිපාලන කටයුතු සිදු කරන පෙර කී විහාර සංගමයේ වාර්ෂික මහා සභාව දිනයේ ඒ රැස්වීමට සහභාගී වෙන්නට පන්සලට යන්නේ ඉතා සුලු පිරිසක් ලු!

මීට වසර බර ගණනාවකට පෙර එක් වාර්ෂික මහා සභාවක දී මේ තත්වය උඩුයටිකුරු වී ඇත. එදින පැවති සභා රැස්වීමට වෙනදා මෙන් දහ දොළොස් දෙනෙකු නොව සිය ගණනක් පිරිස සහභාගී වුණේ ලු!!

එයට හේතුව වී ඇත්තේ, එතෙක් පන්සලේ සිටි පොඩි සාදු සිවුරු හැර දා, පන්සලේ ම එක්තරා දායක මහතෙකු ගේ බිරිඳ සමග ඉලොප් වී යාමෙන් පසු පැවැත්වුණු ලංකාරාම විහාර සංගමයේ මහා සභා රැස්වීම එය වූ නිසා ලු!!!

මට මේ ලූ! කතාව මතක් වුනේ, මා පසුගිය දා ලියා පළ කළ ලිපි දෙකකට ලැබුණු පිටු නැරඹීම් (Page views) සහ ප්‍රතිචාර (Comments) සංඛ්‍යාව දුටු විටය.

එකක් සිංහල බ්ලොග් ලෝකයේ පැවති තාවකාලික ආරෝවක් ගැන ය.

අනෙක, ඇනෝනිමස් හෙවත් නිර්නාමික කමෙන්ට්කරුවන් නිශ්චිතව හඳුණා ගැනීම ගැන ය.

මා ලියා පළ කර ඇති රසිකොලොජි ලිපි තුන්සිය ගණන (304) අතරින් මා වඩාත් ප්‍රිය කරන නමුන් අඩුවෙන් ම පාඨක අවධානයට ලක්වුණු ලිපි පහේ ලයිස්තුව, කලාතුරකින් රසිකොලොජි පන්සලට ගොඩවෙන පරමාදර්ශී බ්ලොග් කියවන්නන් ගේ යපහත පිණිස මෙසේ පළ කරමි!

1. "දකුණු කුරු දිව් කව්" - ඒ මොකක්ද හලෝ ඒ හරුපේ? :: Australia - Sinhala Poetic Impressions

2. හෝඩියේ පන්තියේ සිත්තරාවී - Written in the heart!

3. තුනේ පන්තියේ චිත්‍ර පාඩම - Third class art?

4. අලුත් ළමයින්ට පරණ අවවාද පරණ රිද්මයෙන් ම - Old wine in the same old decanter

5. දවසක ඇරඹුම - Just another day

-රසිකොලොජිස්ට්

(image: https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQi1c_tcZ72pZhwXRX9F-LL9MDsu7RM-ZKwjqRTDLZrCd9vJX2HOw)

Sunday, 26 June 2016

අමුවෙන් මැටි පෑගීම සහ ඇනෝනිමස් වැනි බිළින්දා - That was Saturday


ඊයේ අමුතුම අත්දැකීම් දෙකක් ලැබුණි. ඒ මුල් අත්දැකීම, ඇත්තටම කියනවා නම්, අත්දැකීමකට වඩා කකුල් දැකීමකි. එනම්, දෙකකුලෙන් මැටි පැගීමකි.

සිංහල දෙමව්පියන් ගේ ළමුන්ට සිංහල භාෂාව උගන්වන පාසල් කිහිපයක් සිනුවර අවට පිහිටුවා ඇත. මේවා ඇත්තටම ඉරිදා පාසල් ය. එනම් සිංහල පාසල පැවැත්වෙන්නේ ඉරිදා දිනවල උදේ වරුවේ සාමාන්‍ය රජයේ පාසලක ගොඩනැගිලිවල ය. සිංහල පාසල් සඳහා මූලික කටයුතු, එනම් විෂයය අත්පොත් සැකසීම, ප්‍රාන්ත රජය සමග ගනුදෙනු යනාදිය, කෙරෙන්නේ සිංහල සංස්කෘතික හමුව විසින් වන අතර, සිංහල පාසල් කළමනාකරණය කෙරෙන්නේ පාසලේ දෙමව්පියන් ගේ කමිටුවක් විසිනි.

බහු සංස්කිතක රටක් වන ඕස්ටේ‍ර්ලියාවේ ප්‍රතිපත්තිවලට අනුව, මේ පාසල් පවත්වාගෙන යාම සඳහා මූලික ප්‍රතිපාදනයක් ප්‍රාන්ත රජය මගින් ලබා දෙන අතර දෙමව්පියන් විසින් අදාල අනෙකුත් වියදම් දරනු ලැබේ.

මා මුලින් ම සිනුවර සිංහල පාසලකට සම්බන්ධ වූයේ වසර 2002 දී ය. ඒ එවකට පැවති සෙන්ට් මේරීස් සිංහල පාසලට මගේ දියණිය කැඳවාගෙන යමිනි. ඒ පාසල පසුව 2006 දී බ්ලැක්ටවුන් ප්‍රදේශයට ගෙන යන ලද අතර මගේ පුතා ද එයට සහභාගී විය.

මා මුලින් සඳහන් කළ මැටි පෑගීමේ අත් (හෝ කකුල්) දැකීම මට ලැබුණේ ඒ බ්ලැක්ටවුන් සිංහල පාසලට ආධාර පිණිස ඊයේ පවත්වන්නට යෙදුණු වාර්ෂික ප්‍රිය සම්භාෂණය හෙවත් "ඩිනර් ඩාන්ස්" සාදයේ දී ය.

සින්දු වතුර පානය කිරීමෙන් පසු අපට හොඳන් සින්දු කීමට හැකි වීම කෙසේ වෙතත්, අප හොඳින් සින්දු කියනවා යැයි අපට තේරෙන්නට පටන් ගන්නා බව සැබවක් නමුත් සින්දු කීම පිණිස සින්දු වතුර අවශ්‍යම නොවේ. නාන කාමරයේ දී ද, දොර කැඩුණු වැසිකිලිවල දී ද, සමහර විට කුස්සියේ දී ද, තනිවම වාහන පදවන විට දී ද අපට සින්දු වතුර නොමැතිවම සින්දු කීමට හැක.

නමුත්, නැටුම් සම්බන්ධයෙන් නම්, සාමාන්‍ය පුඟුලන් වූ අප සඳහා, එය සත්‍යය නොවේ. එනම්, නැටුම් වතුර නොමැතිව නැටීමට උත්සාහ කිරීම වනාහී අතිශය අසීරු ක්‍රියාවකි.

අමුවෙන් මැටි පාගනවා යැයි මා කීවේ ඒ ගැන ය.

කෙසේ හෝ කොරීන් අල්මේදා සහ පිරිවර විසින් ඉදිරිපත් කරන ලද බයිලා තාලවලට අනුව මම ද පැයක් පමණ වේලා අමුවෙන් ම මැටි පෑගුවෙමි.

ඇනෝනිමස් වැනි බිළින්දා මොහොත උදාවුනේ ඒ අතරතුර දී ය.
මා වැනි බිළින්දා
වර වර ලඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොයින්දා
යනුවෙන් කවියක කියවෙන අදහසේ වෙනත් අර්ථදැක්වීමක් ලබා දෙමින් මැටි පාගමින් සිටි මා අසලට පැමිණි අයෙකු "රසික මම තමයි අර අහවල් ඇනෝ!" යැයි කියා, ඔහු හැඳින්වීමට මා යොදා තිබුණු අන්වර්ථ නාමයක් පවසමින්, තමාව හඳුන්වා දුන්නේ ය.

"ආ මචං උඹ අහවලා නේද?" කියා නමක් ද පවසමින් මම ඒ ඇනෝනිමස් කමෙන්ට්කරුවා ගේ ඇනෝනිමස්කම නැති භංගස්ථාන කර දැමුවෙමි.

තමා රසිකොලොජියේ පමණක් නොව තවත් තෝරාගත් බ්ලොග් කිහිපයකටම නිරතුරු ගොස් පිස්සු කෙලින බවත්, ඒ කරන්නේ හුදෙක් විනෝදය පිණිසම බවත්, වෙනත් අරමුණක් තමන්ට නොමැති බවත් මේ නැටුම් වතුරෙන් හොඳ හැටි සප්පායම් වී සිටි ඇනෝනිමසයා මා සමග ඉතා අවංකව පැවසීය.

මා වැනි රජින්දා
අසලට පැමිණ වැන්දා
දුක සැප කුමන්දා
දොඩන ඇනෝලා වෙන කොයින්දා?

-රසිකොලොජිස්ට්

ප/ලි:
දුරු කතර ගෙවා සිනුවරට පැමිණි මොහොතක මා දැක කතා කිරීම ගැන ඇනෝ මචංට මගේ ස්තුතිය පුද කරමි. ඊයේ සිංහල පාසලේ උත්සවයට සහභාගී වුවද, ඒ පාසල තබා ලංකාවේ අහවල් පාසල පිළිබඳවත් අනවශ්‍ය උණක් නම් මට නැති බව දන්වමි!

Friday, 24 June 2016

සිනුවර සිංහල පන්සල් - Sinhala Buddhist Temples in Sydney


වයසට යත් ම අපේ කාර්යක්‍ෂමතාවය අඩුවේ. තව දුරටත් කිරීමට හැකියාව ඇති සෑම දෙයක්ම කළ හැකිවන්නේ තරුණ කාලයේ දී ට වඩා අඩු වේගයකිනි. ඇවිදීම, කතාව, කියවීම, අවබෝධය, ධාරණ ශක්තිය වැනි මෙකී නොකී සියලු දේම ටිකෙන් ටික මන්දගාමී වේ. කරුණු එසේ නමුදු, එක් දෙයක නම් වේගය අඩුවීමක් ඇත්තේ ම නැත. ඒ අන් කිසිවක් නොව කාලය ගත වෙන වේගයයි. ඇත්තටම කියනවා නම් කාලය ගතවීම අපට දැනෙන වේගය යි. එහි වැඩි වීමක් මිස අඩු වීමක් නැත.

අළුත් වසර 2009 එළැඹුණේ අද ඊයේ මෙන් තවමත් දැනුනද, අද අප මේ ඉන්නේ වසරේ අවසානයේ ය. කල් ගතවෙන ඉක්මන! නැවතත් කියනවා නම්, කාලය ඉතා වේගයෙන්, අප තරුණ කාලයේ දී සිදු වූවා ට වඩා ඉතා වැඩි වේගයකින් ගලා යයි. නමුත් මෙහි සැබෑ තේරුම නම්, අප තව තවත් වයසට යන වේගය ද වැඩි වී ඇති බව නොවේ ද? නමුත් ලොව අන් සියලු දේ සේම තරුණ මහලු යන්නද සාපේක්‍ෂ අර්ථ දැක්වීමකි.

ඒ කෙසේ වූවද, ටිකෙන් ටික ජීවිතයේ සන්ධ්‍යා භාගයට අප ළංවෙත් ම, සිරුරේ මෙන්ම ජීවීතයේ ද වෙනස් කම් කීපයක් ඇතිවේ. මින් ප‍්‍රධාන වෙනසක් නම් ආගම දහමට සිත නැඹුරු වීමයි. ලෝ වැඩ සඟරාවේ දැක්වෙන පරිදි "කොතැන උනත් නැත මරු හට බාදා" නිසා, "අද අද එයි මරු පින් කර ගන්නේ" යැයි සිතමින්, "තම තම නැණ පමණින් දැන ගත යුතු" ධර්මය ආශ‍්‍රය කරන්නට අප පෙළඹෙමු. නිතර පන්සල් යන්නෙමු. පෝය ට සිල් ගන්නෙමු. භාවනා කරන්නෙමු. මේ කරුණු ගැන සමාන උනන්දුවක් ඇති අය හමුවූ විට නිරතුරු සාකච්ඡා කරන්නෙමු. සමහර විට භාවනාව පිළිබඳ කෙරෙන මෙවැනි සාකච්ඡා සඳහා ඇත්තටම භාවනා කරනවාට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්නෙමු. එහි වරදක් නැත. මේ සියලුම දේ වල මූලික අරමුණ චිත්ත සන්තුෂ්ටිය ම වන බැවිනි.

සිනුවර වෙසෙන ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති බෞද්ධයින් ට ආගමික කටයුතු සඳහා මෙතෙක් ඇත්තේ එකම එක සම්ප‍්‍රදානුකූල "සිංහල" පන්සලක් පමණි. ඒ සිඞ්නි නගරයෙන් කිලෝ මීටර් 45 ක් පමණ වයඹ දිගින් පිහිටි ස්කෝෆීල්ඞ් (Schofields) හි ලංකාරාමයයි. මීට අමතරව සිනුවරින් කිලෝමීටර 100 ක් පමණ බටහිරින් කටුම්බා (Katoomba) ප‍්‍රදේශයේ ද ආරණ්‍ය සේනාසනයක් පිහිටා ඇත.

මා අසා ඇති ඉතිහාසයට අනුව, වසර 1992 දී සිනුවර වාසය කරන ශී‍්‍ර ලාංකික බෞද්ධයින් ගේ ආධාර සහ උපකාර ඇතුව ලංකාරාම විහාරය ලිඩ්කොම්බ් (Lidcombe) හි කුලී නිවසක ආරම්භ කර, ඒ වසර අවසානයේ දී ඕබන් (Auburn) කරා ගෙන ගොස්, පසුව 1997 දී ස්කෝෆීල්ඞ් හි දැන් විහාරය පවත්වාගෙන යන ස්ථානයේ පිහිටුවා ගෙන ඇත. මේ වන විට (2009) ලංකාරාමය, චෛත්‍යය, බෝ මළුව, බුදු මැදුර සහ සංඝාවාසය ආදී වූ ප‍්‍රධාන විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත බෞද්ධ මධ්‍යස්ථානයකි.

ඩොලර් තුන් ලක්‍ෂයකටත් වඩා වැඩි වියදමක් දරා, දිගු කාලයක් තිස්සේ ඉඳිකිරීම් කටයුතු කර ගෙන ගොස්, 2006 නොවැම්බරයේ දී කොත් පළඳවා විවෘත කරන්නට යෙදුණු ලංකාරාම වෛත්‍යය ගැන ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. කළුතර බෝධි සෑය සිහිගන්වන මෙම වෛත්‍යයේ සැකිල්ල කුහරාකාර වන අතර සමාධි පිළිමයකින් යුතු බුදු මැදුර පිහිටා ඇත්තේ චෛත්‍යය මධ්‍යයේය. පන්සලේ දී වන්දනා මාන කළ යුත්තේ වෛත්‍යය, බෝධිය, බුදු මැදුර යන අනු පිළිවෙළට නිසා, එය අනුගමනය කරන සැදැහැවතුන් ට චෛත්‍යය මළුවට දෙවරක් පිවිසීමට මෙනිසා වරම් ලැබේ.

සිනුවර තදාසන්න ප‍්‍රදේශ වල වෙසෙන සිංහල බෞද්ධයින් සියලු දෙනාටම ඇත්තේ මේ එකම පන්සල බැවින් පෝය දින වලට පන්සල සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි. දැන් ලංකාරාමයට ඇති ලොකුම අවශ්‍යතාවය දැනට ඇති තාවකාලික ශාලාව වෙනුවට වැඩි පිරිසකට රැුස්විය හැකි ධර්ම ශාලාවකි. ඩොලර් මිලියනයක පමණ වියදමක් ඇස්තමේන්තු ගත ධර්ම ශාලාව ගොඩ නැගීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ දිනවල ඇරඹී ඇත.

සිනුවර තදාසන්නයේ ඇති එකම "සිංහල" පන්සල වන ලංකාරාමය ගැන කතා කරන විට මට සිහිවන්නේ මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටා ඇති "සිංහල" පන්සල් ප‍්‍රමාණයයි. සිනුවර සගයින් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියතොත්, මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල "සිංහල" පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප‍්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප‍්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. මීට අමතරව රිංග්වුඞ් හි සිංහල හාමුදුරුනමක් ද මෙහෙණින් වහන්සේ ලා ද වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් බිහිවුණු අතර මා මෙල්බර්න් නුවරින් සිනුවරට සංක‍්‍රමනය වූ 2001 වන විට මෙල්බර්න් හි උතුරු ප‍්‍රදේශයේ ද "සිංහල" පන්සලක් ගොඩ නැගීමට අදහස් කර තිබුණි. එදා තත්වය අද තව තවත් වැඩි දියුණු වී ඇති බවට සැක නැත.

මේ අනුව බලන කළ මෙල්බර්න් පුරවරය අද ඕස්ටේ‍්‍රලියාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රස්ථානයයි. සිනුවර එහි අහලක වත් නැත.

පන්සල් ගණන වැඩිවත් ම, ඒ අනුපාතයටම නොවුණත්, ප‍්‍රජාවේ ආගමික හැදියාව වැඩිවේ. එය නිසැකවම හොඳ දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එකම ප‍්‍රශ්නය නම් සම්පත් බෙදී යාමයි. එයද කෙටි කාලීන ප‍්‍රශ්නයක් පමණකි.

සිනුවර තදාසන්නයේ තවත් "සිංහල" පන්සල් බිහි වේවා යැයි ශාසනාලයෙන් යුතුව පතමි.

-රසිකොලොජිස්ට්

පසු-සටහන:
මා මේ ලිපිය 2009 වසරේ අග භාගයේ දී ලියන්නට හේතු වූයේ ඒ දිනවල සිනුවර අරඹන්නට පිඹුරුපත් සැකසෙමින් තිබුණු මහමෙවුනා නම් "පන්සලක්" පිළිබඳ ලංකාරාමයේ රැස්වීමක දී ඇතිවුණාය කියන සාකච්ඡාවක් ගැන තොරතුරු කන වැටීමයි.

ඒ මහමෙවුනා පන්සල කොපිහිටුවා දැන් සෑහෙන කලක් ගත වී ඇත. නමුත්, මා එය පිහිටා ඇත්තේ කොයි ඉසව්වේද යන්න අදත් නිශ්චිතව නොදනිමි.

"පරණ වැඩ මල්ලේ" (ශාන්ත කේ හේරත්ගෙන් අහුලා ගත් වචනයකි!) තිබී මේ ලිපිය පළ කරන්නට හිතුවේ, ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටුවා තිබෙන යම් කිසි මාළිගාමවක් පිළිබඳ තොරතුරක් පසුගිය දා වත්පොතේ සංසරණය වෙනවා දැකීම නිසා ය.

Thursday, 23 June 2016

කවුද, කොහේද, මොනවාද? - Who, where, what of Rasikology


මේ සටහන තබන්නට සිතුණේ, පෙරේදා මගේ මේ රසිකොලොජි බ්ලොගය යම් කිසි වැදගත් කඩඉමක් පසු කළ නිසා ය. මා ලියන්නට යන්නේ මූලිකවම රසිකොලොජි බ්ලොගය ගැන නමුත්, ලියවීමට නියමිත කරුණුවල පොදු වැදගත්කමක් ද තිබේ යැයි හඟිමි.

මා රසිකොලොජිය ඇරඹූයේ මගේ උපන්දින සංවත්සරය යෙදී තිබුණු 2014 ඔක්තෝබර් 27 වෙනිදා ය. බ්ලොගයක් අරඹන්නේ අත ලෙව කන්නට නොවේ. තමන් ලියන ලිපි හෝ වෙනත් නිර්මාණ එහි පළ කර, ඒවා අනෙක් අය හා බෙදා ගැනීමටයි. එය ලිවීමට දැඩි ආශාවක් ඇති මා වැන්නෙකුට ඉතාම වැදගත් කාරණයකි. මා ලියූ දේ කියවන අය ද එයින් යම් සතුටක්, වින්දනයක් ලබයි නම් එය සැම විටම මට ප්‍රසාද දීමනාවක් නොහොත් බෝනසයක් ම වේ.

තමන් ගේ බ්ලොගය වැඩි පිරිසක ගේ නෙත ගැටීමට සැලැස්වීම, ලේඛකයාගේ වගකීමයි. ඒ ආකාරයට කරන ප්‍රචාරය කිසිසේත් ම ලැජ්ජාවට කාරණයක් නොවේ.

නමුත්, අප සියලු දෙනාම, ජීවිත අරගලයට උර දී ඉතිරිවෙන කාලයේ බ්ලොග් කෙරුවාව කරන නිසා, පෙර කී ප්‍රචාරය සඳහා වැය කළ හැකි කාලය ඉතා අවම වේ. අපේ පාඨකයින් යනු කවුරුන් ද, ඔවුන් හා සම්බන්ධ කාරණා කවරේ ද යන්න ගැන දත්ත සොයා ඉඳහිට හෝ යම් විශ්ලේෂණයක් කිරීම වැදගත් වන්නේ එනිසා ය.

බ්ලොගයට අදාළ විශාල වපසරියක විහිදුණු මූලික දත්ත සෑහෙන ප්‍රමාණයක් බ්ලොගර් සේවාව විසින් ලබා දේ. වර්ඩ්ප්‍රෙස් සේවයේ ද, මේ පහසුකම තිබේ යැයි සිතමි. බ්ලොගර් සේවාව සපයන ගූගල් සමාගම මගින් ගුගල් ඇනලිටික්ස් නම් බ්ලොග් පිළිබඳ දත්ත සපයන සේවයක් ද ඇති නමුත්, මා රසිකොලොජිය සඳහා එය යොදා ගෙන නැත.

පහත විශ්ලේෂණය මුළුමනින් ම පදනම් වී ඇත්තේ, බ්ලොගර් සේවාවෙන් සැපයෙන මූලික දත්ත අනුසාරයෙනි.

"ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද?" යන මැයෙන් ලියවුණු පසුගිය රසිකොලොජි ලිපියත් සමගම මා පසු කළේ රසිකොලොජියේ තුන්සියවෙනි ලිපිය පළ කිරීමේ කඩඉමයි.

මෙන්න මුලික දත්ත.

ලිපි සංඛ්‍යාව = 300
පිටු නැරඹීම් = 304,652 (සාමාන්‍යය 1015)
ප්‍රතිචාර සහ පිළිතුරු = 12.515 (සාමාන්‍යය 42)

රසිකොලොජිය කියවන්නට වැඩිම පිරිසක් (52%) පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. රුසියාවෙන් පැමිණ ඇත්තේ නම්, සයිබර් බොට්ලා විය යුතුය. සමස්ත බෙදීයාම පහත දැක්වේ. මේ දත්තවල නිවැරදිකම ගැන කුඩා කුකුසක් ද ඇති බව කිව යුතුය.



බ්ලොග් සින්ඩිකේටර් සහ වෙනත් සේවා පිළිබඳව සැලකුවහොත් පාඨකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ෆේස්බුක් හරහාය. ලාංකීය සින්ඩිය ඊළඟට එයි. මාතලන් ගේ සින්ඩිය ද, මගේ බ්ලොගයට පාඨකයින් ගෙන ඒමෙන් මහත් සේවාවක් සපයයි. හැලපකඩේ බ්ලොගයෙන් මෙහි එතැයි දැක්වෙන සංඛ්‍යාව හැලපේ ගේ කියවීම් පමණක් නොවේ යැයි සිතමි.



රසිකොලොජියේ පිටු නැරඹීම් වැඩිම ප්‍රමාණය ලැබෙන්නේ එක්කෝ තම තමන්ගේ රීඩර් හරහා කෙළින්ම මෙහි එන, නැතිනම් මෙහි පැමිණි පසු රසිකොලොජිය සිසාරා ලිපි කියවන අය නිසා විය යුතුයි.

බ්ලොගර් සේවාව විසින් මේ සංඛ්‍යා පිටු නැරඹීම් ලෙස හැඳින්වූවද, මේවා ඇත්තටම මවුස් ක්ලික් සංඛ්‍යාව කියා ද, පාඨකයෙකු මා කියවන බ්ලොග් හරහා වෙනත් තැනකට යන විටද එය පිටු නැරඹීමක් ලෙස සනිටුහන් වෙතැයි ද සිතමි.

පාඨකයින් භාවිතා කරන වෙබ් බ්‍රව්සරය පිළිබඳ බැලීමේදී පෙනී යන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම ඒ අතින් කෙතරම් පසු පසින් සිටින්නේ ද යන්නයි.



නමුත් මෙහෙයුම් පද්ධති ගැන සලකන විට ලිනක්ස්ලා, යුනික්ස්ලා සිටින්නේ මයික්‍රොසොෆ්ට්ලාට ගව් ගණනක් පසු පසිනි.



මෑතකදී මා ලැබූ අත්දැකීමක් නම්, බ්ලොග් කියවීමට වත්පොත හරහා පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩි වෙන බවයි. ඒ තත්වය උදාවෙන්නේ මා විසින් වත්පොතේ යොදන සටහනකින් පසු එය දකින අය එය තමන් ගේ මිතුරන් අතරේ බෙදා ගෙන බෝ කිරීම නිසා ය. එසේ බෝවන්නේ මා වැඩි පිරිසක් කියවතොත් හොඳයැයි සිතන ලිපි නොවේ. මා ලියා පළ කළ ලිපි තුන්සීයෙන් ජනප්‍රියතම ලිපි දහය දෙස බැලීමෙන් පමණක් ඒ බව පැහැදිලි වෙනු ඇත.

-රසිකොලොජිස්ට්

Tuesday, 21 June 2016

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? - I know only a little


මා මේ පහත ලියා ඇති කරුණු මෙලෙස ගොනු කරන්නට ආසන්නතම හේතුව වූ සිංහල බ්ලොග් ලෝකය නම් තේ කෝප්පයේ පැවති චූට්ටං සුළි සුළඟ දැන් පහව ගොස් ඇති බව, මා ඒ ගැන ලිපියක් ලියා පළ කළ පසු, අදාළ පුද්ගලයින් විසින් ප්‍රසිද්ධ කමෙන්ටු මගින් මට (සහ අනෙකුත් පාඨකයින්ට) දැනුම් දී ඇත. පසුව ඊමේල් මගින් ද මා ඒ බව සැක හැර දැන ගත්තෙමි. ඒ වුවත්, මේ පහත සඳහන් කරුණුවල කොයි කාට හෝ කිසියම් වැදගත්කමක් තියෙන්නට ඇතැයි සිතෙන නිසා, පැය දෙකක් පමණ වැය කර මේ ලියූ දේ, ඕ.පු. කියා පළ කරන්නට සිතුවෙමි.

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? යන ප්‍රස්තූත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර නම් නොහැකි ය යන්නයි.

දැන්, දිගු කලකට කලින් වසර දෙක තුනක කෙටි කාලයක් වෙබ් අඩවි නිපදවීම පිළිබඳව රැකියාව ලෙස අණ්ඩර දුන් කාලයේ මා දැන සිටි කරුණු අරික්කාලෙන් දැන් මතකයේ ඇති හින්නිකිත්තර ද, මීට වසර එකොළහකට පෙර බ්ලොග් ලෝකයට පිවිස, විශේෂයෙන් පසුගිය වසර හත තුළ දී මා ලැබූ අත්දැකීම් ද අනුසාරයෙන් එසේ නොහැක්කේ ඇයි දැයි යන්න සාමාන්‍ය ලෙස පැහැදිලි කරන්නට මම මෙහදී අදහස් කරමි.

ඕනෑම පරිගණකයක් හෝ වෙනත් එවැනි උපකරණයක් ඉන්ටර්නෙටයට සම්බන්ධ වී ඇති නම්, ඒ සඳහා අයීපී ඇඩ්රස් නමින් හැඳින්වෙන අසමසම (එනම් යුනීක්) අංකයක් පැවරී ඇත. ඒ උපකරණයේ සිට ඉන්ටර්නෙටයට කෙරෙන සෑම උඩුගත කිරීම් සහ බාගත කිරීම් සම්බන්ධතාවයක ම ඒ ඉන්ටර්නෙට් ලිපිනය හෙවත් අයීපී ඇඩ්රසය ලියවෙනු ඇත.

එසේම, අපේ බ්ලොගයකට කිසිවෙකු පැමිණෙන හැම විටකම ඒ පුද්ගලයා ඒ සඳහා භාවිතා කරන උපකරණයට පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපේ බ්ලොගය දිවෙන සර්වරයේ සනිටුහන් වේ. ඒ ලිපිනයන් බ්ලොගර් සේවාව අපට ලබා නොදුන්නත් (වර්ඩ්ප්‍රෙස් හි තත්වය කුමක්දැයි නොදනිමි), ස්ටැට්කවුන්ටර් වැනි තෙවන පාර්ශවයක මෙවලමක් භාවිතාවෙන් අපට මේ ඉන්ටර්නෙට් ලිපිනයන් බොහෝ විට සොයා ගත හැක.

උදාහරණයක් ලෙස මා නිවසේ සිට හෝ ජංගම දුරකථනය හරහා කාගේ හෝ බ්ලොගයක කමෙන්ටුවක් දැමූ විට එය පෙන්වනු ඇත්තේ නිවසේ දී නම් ටෙල්ස්ට්‍රා සමාගම කියා ජංගමය හරහා නම් ඔප්ටස් සමාගම කියා වන අතර අදාළ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කර බැලීමෙන් ද මේ බව තහවුරු කර ගත හැකි වෙනු ඇත.

දැන්, එලෙස අපේ බ්ලොගයකට පිවිසෙන්නෙකු ලිඛිතව එහි ප්‍රතිචාරයක් දැක්වූ විට, එනම් කමෙන්ට් කළ විට, එසේ කර ඇත්තේ නිශ්චිතව නම් කළ අනන්‍යතාවයක් සහිතව (ප්‍රොෆයිල්) නම්, ඒ අනන්‍යතාවය හිමි පුද්ගලයා භාවිතා කරන උපකරණයට ඒ මොහොතේ පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපට බොහෝ විට සොයා ගත හැක.

මෙන්න ඒ සඳහා උදාහරණයක්.



මා පෙර පරිච්ඡේදයේ දී බොහෝ විට යනුවෙන් අදහස් කළේ, ස්ටැට්කවුන්ටර් වැනි සේවාවකින් වුව ද, සෑම විටම අදාළ ඉන්ටර්නෙට් ලිපිනය සොයා ගත නොහැකි අතර, එසේ සනිටුහන් කරගත් විස්තර වුව ද, වැඩි වේලා තබා නොගන්නා නිසයි.

දැන් ඒ මොහොතේ ම හෝ අදාළ ඉන්ටර්නෙට් සබැඳිය නොකැඩී තිබෙන කාලය ඇතුළත, මේ පුද්ගලයා අපේ බ්ලොගයේ ම ඇනෝනිමස් කමෙන්ටුවක් යෙදුවොත්, එවිට ඒ දෙවන කමෙන්ටුව යෙදුවේ පෙර කමෙන්ටුව ද යෙදූ නම් කළ අනන්‍යතාවය ඇති (ප්‍රොෆයිල්) පුද්ගලයා බව අපට සිතා ගත හැක.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා භාවිතයේ දී, අප පාවිච්චි කරන උපකරණයට මා පෙර කී ඉන්ටර්නෙට් ලිපිනය පැවරෙන්නේ ඉන්ටර්නෙට් සේවය මගිනි. මෙලෙස පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය බොහෝ විට ගතික හෙවත් වෙනස් වන එනම් තාවකාලික එකක් වේ. එනිසා, පසුදා හෝ මුල් සම්බන්ධය සිඳ නැවත මොහොතකට පසු හෝ සම්බන්ධ වූ විට හෝ අපේ උපකරණයට පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පෙර අවස්ථාවේ දී පැවරී තිබුණු ලිපිනය නොවීමට සෑහෙන ඉඩක් ඇත.

ඒ සමගම, අප භාවිතා අද කරන උපකරණයට ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පසු හෝරාවක වෙනත් ග්‍රාහකයෙකුට පැවරෙන්නට ඉඩ තිබේ.

මා දන්නා පරිදි අපට අවශ්‍ය නම් වෙනස් නොවෙන ඉන්ටර්නෙට් ලිපිනයක් අපේ සේවා සපයන්නා ගෙන් ලබා ගත හැකිවේ. ඇතැම් කේබල් ඉන්ටර්නෙට් සේවාවල මේ පහසුකම අමතර ගෙවීමකින් තොරව සාමාන්‍ය සේවයේ කොටසක් ලෙස තිනෙබ බව පෙනේ. එනම් අපේ සමහර පාඨකයින්ට එක්කෝ ස්ථිර ඉන්ටර්නෙට් ලිපින තිබේ නැතිනම් එකම ලිපිනය බොහෝ විට පැවරේ.

එසේ නොමැති විට, අද අපට ලැබෙන කමෙන්ටුවක් ලැබී ඇත්තේ මෙන්න මේ ඉන්ටර්නෙට් ලිපිනය හිමි මෙන්න මේ අනන්‍යතාව සහිත පුද්ගලයාගෙන් බව දැන ගත්ත ද, එය තාවකාලික දැනුමක් පමණක් ම වේ.

ඊළගට අප සොයා ගන්නා අයිපී ඇඩ්‍රසයක් හෙවත් ඉන්ටර්නෙට් ලිපිනයක් කොයි භූගෝලීය ස්ථානයේ සිට පැමිණියේ ද යන්න අයිපී ට්‍රැකර් සේවාවක් මගින් සොයා ගත හැකි වුව ද, එහිදී අපට ලබා දෙන්නේ අදාළ ඉන්ටර්නෙට් සමාගමේ නිල ලිපිනයයි, නැතහොත් ඔවුන් ගේ සර්වරය හෝ දුරකථන හුවමාරුව පිහිටා ඇති ස්ථානයේ ලිපිනයයි.
අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග් කෙනෙකුට එතැනින් නතර වීමට සිදුවේ.

ලංකාවෙන් රසිකොලොජියට පාඨක පිරිස් පැමිණෙන ඉන්ටර්නෙට් සේවා ලෙස මා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා පීඑල්සී සහ මොබිටෙල් වැනි සමාගම් ය. සත්‍යය නම් මේවායේ සම්බන්ධතා ඕනෑම අයෙකුට ලබා ගත හැකි බවයි. මේ ආකාරයේ ඉන්ටර්නෙට් ලිපිනයක් පිළිබඳ සොයා බැලු විට එහි භූගෝලීය ලිපිනය ලෙස ලැබෙන්නේ එක්කෝ කොළඹ කොටුවේ තැනකි, නැතිනම්, වැලිමඩ වැනි ප්‍රදේශයක කඳු මුදුනක් බව මගේ සීමිත අත්දැකීමයි.

එතැනින් එහාට විමර්ශනය කිරීමට නම්, අදාළ ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් ඒ ඒ මොහොතේ කවර පාරිභෝගිකයාට කවර ඉන්ටර්නෙට් ලිපිනයන් ලබා දුන්නේදැයි විස්තර ඒ ආයතනයෙන් ලබා ගත යුතුවේ. එවැන්නක් කිරීමට අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග්ස්ලාට නොහැකිය.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා මගින් අපේ උපකරණවලට පවරන්නේ ගතික ඉන්ටර්නෙට් ලිපිනයන් මගින් සොයා ගත හැක්කේ ඒ සේවා සමාගම කවරෙක් ද යන්න පමණක් වුවද, විශාල පරිමාණයේ සමාගම්, රජයේ දෙපාර්තමේන්තු, විශ්ව විද්‍යාල වැනි ආයතන මගින් ලබාගෙන ඇති ඉන්ටර්නෙට් සම්බන්ධතා හරහා ඒ ආයතනවල සේවය කරන පිරිස් බ්ලොග් අඩවිවලට පිවිසෙන විට, ඔවුන් ගේ ඉන්ටර්නෙට් ලිපිනයේ ටෙලිෆෝන් සමාගමක නම නොව ආයතනයේ නම පෙන්වනු ඇත.

උදාහරණයක් ලෙස මා කාර්යාලයේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව භාවිතා කළහොත් අදාළ ලොග් සටහනේ අපේ සමාගමේ නම සඳහන් වෙනු ඇත හෝ සොයා ගත හැකි වෙනු ඇත. එසේ වෙතත්, ඒ ඒ අවස්ථාවලදී, එකම සමාගම් නම යටතේ වුවද, මට ලැබෙන්නේ විවිධ උපජාල (subnet) ලිපිනයන් සහ ස්ථාන නාම බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

තවත් උදාහරණයක් ලෙස දේශකයා නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන්නේ ඔහුගේ අන්වර්ථ නමින්ම කියවෙන පරිදි ලංකා ඇකඩමික් සහ රිසර්ච් නෙට්වර්ක් නම් විශ්ව විද්‍යාලවලට අදාළ අන්තර්ජාල සබ්න්ධතාවය හරහා ය. ඒ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කිරීමෙන් ඔහු සේවය කරන්නේ කවර විශ්ව විද්‍යාලයෙන් ද කියා සොයා ගත හැක. නමුත්, ඒ විශ්ව විද්‍යාලයේ ම වෙනත් අයෙකු සඳහා ද ඒ ඉන්ටර්නෙට් ලිපිනයම වෙනත් අවස්ථාවක තිබිය හැකි බව මගේ අදහසයි. රාජ් නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන රජයේ ඉන්ටර්නෙට් ජාලයෙන් පසු කලෙක යකා නමැති අයෙකුගේ කමෙන්ටු ලැබෙන්නට පටන් ගත්තේ ඒ ආකාරයට ය. යකා (නොහොත් මධ්‍යස්ථ මතධාරියා) ද සේවය කරන්නේ රජයේ පරිපාලනයට අදාළ ආයතනයක බව මම ක්‍ෂණයකින් තේරුම් ගතිමි.

දැන්, ඒ අනන්‍යතාවය සහිතවම නිර්නාමික කමෙන්ටුවක් මට ලැබුණා නම් (එසේ ලැබුණු බවක් මා කිසි දිනක දැක නැත!) ඒ රජා ද, යකා ද, මොකා ද කියා මට දැන ගන්නට කිසිදු ක්‍රමයක් නැත.

මගේ බ්ලොගයේ නිර්නාමික කමෙන්ටු යෙදුවේ කව්රුදැයි මා නිශ්චිතවම දැනගෙන ඇත්තේ දෙවතාවකි. මුල් වාරයේ දී අදාළ පුද්ගලයා මා ඔහුට කළ උදව්වක් ගැන ඉඟියක් කර තිබුණු බැවින්, මදක් කල්පනා කළ පසු ඒ කවුදැයි සිතා ගත හැකි විය. ඔහුම ඉන්පසු වෙනත් නිර්නාමික කමෙන්ටු යොදන්නට ඇත. නමුත් මා ඒ ගැන නිශ්විතවම නොදනිමි. ඒ පෙර සේ ඉඟි නොතිබුණු නිසා ය.

දෙවෙනි අවස්ථාවේ දී, අදාළ කමෙන්ටුව යෙදූ පුද්ගලයා එයම මට පුද්ගලිකව පණිවිඩයක් මගින් දැන්වීය. ඔහු තවමත් කලාතුරකින් එවැනි කමෙන්ටු යොදන අතර සෑම විටකම පාහේ මට දන්වයි. ඒ කමෙන්ටුවල වැඩි වරදක් මා නොදකින නිසා, ඒවා නිරුපද්‍රිතව පවතී.

ඒ හැර අන් සෑම අවස්ථාවක දී ම මට කළ හැක්කේ උපකල්පන පමණකි.

මීට අමතරව මා õ තරමක් දන්නා කරුණු කිහිපයක් ද මගේ පෙර ලිපියේ කමෙන්ටු ලෙස අජිත් ධර්මකීර්ති දක්වා තිබුණි. මේ කරුණු ගැන මා අසා තිබුණද, කිසි දිනෙක ඒවා භාවිතා කරන්නට මට අවස්ථාවක් උදා වී නැත.

1. මරා රෙජීමය යටතේ ලංකාව තුළ ඇතැම් ඉන්ටර්නෙට් හි දිවෙන ලංකානිවුස්වෙබ් වැනි ප්‍රවෘත්ති සේවා තහනම් කර තිබුණු සමයේ, ප්‍රොක්සි සර්වර් නමින් සරලව හැඳින්වුණු සේවා භාවිතයෙන් අදාළ ප්‍රවෘත්ති අඩවියේ සැබෑ අනන්‍යතාවය හෙවත් ඉන්ටර්නෙට් ලිපිනය ලංකාවේ සේවා සපයන ආයතනවලින් හංගා එහි පිවිසීමට ලංකා වැසියන්ට හැකියාව තිබුණි. තමන්ගේ අනන්‍යතාවය සැඟවීමට මෙවැනි සේවයක් මිල දී ගත හැකි යැයි සිතමි.

2. අපේ ජංගම දුරකථනවල ඇති සාමාන්‍ය බ්‍රව්සරයේ පවා, හඳුනාගත නොහැකි ආකාරයට (incognito) ඉන්ටර්නෙට් හි සැරිසැරීමට ක්‍රම සකසා ඇත.

3. ටොර් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන සේවය මගින් අපට වෙනත් තෝරාගත් රටකයැයි හැඟෙන පරිදි ඉන්ටර්නෙට් ලිපිනයක් භාවිතා කළ හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ, මේ කරුණු සහ මා නොදන්නා නිසාම මෙහි සඳහන් නැති කරුණු ද අප දැනගැනීම වැදගත් බවයි. එහි බ්ලොග්කරුවන් දෙදෙනෙකු අතර ඇතිවෙන, පැය විසිහතරකින් නැතිවෙන තාවකාලික ආරෝවකට ඔබ්බෙන් වැදගත්කමක් ඇති බව මගේ හැඟීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිවයිනේ සියල්ල දත් මාජ්ජවේදී වර්ණකුලසූරිය මේ ලිපිය කියවූවොත්, මෙහි මාතෘකාවේ මා සඳහන් කර ඇති ජෝ බ්ලොග් (Joe Bloggs) නමැත්තා බටහිර රටක බ්ලොග් කියන්නෙකු ලෙස හඳුනා ගනු ඇත!

ප/ප/ලි:
දේවදත්ත විසින් ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ැගන කියන ලද ට්වින් ගාථා සැට් එක මෙසේ ය.

1.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං ශ්වෙත මංවේතී
චක්කංච වෑනෝ පදං

ඒ කියන්නේ කොහොම පුම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

2.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතෝනං සුඛ මංවේතී
ඡායාව අනපායිනී

ඒ කියන්නේ කොහොම පුබම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

අද කමෙන්ටු පල වෙනු ඇත්තේ පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

(Image: From Google - Cannot visit site)

Monday, 20 June 2016

ගංජා භාවිතය, රුවන් ජයතුංග, ප්‍ර්‍රියන්ත හේවගේ සහ ඇනෝනිමස් කමෙන්ටු හෙවත් I O Sirisena mark II


ගංජා බීම හොඳඳ නැද්ද යනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ ඇරඹුණු මතවාදී අදහස් හුවමාරුවක් දැන් එකිනෙකා කෙරෙහි චෝදනා සහ ප්‍රතිචෝදනා කර ගැනීමක් දක්වා වර්ධනය වී තිබේ. මා අද පළ කරන්නට සිටි ලිපිය කල් දමා ඒ ගැන මේ ලියන්නේ, නොලියාම බැරි නිසා ය.

මා දකින ආකාරයට සිදුවී ඇත්තේ මෙයයි.

රුසියාවේ අධ්‍යාපනය ලබා, බටහිර වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල සේවය කර, විෂය කරුණු පිළිබඳව මෙන්ම සිංහල නිර්මාණ ඇතුළත් පොත් පත් විශාල සංඛ්‍යාවක් ලියා ඇති දැනට කැනඩාවේ මනෝ විද්‍යාව පිළිබඳ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරනවා යැයි මා සිතන රුවන් එම් ජයතුංග තමන් ගේ ජීවිතයේ අත්දැකීම් ගැන මෙන්ම වෘත්තීය මට්ටමේ පර්යේෂණ ගැන ලියවෙන ලිපි ද, තම සාහිත්‍යමය නිර්මාණ ද පළ කරන ට්‍රාන්ස්සිල්වේනියා බ්ලොගයේ, ගංජා හෙවත් කංසා පානය කිරීමට ඇබ්බැහි වීම නිසා මිනිස් සිරුරට සහ විශේෂයෙන් මනසට ඇති වෙන විනාශය පිළිබඳචිකිත්සක සාක්‍ෂි මත පදනම් වූ ලිපියක් නොබෝදා පළ කළේ ය.

චිකිත්සක අත්දැකීම් කෙසේ වුව ද, පුද්ගලිකව ගංජා බීම පිළිබඳ ඔහුට අත්දැකීම් ඇති යැයි මම නිවැරදිව නොදනිමි. නමුත්, මා විශ්වාස කරන්නේ ඒ අත්දැකීම් ඔහුට නොමැති බවයි. ඔහුට ඇත්තේ, ගංජා බී රෝගීව වෛද්‍ය ප්‍රතිකාර සොයා එන පිරිසක් පිළිබඳව සායනික අත්දැකීම් පමණි.

සුවිශේෂීව දේශපාලන කරුණු ගැනත්, පොදුවේ අනෙකුත් විෂයය ක්‍ෂේත්‍ර පිළිබඳවත් හාස්‍යෝත්පාදක ආකාරයට මෙන්ම ගම්භීරාකාරයට ලියවුණු ලිපි ද, ඒ සමගම අතීතකාමය අවුස්සන ලියවිලි ද, කවි සහ වෙනත් නිර්මාණ ද තම මාතලන් නමැති බ්ලොගයේ පළ කරන ප්‍රියන්ත හේවගේ විසින් ද ගංජා බීමේ ඇති ගුණාගුණ ගැනත්, අපනයන කෑෂ් ක්‍රොප් වර්ගයක් ලෙස ගංජා වගා කිරීමේ කෘෂි කර්මාන්තයක් ඇරඹීම පිළිබඳවත් කරුණු ඇතුළත් ලිපියක් ලියා පළ කළේය.

ප්‍රියන්ත හේවගේ ට ගංජා භාවිතය පිළිබඳ ස්වයං අත්දැකීම් ඇතිය යන්න සත්‍යයක් යැයි සිතමි. රුවන් ජයතුංගට ඇති, මා පෙර කී, සායනික අත්දැකීම් ප්‍රියන්ත හේවගේට නැත.

රුවන් ජයතුංග ගේ දෙවෙනි ලිපියක් තමන්ට අනියම් පිළිතුරක් ලෙස පළ කළා යැයි සිතු ප්‍රියන්ත හේවගේ කළේ කෙළින්ම රුවන් ගැන සඳහන් කරමින් ප්‍රති-පිළිතුරක් ලෙස ලිපියක් ලිවීමයි.

ඒ ලිපි හුවමාරවේ දී, ලිපිවලට ලැබුණු ප්‍රතිචාර අතර ප්‍රියන්ත හේවගේ ට අපහාස කෙරෙන ආකාරයේ ප්‍රතිචාර පළවුණු බවත්, නිර්නාමිකව පැමිණ ඒ ප්‍රතිචාර පළ කළේ රුවන් ජයතුංග ම බවත් ප්‍රියන්ත හේවගේ පවසයි. ඒ චෝදනාව රුවන් ජයතුංග ප්‍රතික්‍ෂේප කරයි.

ගංජා භාවිතය පිළිබඳ මගේ අවංක අදහස මා ඔය ලිපිවලට තැබූ ප්‍රතිචාර ලෙස සඳහන් කළෙමි. එය නැවත පවසනවා නම් මෙසේ ය.

ගංජා යනු ඖෂධීය ගුණයෙන් යුතු ශාකයකි. එය ඖෂධයක් ලෙස වෛද්‍ය නිර්දේශ සහ අධීක්‍ෂණය යටතේ භාවිතා කිරීම නීතිගත කළ යුතුය.

නමුත්, පැනඩෝල් වැඩිපුර ගැනීමෙන් පවා මරණයට පත්විය හැකි තත්වයක් ඇති නිසා, ගංජාවලට ඇබ්බැහි වීම සහ අවශ්‍ය මාත්‍රාවට වඩා ගංජා පාවිච්චිය නිසා සිදුවිය හැකි අවැඩ බොහෝය. එනිසා, පාලනයක් අත්‍යාවශ්‍ය වේ.

නැවතත්, මාතෘකාවට පැමිණියහොත්, මගේ අවංක අදහස නම්, රුවන් ජයතුංගට නිර්නාමිකව පැමිණ තමන් ගේ බ්ලොගයේ හෝ වෙනත් බ්ලොගයක හෝ ප්‍රතිචාර දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. එනිසා, ඔහු තමා එසේ නොකළේ යැයි කරන ප්‍රකාශය මම පිළිගනිමි.

ඒ සමගම මේ කරුණු ද පැවසිය යුතුය.

තමාට ඇනෝනිමස් කමෙන්ටු දමන්නන්, ඔවුන් ගේ අයිපී ලිපිනය සහ කලින් ඔවුන් තම අනන්‍යතාවය සහිතව යෙදූ කමෙන්ටු හරහා හඳුනාගත හැකි යැයි ප්‍රියන්ත හේවගේ සිතයි.

තමා විසින් කරනු ලැබී යැයි චෝදනා කෙරෙන කමෙන්ටුව තමා විසින් නොදමන ලද බව පොදු අවකාශයේ ඇති දත්ත හරහා ස්ථිරව සොයා ගැනීමට හැකියාව සාමාන්‍ය පුද්ගලයින්ට ඇති බව රුවන් ජයතුංග සිතයි.

මට කීමට ඇත්තේ ඔවුන් දෙදෙනා ම නිවැරදි නොවන බවයි.

කාලවේලා ප්‍රශ්නය නිසා, මේ පිළිබඳ මගේ සරල දැනුම සහ අත්දැකීම් සහිත ලිපියක් ලියා පළ කිරීම සවස් වරුවට කල් තබමි.

-රසිකොලොජිස්ට්

ප/ලි (20 June 2016 at 23:32 Sydney Time):
මා රුවන් ගේ ගංජා ලිපිවල සහ මාතලන් ගේ මුල් ගංජා ලිපියේ මුල් හෝරාවලදීම ප්‍රතිචාර දක්වා තිබුණ ද පසුව එහි සිදුවූයේ කුමක්දැයි එතෙක් දැන සිටියේ නැත.

මේ ආරෝව ගැන කියමින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලූ පණිවිඩයක් රුවන්ගෙන් ලැබුණ පසුව එහි ගොස් සියල්ල කියවීමෙන් පසු, මේ උද්ගත වූ තත්වයේ දෙදෙනෙකුගේ ආරෝවකට එහා ගිය පොදුවේ සිංහල බ්ලොග් ලෝකයට වැදගත් යමක් ඇතිබව වැටහුණි.

මා මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ, ඉන් පසුවය.

මේ ලිපියේ දෙවන කොටස අද සවස් වරුවේ ලියා පල කිරීමට සිතා සිටියද, හදිසි කාර්යයන් කිහිපයක් තිබුණු නිසා එය අවසාන කළ නොහැකි විය.

ඒ කොටස හෙට පළ කරමි.

(image: http://keenetrial.com/blog/2011/04/13/no-one-makes-a-deal-on-a-handshake-these-days/)

Saturday, 18 June 2016

මට වෙන වැඩ හෙවත් I O Sirisena


නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් අද (ජූනි 18 සෙනසුරාදා) සිනුවර දී පැවැත්වෙන බවත්, නළාකාරයින් ගේ ලයිස්තුව පරීක්‍ෂා කිරීමෙන් පසු මා එය නැරඹීමට යාමට මට ලැබුණු ආරාධනාවක් පිළිගත් බවත්, ඊයේ මා ලියා පළ කළ "යනවා නම් යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං!" නම් ලිපිය ආරම්භයේ සඳහන් කළෙමි.

මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි.

ඒ සමගම, මෑතකදී මා නිරීක්‍ෂණය කළ කාරණාවක් නම්, දැන් දැන් පැවැත්වෙන ඇතැම් සංගීත ප්‍රසංග සුභසාධක වැඩ සඳහා නොව සංවිධාකයින් ගේ ප්‍රීතිය සහ බඩ රස්සාව උදෙසා ම සඳහා සංවිධානය වෙන බවයි!

ඒ හේතුව නිසා ද, මා නැරඹීමට යන ප්‍රසංග සංඛ්‍යාව මෑත කාලයේ ඉතා අල්ප විය.

ඊළඟට පසුගිය වසරේ එළි දැක්වුණු කූප්‍රකට නළාකරායින් ගේ ලයිස්තුව නිසා, මගේ තේරීමේ පටිපාටියෙන් සුභසාධක කටයුතු යන්න ප්‍රමුඛතාවෙන් පහළට දැමුණි.

ඔය සියලු කාරණා අනුව මා සද්භාවයෙන් යුතුව අද පැවැත්වෙන නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයට සහභාගී වෙන්නට සිටියෙමි.

නමුත් ඊයේ රාත්‍රියේ මා වත්පොතේ දී දුටු ඡායාරූපයකින් වැටහුණේ මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවේ කුප්‍රකට දේශපාළුවෙකු වන ප්‍රසන්න රණතුංග සහභාගී වෙන බවයි.

එය දැන ගත් මොහොතේ සිට මා සිත තුළ ඇතිවුණු අප්‍රසන්න හැඟීම් තවමත් පහවී නැත. පහවී යන සේයාවකුදු නැත.

මා කළ යුත්තේ කුමක් ද?

මේ ප්‍රසංගය නැරඹීමට මා ඇය සමග යන බවට බිරිඳට දුන් පොරොන්දුව කඩ කළ නොහැක. නමුත්, ප්‍රසන්න රණතුංග වැන්නෙකු ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන සංගීත ප්‍රසංගයක වුව අසුන් ගැනීමට මට සිත් නොදේ.

කුමක් කරන්නදැයි සිතා ගත නොහැක.

අයියෝ සිරිසේන!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රසන්න රණතුංග මගේ බ්ලොගයේ කාඩ් එක රැගෙන මේ ලිපිය බැලීමට අධිෂ්ඨාන කළ මොහොත.




(image: http://rs1102.pbsrc.com/albums/g447/TheISZ/Emoticons/Ew%20Yuk%20Gross%20Vomit/vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-facebook.gif~c200)

Friday, 17 June 2016

යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං...! - G.M.O.A. Jokes


මේ සටහන ලියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හෙවත් ජීඑම්ඕඒය විසින් කර තිබුණු ප්‍රකාශයක් පිළිබඳවයි.

මාතෘකාවට යොදා ගෙන ඇති පදයේ වචන කීපයක් මා උපුටා ගත්තේ සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගයන "සුකිරි බටිල්ලන් ගේ සින්දුවක්" වූ "යනවා නම් අනේ මං අරං, යන තැනකට යන්න රත්තරං!" නම් ගීතයෙනි.

නන්දා නැන්දා සහ විට්ටර් අංකල් හෙට සිනුවර ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර ඔවුන් දෙදෙනා පසුගිය ජනාධිපතිවරණය අරභයා නළාකරුවන් පිරිසක් විසින් පළකරන ලද පුවත්පත් දැන්වීමට සම්මාදම් වී නැති බව නිසැකව වටහා ගත් පසු එය නැරඹීමට ලැබුණු ඉල්ලීමක් මා පිළිගෙන තිබීම ඒ ගී පදය මට සිහිවෙන්නට ආසන්න ම හේතුවයි.

ඒ කෙසේ වෙතත්, නැවතත් ප්‍රස්තූතයට එනවා නම්, ජීඑම්ඕඒය විසින් කියා තිබුණේ, ඔවුන් ගේ සාමාජිකයින් වන රජයේ වෛද්‍ය නිලධාරීන් රට හැර යාමට සූදානම් බවයි.
යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං යනුවෙන් මට කියවුණේ ඒ පුවතේ හෙඩිම දුටු විට ය.

මගේ අදහස නම්, රටෙන් පිටව යන උන්, යන්නට හැකියාවක් ඇති උන් සහ අවශ්‍යතාවක් ඇති උන් ඔය ආකාරයට අනේ අපි යනෝ, අපිව බේරා ගන්ටෝ යනුවෙන් කිය කියා ඉන්නේ නැති බවයි. උන් යන්නට යති. ඇත්තටම කියනවා නම් අමුතුවෙන් යන්නට ඕනෑත් නැත. ඒ රටවල ඉන්නට හැකියාවක්, අවශ්‍යතාවක් තිබේ නම් පුහුණුවට ගිය අවස්ථාවේ දී ම ආපසු නොඇවිත් එහේ ම පැලපදියං වෙති.

නමුත් සත්‍යය නම්, ඔය අපේ සාමාජිකයින් රටෙන් පිටවී යන්න යනවා යැයි කීම වනාහී, ජීඑම්ඕඒ කම්කරු සංගමය විසින් තම හාම්පුතා වන ආණ්ඩුව සමග කරන තමන් ගේ සාමාජිකයින් ගේ වරප්‍රසාද වැඩි කර ගැනීමේ වෘත්තීය සමිති ක්‍රියාදාමයේ කේවල් කිරීමේ අදියර සඳහා උපයෝගී කරගන්නා තුරුම්පුවක් පමණි. මෙය ඇත්තටම තුරුම්පු ආසියා නොව කොලේ වසා යටින් ගහන කැට කොළයක් පමණි. ඔවුන් කරන්නේ හුදෙක් ම කයිවාරුවක් ගැසීමක් පමණක් බව ඔවුන් ම දනිති.

මේ පිළිබඳව, ඔහු ද වෛද්‍ය උපාධිධාරියෙකු වන, මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා, මෙසේ කියා ඇත.

This is another GMOA 'hoax'.

This is another lie they want the public to believe so that they can 'black mail' them and the government for more demands.

When they say that doctors would leave the country if their demands, fair or unfair, are not met it implies that a Sri Lankan doctor remains in the country only for 'altruistic' reasons or to serve the public.

It also implies that whenever, they feel they can fly to any destination in the world as the countries in the world are waiting for them with open arms. (I do not understand the childish immaturity of these people. Definitely there is something wrong with how they have been trained in their medical schools.) This claim cannot be any further from the truth.

It is not easy to get a job in the Western world for a Sri Lankan doctor. For instance, In the UK they should sit for IELTS and get 7.5 out of 9. Then sit for PLAB 1 and 11 to get GMC registration. Then you should apply for jobs whenever there is a vacancy. Whether you get a job or not depends not only your passing IELTS and PLAB but also on your experience back in SL.

In Australia the situation is the same if not worse. Lately they are run out of vacancies due to influx of British trained doctors. Now the demand for doctors seems to have dried out.

In Canada the situation is the same. There are so many Sri Lankan migrant doctors without jobs as they haven't got the registration there.

In Singapore and Malaysia their Medical Council register only the graduates from University of Colombo.

In the case of the Specialists (or consultants in Sri Lanka), even if they manage to get jobs in UK they won't get Consultants' jobs or even associate specialist level jobs. Only a few specialities get sponsored GMC registration in UK. Others have to go through usual channel or some other complicated procedures.

I am sorry to see doctors have gone down to this level in order to get their petty demands by deceiving the public and government in this way. Do they think that this arrogant, pompous and conceited attitude make them more friends among the public? And they say, when the public is angry, that public is 'jealous' with doctors. What a joke!

කාලවේලා මදිකම නිසා මම ප්‍රියන්ජිත් පෙරේරා ගේ ප්‍රකාශයේ අවසාන වැකිය පමණක් පරිවර්තනය කරමි.

මොන විහිළුවක් ද?

ආමිකාරයින්, නඩුකාරයින්, රජයේ ඉහළ නිලධාරීන් වැන්නන් සඳහා පවතින ආණ්ඩු රටේ පොදු වැසියන් ගේ සම්පත් අපහරණය කරමින් අසාධාරණ වරප්‍රසාද ලබා දී ඇති බව සත්‍යයකි. රජයේ පාසල් පද්ධතිය ද එසේ අපහරණයට ලක් වූ එක් පොදු වස්තුවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ට ද තම වෘත්තිය අයිතිවාසිකම් සහ පොදු වස්තුවෙන් ලොකු කුට්ටියක් කඩා ගැනීමේ කැක්කුමක් ඇති බව ද සත්‍යයකි.

එසේ නමුත්, ඔය ජීඑම්ඕඒය කියන කියන විදියට ඔවුන් ගේ සාමාජිකයින් ට ලංකාවෙන් පිටත්ව වෙනත් රටකට ගොඩ බා ක්‍ෂණයකින් සේවය අරඹන්නට හැකියාවක් ඇතැයි කීම නම් විහිළුවක් පමණි.

සැබෑ ප්‍රශ්නය එය නොව, මේ සියලු වෘත්තීය සංගම් කම්කරු ක්‍රියාකාරකම් සටන් සඳහා පලිහක් ලෙස පාවිච්චි වෙන්නේ විවිධාකාරයේ බදු ගෙවමින් රජයේ වෛද්‍ය සේවය පවත්වා ගැනීමට කඹුරන රටේ පොදු ජනතාව ම වීම ය.

ඉතින්, ජීඑම්ඕඒයට සහ එහි සාමාජිකයන්ට මගේ පණිවිඩය මෙයයි.

යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං...!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රියන්ජිත් පෙරේරා විසින් ලියන ලද නවකවදය පිළිබඳ ලිපියක් මීට පෙර දිනක සම්පූර්ණ පරිවර්තනයක් ද සමග පළ කළෙමි.

එය කියවා නැති අය සඳහා සබැඳිය පහත දැක්වේ.
http://rasikalogy.blogspot.com/2016/05/priyanjith-perera-on-ragging.html

(image: https://teamforunity.wordpress.com/)

Thursday, 16 June 2016

සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද? - A million dollar question!


මීට වසර පන්සීයකට පමණ ඉහත කාලයක ලංකාවේ පාණදුර ප්‍රදේශයේ විසුවේ යැයි කියවෙන වීදාගම මෛත්‍රී හාමුුදුරුවන් දිනක් පන්සලෙන් නික්ම කොහේදෝ වැඩිල්ලක් වඩිනා විට පාර අසල වතුර පිරි පොකුණක මාළු බාන කොලුවෙකු දැක ඌ අමතා මෙසේ පැවසුවේ ලු.

"කොල්ල, මේ පෝ දිනයේ ඔයාකාරයට මාළු බාන්නේ තා කොයි වල යන්නද?"

මෛත්‍රී සාදු එහිදී වල කියා ඇත්තේ සක්වල, පරසක්වල යනාදී වදන්වල එන පරිදි ලෝකය යන අරුතෙනි.

මුඛරියෙකු වූ ඒ කොලුවා පිළිතුරු දී ඇත්තේ "හාමුදුරුවනේ, මේ වල මාළු නැතිනම් උඩහ වලට යනවා" ය කියා ය!

මේ කොලුවා වනාහී පසු කලෙක පැවිදිව තොටගමුවේ රාහුල නමින් චිරප්‍රසිද්ධ වූ සාහිත්‍යධරයා බව පැවසේ.

ඒ කතාව මගේ සිහියට නැගුණේ, ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ගේ අභාවය ගැන දැන ගන්නට ලැබුණු මොහොතේ දී ය.

ජනතා විමුක්ති පෙරමුණට කලක් සම්බන්ධව හෝ අනුගාමිකයෙකුව හො හිතවතෙකු ලෙස හෝ සිටියේ යැයි මා සිතන මගේ මිතුරෙකු සෝමවංශ අමරසිංහ හඳුන්වා තිබුණේ "සහෝදරයා" ලෙස නොව "එතුමා" යනුවෙනි. මියගිය සෝමවංශ අමරසිංහට "නිවන් සැප ලැබේවා!" යැයි පතන අය ද, "සාමයේ සැතපේවා!" යැයි පැතන අය ද සිටිති. ඒ අතර, මේ අවස්ථාව ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණ සරදමට, විවේචනයට ලක් කරන්නට යොදා ගන්නා අය ද එමට ය.

මා මේ කිසිසේත් ම මැරුණු පුද්ගලයෙකුට අපහාසයක් කරනවා නොවේ. මා ලියන්නේ ඇත්තට ම මගේ සිතේ පැන නැගුණු අවංක සිතුවිල්ලකි.

සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද?

වසර 1986 දෙසැම්බරයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමීමේ සිට වසර 1989 අවසානය දක්වා ජනතා විමුක්ති පෙරමුණ හෝ දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය හෝ දේශප්‍රේමී ජනතා බලවේගය හෝ එවැනි වෙනත් සංවිධාන හරහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලයින් 6,000 ක් පමණ මරා දැමූ බව, එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක ද පිළිගෙන තිබුණි.

නන්දසිරි විජේවීර හෝ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් හෝ මධ්‍යම කමිටුවේ සාමාජිකයින් හෝ ගල්කටස් රැගෙන මේ මිනීමැරුම්වලට කෙළින් ම "ජේමිස් බණ්ඩලා" මෙන් සහභාගී වූවා යැයි කීමට නොහැකි නමුත්, ඒ අපරාධවලට කෙළින්ම හෝ අනියමාකාරයෙන් අණ දීමේ පොදු "බ්‍රිගේඩියර් එම්" ආකාරයේ වගකීමෙන් ගැලවීමට ඔවුන් කිසිවෙකුටවත් නොහැකිවේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබුණු එවකට පැවති ර. පේමදාස, රන්ජන් විජේරත්න ප්‍රමුඛ රජය විසින් ද අවනීතිය ම ක්‍රියාවට නගමින් දහස් ගණන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්, එසේ යැයි සැක කෙරුණු අය මෙන් ම, වෙනත් කෝන්තර බේරා ගැනීම පිණිස මරණ ලයිස්තුවලට ඇතුළත් කරනු ලැබූ අය ද දස දහස් ගණනක් මරා දැමුණු තත්වය තුළ, අවසානයේ ඇති වූ නඩු නැති, නීතිය නැති තත්වය නිසා සෝමවංශ අමරසිංහ වැනි ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට නායකත්වය දුන් තව දුරටත් ජීවත්ව සිටි අයට නිරුපද්‍රිතව සිටීමට ඉඩ ලැබුණි. නමුත්, නොයෙකුත් ප්‍රවාද මිස කුමකින් කුමක්දැයි නිවැරදිව අප නොදන්නා මරණින් පසු ලෝකයේ දී, හෙවත් පර සක්වල දී, ඔවුන්ට කොයි ආකාරයේ තත්වයකට මුහුණ දෙන්නට සිදුවේ ද?

එනම්, ඇත්තටම, සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද?

මා විවිධාකාරයේ බණ, වැදි බණ සහ විහිළු-තහළු වැඩ සටහන්වලට සහභාගී වූ අවස්ථාවල දී, මගේ ඒ කනෙන් ඇතුළු වී මේ කනෙන් පිට නොවුණු කරුණුවලට අනුව සහ විශේෂයෙන් ම තුන්වෙනි ශ්‍රේණියේ සිට වසර හතක් පාසලේ උගත් බුද්ධාගම පාඩම්වල මතකයට අනුව, ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් හිටපු නායකයින් මෙන් සෝමවංශ අමරසිංහ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම කර නැති බව පැහැදිලි ය. එහෙත් ඔහු කළ කර්ම අහෝසි කර්ම යැයි වර්ගීකරණය කළ හැකි යැයි නො සිතමි.

සෝමවංශ අමරසිංහට, පර්ලි ගේට්ටුව අසලදී පිටරයියා මුණ ගැසුණු විට දී හෝ වෙනත් ආකාරයකට ඔහු ගේ මීළඟ නවාතැන පිළිබඳව නීර්ණය කෙරෙන අවස්ථාවේ දී කුමකින් කුමක් සිදුවේද කියා සිතීම ඇත්තටම අපට අප ගැන ද සිතීමට ඉඩ සලසන හොඳ දාර්ශනික ප්‍රශ්නයක් මට කිව හැකි ය.

සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද?

-රසිකොලොජිස්ට්

(image: http://www.debate.org/opinions/is-there-a-second-life-after-death)

Wednesday, 15 June 2016

දත් වහල්ල මැදීම - Show me your teeth please!


මේ ළඟදී දිනයක මට "සෙන්සෝඩයින්" නමැති දත් බෙහෙත් හෙවත් ටූත් පේස්ට් වර්ගයේ කුඩා ප්‍රමාණයේ ටියුබයක් හමුවිය. එයින් මදක් දත් බුරුසුවකට දමා දත් මදින්නට පටන් ගෙන ස්වල්ප වේලාවකින් මට සිතුණේ මේ කටට දැනෙන රසය නම් තරමක් හෝ හුරු පුරුදු එකක් බවයි.

නමුත්, ඒ කුමක්දැයි සිතා ගැනීමට එක්වරම නොහැකි විය. එය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම හරියට "මේ දිව අගම තියෙනවා, තියෙනවා, වගේ, නමුත් එළියට එන්නේ නෑ!" වැනි තත්වයක් විය.

දත් වහල්ල මැද අවසාන වෙන මොහොතේ මගේ සිහිය සැපත් විය.

ගෝපාල්!

ගෝපාල් යනු අප කුඩා කාලයේ ගමේ ගොඩේ කඩවල විකිණීමට තිබුණු දත් බෙහෙත් කුඩු වර්ගයකි. දහයියා මද පමණින් පුළුස්සා, එයට කිසියම් රසකාරයක් යොදා, රෝස පැහැයෙන් වර්ණ ගන්වා සාදා තිබුණු මේ දත් කුඩු පැකට්ටුවක් විකිණුනේ ශත පහක් වැනි මුදලකට ය.

ඊට අමතරව, දන්තමුක්ත නමින් ද, පැරකුම්බා නමින් ද තවත් දත් බෙහෙත් කුඩු වර්ග දෙකක් තිබුණු බව පසුව වත්පොත හරහා කියවූ මිතුරන් ගේ ප්‍රතිචාර හරහා මතකයට නැගුණි. දන්තමුක්ත සහ පැරකුම්බා යනු අරළු, මූණමල් වැනි ශාක කොටස් එකතු කර සාඳන ලද දත් බෙහෙත් වර්ග බව කියවුණි. පෙර කී ගෝපාල් තරම් රසයක් නොතිබුණු නිසා මම මේ දෙවර්ගයට ප්‍රිය නොකළෙමි!

කෙසේ නමුත්, ගෝපාල් යනු අපේ අම්මා නිවසට මිලට ගත් අත් බෙහෙත් කුඩක් නොවේ. මට ගෝපාල් රසය විඳින්නට ලැබුණේ එක්කෝ නන්දාවතී නැන්දා ගේ නිවසේ දී හෝ නැතිනම් සරත් බාප්පා මිලට ගෙන තිබුණු විට දී යැයි සිතමි.

අපේ අම්මා පුරුදුව සිටියේ දත් බුරුසුවකට එකල පැවති, සිග්නල්, එස්ආර් හෝ පෙප්සොඩන්ට් වැනි දත් බෙහෙත් වර්ගයක් යොදා දත් මැදීමටයි. ඇය තරුණ කාලයේ කෝල්ගේට් නම් දත් බෙහෙත් වර්ගයක් ද තිබුණු බව සහ එකල රේඩියෝවේ වෙළඳ සේවයේ කෝල්ගේට් අනුග්‍රහයෙන් ජනප්‍රිය ගීත වැඩසටහනක් ද ප්‍රචාරය වුණු බව ද ඇය මා සමග පවසා ඇත.

දිනපතා එලෙස දත් මැදි අම්මා ගේ දත් වැඩි හරියක් පසු කලෙක දිරා කැඩී, බිඳී, ගැලවී ගියේ ය. දැන් ඇය කෘතිම දත් ඇන්දක් ද භාවිතා කරයි.

මගේ තාත්තා නම් මිය යන කාලය වන විටත් ඔහු ගේ දත් සෑහෙන්න හොඳ තත්වයේ තිබුණි. එකම ප්‍රශ්නය වූයේ ඒවායේ බැඳී තිබුණු බුලත් කහට ය.

මෙහිදී කිව යුතු වැදගත්ම කරුණ නම්, අපේ තාත්තා මට මතක ඇති කාලයේ සිටම දත් මැදීම සඳහා භාවිතා කළේ හනසු අඟුරු වීම ය.

තාත්තා හනසු අඟුරු සාදන්නේ මෙසේ ය.

වත්තෙන් අහුලා ගන්නා ලද හොඳ ප්‍රමාණයේ හනස්සක් ලිපට දමා එහි මුල් කොටස හොඳින් දැල්වුණු පසු කුස්සියේ ම ඇති ලුණු පොල්කට්ටට එය දමනු ලැබේ. එවිට ගින්දර නිවී හනසු අගුරු යම් ප්‍රමාණයක් ලැබේ. සෑහෙන්න ලුණු පොඟන තුරු පොල්කට්ටේම තියෙන්නට ඉඩ අරින ඒ අගුරු කැබලි තාත්තාට දින කිහිපයකට සෑහේ.

හනසු අඟුරුවලින් දත් මැදීම සඳහා පළමුව අගුරු කැබැල්ලක් මුව තුළට ගෙන එය විකිය යුතුයි. ඉන් පසු එක්කෝ ඇගිල්ලෙන් හෝ දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම කළ හැක.
හනසු අඟුරු වෙනුවට සමහරු කරුංකා අඟුරු ද යොදා ගත් බවට මගේ මතකයක් ඇත.

අඟුරුවලින් හෝ ගෝපාල් වැනි දත් බෙහෙතක් සමග ඇඟිල්ල උපයෝගී කරගෙන දත් මදින්නේ දත් වල බැඳෙන බුලත් කහට වැනි දේ ඉවත් කිරීමට මිස දත් අස්සේ රැඳී ඇති ආහාර කැබලි ඉවත් කිරීමට නොවන බව කුඩා කල සිටම අප දැන සිටියත්, හනසු අඟුරු හෝ ගෝපාල් කුඩ සමග ඇඟිල්ලෙන් දත් මැදීමට මම ප්‍රිය කළෙමි.

-රසිකොලොජිස්ට්


(image: facebook & https://www.instagram.com/p/ua3QPkmEek/?taken-by=gopaltoothpowder)

Tuesday, 14 June 2016

ඕස්ට්‍රේලියාවේ දී බියර් බීපු හැටි - All about amber fluid


අරක්කු සමග එකට බිව් දවසේ මිස, වෙනත් කිසි දිනයක මා බියර් බී මත් වී නැත්තේ, නුවරඑළියේ සිටි ජර්මන් බොස් මෙන් බියර් කේස් පිටින් නිවසට ගෙනැවිත් නොබී, ජපන් තේ බීමක් මෙන් සැදී පැහැදී චාරිත්‍රානුකූලව පමණක් බිව් නිසා යැයි සිතමි.

පෙර සූදානම්, හිස් බෝතල්, ඩිපොසිට්, බයිට් ආදී කිසිවක් නොමැතිව, ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බියර් බොන ආකාරය නේබර්ස් නම් ටෙලි නාට්‍යයෙන් දැක මා සතුටු වුණේ කෙදිනක හෝ ඒ අත්දැකීම ද ලැබීමට හැකි නිසා ය.

බියර් යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රියතම පානය යැයි කිවහොත් වරදක් නැත. මෙරට ඒක පුද්ගල බියර් පරිභෝජනය වසරකට ලීටර් 75 පමණ වේ. ලංකාවේ එකී අගය ලීටර් දෙකක් පමණි.

මේ මගේ විසි වසරක ඕස්ට්‍රේලියානු බියර් අත්දැකීම්වලින් කිහිපයකි.

මා ඕස්ට්‍රේලියාවට පැමිණියේ අප්‍රියෙල් මස මැද හරියේ, මෙල්බර්න් නුවර සීතල හේමන්ත රාත්‍රියක් ගෙවමින් සිටියදී ය. පසුදින උදයේ මා නතර වී සිට ප්‍රේම් සහ නයනා ගේ නිවසෙන් උඩුකයට කමිසයක් පමණක් ඇඳ එළියට බට මම සීතලෙන් වේව්ලා ගියෙමි. ඒ උදේ වරුවේ ය. රාත්‍රිය ඊටත් වඩා සීතල විය.

එදින රාත්‍රියේ මා බිව් බියර්වලින් ලංකාවේ දී ලද ආකාරයේ වින්දනයක් නොලැබූ බව කිව යුතුය.

එයට ප්‍රධාන හේතුව වූයේ අප මේ සීතල බියර් බොන්නේ සීතල පරිසරයක දී වීම යැයි සිතමි. ඊට අමතරව, ලංකාවේදී මෙන් කල් යල් බලා, පෙර සැලසුම් කිරීමක් නොමැති වීම නිසා ද, බියර් බීම තේ කෝප්පයක් බීමට වඩා වෙනස් වුණේ සුළු වශයෙනි.

ලංකාවේ දී, උසැති, දුඹුරු පැහැති මිලිලීටර් 650 පමණ බියර් බෝතල් දැක පුරුදුව තිබුණු මට ඕස්ට්‍රේලියාවේ දී දක්නට ලැබුණේ, මිලි ලීටර් තුන්සිය හැත්තෑ පහේ බාග බෝතල් හෝ කෑන් ය. මේවා හය බැගින් අසුරා ඒ සික්ස්-පැක් හතරක් එකට කේස් එකක් ලෙස සාදා ඒවා හෝ විකිණීමට තබා තිබුණි. එවැනි (වික්ටෝරියන් බිටර්) බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක නියමිත විකුණුම් මිල ඩොලර් තිහක් පමණ විය. (කෑන්වල මිල තරමක් අඩු ය) මෙය, ලංකාවේ එකල බියර් මිල මෙන් දෙගුණයක් පමණ මුදලකි. මේ ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 35 ක් වූ 1995 වසරයි.

අද වසර විසි එකකට පසුව ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 105 (35*3) ක වන අතර පෙර කී වර්ගයේ බියර් බාග බෝතල් (මිලි ලීටර් 375) විසිහතරක පෙට්ටියක නියමිත මිල ඩොලර් 50 ක් බව ඊයේ ලිකර්ලෑන්ඩ් නම් කඩේ දී මම සටහන් කර ගත්තෙමි. කෑන් මිලදී ගන්නේ නම්, තිහකින් යුතු පෙට්ටියක් ඩොලර් 56 කි.

බියර් බාග බෝතල් (හෝ ඒ පරිමාවේ ම කෑන්) විසිහතරක පෙට්ටියක් මිලට ගැනීම, නිතර බියර් බොන්නෙකුට, සෑම විටම වාසිදායක වේ. මේ ලිපියට දත්ත සොයා ගැනීම සඳහා මා ඊයේ කළ නිරීක්‍ෂණ චාරිකාවේ දී දුටු මිල දර්ශනය අනුව, වික්ටෝරියානු බිටර් නම් බියර් වර්ගයේ බාග බෝතලයක මිල ඩොලර් 3.80 කි. හයේ පැක් එකක් ඩොලර් 17 කි. විසි හතරක පෙට්ටියක අද මිල ඩොලර් 50 ක් නමුත්, ඔබ කේස් දෙකක් ගන්නේ නම් ගෙවන්නට වෙන්නේ ඩොලර් 92 ක් පමණි. එනම්, බාගේ බෝතලයක් වෙන්නේ ඩොලර් 1.91 ක් පමණි.

බියර් බොන්නන් නිවෙස්වලට වඩාත් ම රැගෙන යන්නේ මේ මා සඳහන් කළ බාගේ බෝතල් පෙට්ටි වුව ද, පුර්ණ ප්‍රමාණයේ මිලිලීටර් 750 බියර් බෝතල් ද විකිණීමට ඇත. ඉන් එකක් ඩොලර් හයක් වන අතර බෝතල තුනක් සඳහා අද මිල ඩොලර් 16.50 කි.

පෙට්‍රල් ද ඇතුළුව, අන් සෑම පාරිභෝගික භාණ්ඩවලට මෙන්ම බියර්වලට ද නියමිත උපරිම මිලක් මිස අවම මිලක් නැත. විවිධ කඩකාරයෝ විවිධ කාලවලදී විවිධ බියර් වර්ගවලට විවිධාකාරයේ වට්ටම් ලබා දෙති. එනම්, ලබන සතියේ මේ කඩයට ගොස් මා සඳහන් කර ඇති මිලට වික්ටෝරියානු බිටර් බියර් වර්ගය ගැනීමට නොහැකි වෙනු ඇත.

බියර් වර්ග තුන හතරක් පමණක් විකිණීමට තිබුණු එකල ලංකාවේ සිට මෙරටට පැමිණි මා දුටු අනිත් වෙනස වූයේ ඕස්ට්‍රේලියාවේ විවිධ සමාගම්වලින් මෙන් ම, කුඩා කර්මාන්ත ලෙස ද නිපදවෙන බියර් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙන බවයි. ඊට අමතරව, ලෝකයේ සෑම රටකින් ම පාහේ ආනයනය කෙරෙන බියර් වර්ග ද මෙහි මිලට ගැනීමට ඇත. අද මා ගොඩ වැදුණු කඩයේ ඉතාලියේ පෙරෝනි, මැක්සිකෝවේ කොරෝනා සහ තවත් වර්ග රාශියක් තිබුණි.

කොරෝනා ප්‍රිය කරන්නන් සඳහා සටහන් කරනවා නම්, බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් 57 කට ද, පෙට්ටි දෙකක් ඩොලර් 88 කට ද ඊයේ විකිණීමට තිබුණි.

දෙසතියකින් ආපසු ලංකාවට යන්නට සැලසුම් කර සිටි මුත්, මා කලින් කියා ඇති කරුණක් නිසා, මට මෙල්බර්න් නගරයේ සති හයක් පමණ නතරවන්නට සිදුවුණි. ඒ ඉතිරි කාලය මා ගත කළේ වෙනත් දෙදෙනෙකු සමග කාමර තුනක නිවසක් බෙදා හදා ගෙන, එකට උයාගෙන කමිනි.

ඒ කාලයේ එක් සිකුරාදා දවසක, මම නිවසට ගියේ බියර් භාගේ බෝතල් හයක මිටියක් (සික්ස්-පැක්) රැගෙනයි. මට මතක ආකාරයට එය ටූහීස් රෙඩ් නම් වූ වර්ගයක් විය.
සීතලේම සිටිමින් සීතලේ ම ඒ බියර් පානය කරද්දී මට දැනුණේ ඉතා කටුක තිත්තකි. කෙසේ නමුත්, මම ඒ සුලු කාරණාවලින් අධෛර්යමත් නොවී, බාගේ බෝතල් තුනකටම වග කිව්වෙමි. කටේ තිත්ත රස පමණක් නොව පසුවදා වන විට තරමක හිසරදයක් ද මට හිමි වී තිබුණි. ඒ රතු පැහැති ලේබල් දෙස මා ඉන් පසු දෙවරක් බලා නැත!

එකල අප වැන්නන් අතර ජනප්‍රියම බියර් වර්ගය වූයේ වික්ටෝරියා බිටර් ය. සෑහෙන්න පසු කාලයක ක්‍රව්න් ලාගර් නමැති ලංකාවේ ඒ දිනවල තිබුණු පිල්ස්නර් හැඩ රුවැති සහ රසැති වර්ගයට මාරු වීමි. හයිනකන් ද නරකම නැත.

ඕස්ට්‍රේලියාවේ ගත කළ මුල් කාලයේ දිනක් මා, වූල්වර්ත්/සේෆ්වේ කඩයක් අසලින් යන විට දුටුවේ බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් දාසයකට මිලට ගත හැකි බවයි. එහි වර්ගය ටූහීස් හෝ ෆොස්ටර්ස් විය. මම වහාම එයින් පෙට්ටියක් මිලට ගත්තෙමි.

සති අන්තයේ මිතුරෙකු ද සමග ඒ බියර් රස විඳින්නට ගිය විට දැනුණේ තරමක තනුක ගතියකි. මේ උඹ ගෙනැවිත් තියෙන්නේ ලයිට් බියර් ජාතියක් නේ යැයි, එදා ප්‍රේම් මට පහදා දුන්නේ ය. මද්‍යසාර ප්‍රමාණයෙන් අඩක් පමණ අඩු වූ ලයිට් බියර් වර්ග ද ඇති බව මා දැන ගත්තේ එදා ය. ගෙනා පෙට්ටිය අමාරුවෙන් ඉවර කරගත් පසු, ඒ ඇල්වතුර බියර් වර්ග දෙස නැවත ඇස් ඇර බැලුවේ මා නොවේ!

තවත් දිනයක, කඩයක් අසලින් යන මා දුටුවේ අප ප්‍ර්‍රිය කළ වික්ටෝරියන් බිටර් බියර් වර්ගයේ බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් විස්සකට විකිණීමට ඇති බවයි. මෙහි සාමාන්‍ය මිල ඩොලර් තිහක් වූ අතර, මසකට පමණ වරක් වට්ටම් සහිතව විකුණුනේ ද ඩොලර් විසි පහකට ය. මම වහාම පෙට්ටියක් මිලට ගත්තේ, ඒ සතියේ අප පවුල් කිහිපයක් එකතුව දින කිහිපයක චාරිකාවක් සැලසුම් කර තිබුණු බැවිනි.

මේසය වටේ හිඳගෙන බෝතල් අතට ගත් සැනින්ම මිතුරන් පැවසුවේ, මා මිලට ගෙන ඇත්තේ බියර් බාගේ බෝතල් නොව, ග්‍රෙනේඩ් නම් සුරතල් නමින් හැඳින්වෙන මිලි ලීටර් 250 ප්‍රමාණයේ කුඩා බෝතල් වර්ගයක් බවයි!

මගේ බියර් අත්දැකීම් තවත් බොහෝ තිබේ.

එසේ වුව ද, පිටකොටුව වෙළඳ පොළේ තොග මිල දර්ශකය වුවද, ටිකක් වේලා අසාගෙන සිටින විට එපා වෙන බව මම හොඳින් දන්නා නිසා මෙතැනින් නවතිමි.

අවසාන වශයෙන් කිව යුත්තේ, මා දැන් බියර් බොන්නේ ඉතාම කලාතුරකින් පමණක් බවයි. සමස්ත ඕස්ට්‍රේලියාවේ බියර් බීම ද ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කියවේ!

එසේ වෙතත්, මේ ලිපිය සඳහා දත්ත සොයා ගැනීමට ලිකර්ලෑන්ඩ් කඩයේ රස්තියාදු වීමට අමතරව ඡායාරූපයක් ද අවශ්‍ය නිසා, සවස් වරුවේ යමක් කිරීමට සිදුවිය. සිංහල බ්ලොග් කලාව සඳහා මගේ කැපවීම කෙතරම් ද යන්න එයින් මොනවට ඔප්පු වේ.

-රසිකොලොජිස්ට්

Monday, 13 June 2016

ජගත් බණ්ඩාර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට යවමු - Message for those who live in NSW, Australia


සිනුවර අප අතර සිටිනා අපේ සුහද මිතුරෙකු වන ජගත් බණ්ඩාර, මෙවර ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මහ ඡන්දයේ දී සෙනෙට් සභාව සඳහා ලේබර් පක්‍ෂයෙන් සඳහා තරග වදී.

ඕස්ට්‍රේලියාව යනු ප්‍රාන්ත හයකින් ද, පාලන ප්‍රදේශ දෙකකින් ද සමන්විත ෆෙඩරල් රාජ්‍යයකි. සෙනෙට් සභාව යනු රටේ පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී සභාවයි. මේ සඳහා ජනතා නියෝජිතයින් තෝරා ගනු ලබන්නේ එක් එක් ප්‍රාන්තයෙන් සමානුපාතික ක්‍රමයට ය. අප වසන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභාවේ අසුන් ගන්නා පිරිස දොළොස් දෙනෙකි.

සාමාන්‍යයෙන් එක් ඡන්දයක දී පත්කර ගනු ලබන්නේ සෙනෙට් සභිකයින් හය දෙනෙකු පමණක් වුවත්, මෙවර ඡන්දය පැවැත්වෙන්නේ මුළු සෙනෙට් සභාවම විසුරුවා හැරීමෙන් පසු නිසා, ජගත් බණ්ඩාරට ඡන්දයෙන් ජය ගැනීමට වඩා වැඩි අවස්ථාවක් ඇති බව මගේ අදහසයි.

මා ජගත් බණ්ඩාර මුලින් ම වසර 2002 දී, එවකට මගේ දියණිය සහභාගී වුණු සෙන්ට් මේරිස් සිංහල පාසලේ වාර්ෂික සාදයේ මෙහෙයවන්නා හෙවත් එම්සී ලෙස ඔහු කටයුතු කළ දවසේ ය.

එසේ නමුත්, මා මුලින් ම ජගත් බණ්ඩාර මුණ ගැසී කතා බස් කළේ 2005 වසරේ අප්‍රියෙල් මස පැවති සිංහල අලුත් අවුරුදු උත්සවයේ දී බව මගේ මතකයේ ඉතා හොඳින් ලිය වී ඇත. එදා ඔහු සහ තවත් කිහිප දෙනෙක් උත්සවය පැවැත්වුණු ශාලාවේ පිහිටුවා තිබුණු එක් කුටියක එකල ඕස්ට්‍රේලියාවේ පළවුණු දිවැස නම් පුවත් පත බෙදා හරිමින් සිටියහ.

කෙටි කලක් පමණක් මුද්‍රණය වුණු දිවැස නම් සිංහල පුවත් පත ප්‍රකාශනය කළේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් විසින් බව පැවසුනි.

ජගත් සිටි කුටියේ වෙනත් ප්‍රකාශන යනාදිය ද තියෙන්නට ඇති නමුත්, ඒ පිළිබඳ වැඩි මතකයක් මට නැත. දිවැස පුවත් පතේ පිටපතක් මා අත තැබූ ජගත් "මෙන්න අපේ පත්තරයක්, කියවලා බලන්න!" යැයි කීවේය.

මා කළේ ආඩම්බර විලාසයෙන් ඒ පුවත් පතේ පිටු පෙරළා, එහි පළ වී තිබුණු, මා ලියූ "සකලබුජං" යන කවිය ඔහුට පෙන්වීමයි. ඉන් පසු අප දෙදෙනා වචන කිහිපයක සුහද කතා බහක යෙදුණෙමු.

ජගත් බණ්ඩාර යනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ය යනුවෙන් මගේ සිතේ රැඳුණි.

ඊට සති කිහිපයකට පසු වෙසක් පොහොය දින හවස් වරුවේ බිරිඳ සහ දරු දෙදෙනාද කැටුව පන්සලට යන විට මා දුටුවේ ජගත් බණ්ඩාර සුදු ඇඳුමට උඩින් කහ පැහැති හයි විසිබිලිටි ජැකට්ටුවක් පැළඳ ගෙන පන්සලට එන වාහන ගාල් කිරීමේ කටයුතු මෙහෙයවමින් සිටින අයුරු ය. ඒ වැඩ පිළිවෙළ සංවිධානය කෙරුණේ නිව් සවුත් වේල්සයේ ආදී නාලන්දියන් ගේ සංගමය විසින් නිසා, මම ජගත් බණ්ඩාර යනු ආදී නාලන්දියෙකු බවත්, සමාජ සේවයට කැමැති අයෙකු බවත් හඳුනා ගතිමි.

එතැන් සිට සිනුවර පැවැත්වුණු විවිධ උත්සව, සමාජ කටයුතු අවස්ථාවලදී ජගත් බණ්ඩාර මගේ නෙත ගැටුණි. එකිනෙකා සමග සිනාවක් සහ වචන කිහිපයක් හුවමාරු කර ගන්නා මිත්‍රතත්වයක් අප අතර ඇති වී තිබුණි.

තවත් දෙවසරකට පසුව 2007 අප්‍රියෙල් මාසයේ දී, මට ජගත්ව මුණ ගැසුණේ සිනුවර පැවති අලුත් අවුරුදු උත්සවයේ දී ය. ජගත් සහ තවත් කිහිප දෙනෙකු එදා උත්සව ශාලාවේ කුටියක "මානෙල් මල්" විකුණමින් සිටියහ.

ඒ මානෙල් මල් විකිණීම යනු ජනතා විමුක්ති පෙරමුණ ද, දත් දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු තවත් පිරිසක් ද එකතුව, ලංකාවේ එකල පැවති යුද්ධයට ආධාර පිණිස අරඹා තිබුණු ව්‍යාපාරයකි.

මේ උත්සවයේ නිවේදන කටයුතු කිරීම භාරව තිබුණේ, උත්සවයේ එක් සංවිධායක පාර්ශවකරුවෙකු වූ සිංහල සංස්කෘතික හමුවේ එකල සංස්කාරක ලෙස කටයුතු කළ මට ය. මා ජගත් බණ්ඩාර සිටි කුටිය අසලින් යන මොහොතේ මා ඇමතු ජගත්, මචං මේ වැඩේ ගැනත් එනවුන්ස් කරපං යැයි මගෙන් ඉල්ලී ය. මම ඔහුට මයික්‍රෆෝනය දුනිමි.

ජගත් බණ්ඩාර කෙටියෙන් කළ කථාවෙන් පසු, ඒ මානෙල් මලක් මිලදී ගන්නා මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේ ය.

වර්ගවාදී යුද්ධයට එක ශතයක්වත් නොදෙමි ය කියා මා දශක දෙකක් පුරා සිටි ස්ථාවරය එදා බිඳ දමන්නට ජගත් බණ්ඩාර ගේ මිත්‍රත්වය සමත් වූ අතර මගේ ශතයකට නොව ඩොලර් දෙකකට ම කෙලවිය!

මේ දිනවල ජගත් බණ්ඩාර විකසිත කලා කවය නම්, මා සිතන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධානයක් නියෝජනය කරමින් සිනුවර දී චිත්‍රපට දර්ශන සංවිධානය කළේ ය. මගේ මතකයේ හැටියට, සුභ සහ යස නව නිෂ්පාදනය සිනුවර වේදිකාගත කළේ ද, ජගත් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසයි.

විජිත ගුණරත්න ගේ පෙරම්බුරා වැනි නමකින් යුතු සිනමා දර්ශනය ද, ඉන් පසු විජිත ගුණරත්න විසින් කරන ලද දේශනයක් ද විකසිත කලා කවය මගින් සංවිධානය කරන ලදී. ඒ ආකාරයේ දේශන පැවැත්වුණේ ග්‍රැන්විල් හි පිහිටා ඇති ඕස්ට්‍රේලියානු නිෂ්පාදන සේවකයින් ගේ වෘත්තීය සමිති ශාලාවේ ය. ජගත් බණ්ඩාර සේවය කරන්නේ කම්කරු පක්‍ෂයට සම්බන්ධතා ඇති වෘත්තිය සංගම් ව්‍යාපාරයේ බව මම දැන ගතිමි.

විකසිත කලා කවය විසින් සංවිධානය කෙරුණු ඒ සියලුම කලා කටයුතු වලට මම සහභාගී වුණෙමි. ඔවුන් විසින් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අරඹා තිබුණු පරිගණක අධ්‍යාපනික වැඩ සටහනක් ගැන පැහැදුණු මම එයට මුදලින් ආධාරයක් කරන්නට ද ඉදිරිපත් වූයෙමි.

මගේ මතකයේ සඳහන්ව ඇති ආකාරයට වර්ෂ 2008 මාර්තු මාසයේ දී පමණ "ෆ්‍රෙන්ඩ්ස්" නම් සංවිධානයක් විසින් ලංකාවේ ළමා නිවාසයකට හෝ එවැනි වැඩ පිළිවෙළකට ආධාර පිණිස සාදයක් සංවිධානය කෙරුණි. බිරිඳ සමග මා සභභාගී වූ මේ උත්සවයේ ද එක් සංවිධායකයෙකු වූයේ ජගත් බණ්ඩාරය. ඒ වැඩ පිළිවෙළ දේශපාලන පක්‍ෂයකට හෝ වෘත්තීය සමිතියකට හෝ අයත් එකක් නොවී ය.

වර්ෂ 2010 අග භාගයේ දී අනුර කුමාර දිසානායක සහ අර්ජුන රණතුංග දෙදෙනා, එවක ඔවුන් විසින් අටවාගෙන තිබුණු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමේ සංවිධානය නියෝජනය කරමින් සිනුවරට පැමිණි අවස්ථාවේ දී පැවැත්වුණු සභාවේ මූලාසනය ගත්තේ ද ජගත් බණ්ඩාර ය. ඒ අවස්ථාවේ මා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය ගැන මම මීට කලින් දිනයක ලියා ඇත්තෙමි.

"මචං, අර කොම්පියුටර් ප්‍රොජෙක්ට් එක අපට නැති වුණා!" තවත් වසර කිහිපයට පමණ පසු ජගත් මා සමග කීවේ ය. ඒ ලංකාවේ සිදුවුණු, සිඩ්නි නුවරටත් විශාල සම්බන්ධයක් ඇති දේශපාලන පෙරළියකට පසු ය.

නමුත්, දැන් ඒ වෙනුවට පියාපත් නම් ළමුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන වැඩ පිළිවෙළට ජගත් බණ්ඩාර නායකත්වය දෙයි. පසුගිය දා, ගුරු ගීතය සිනමා පටය මෙල්බර්න් නුවර විකසිත කලා කවය විසින් සංවිධානය කෙරෙද්දී, සිනුවර ප්‍රදර්ශනය කෙරුණේ පියාපත් සංවිධානය විසින් වීම සතුටට කරුණකි.

මා මේ පවසමින් සිටින්නේ ජගත් බණ්ඩාර යනු හොඳ මිනිසෙකු බවයි. ඔහු වැන්නෙකු ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව වැනි උත්තරීතර ආයතනයකට තේරී පත්වීම සමස්ත ලාංකික සංක්‍රමණික ප්‍රජාවට මෙන්ම පොදුවේ ඕස්ට්‍රේලියාවට ම වැදගත් වෙනු ඇත.

මා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ලේබර් පක්‍ෂයට ඡන්දය දෙන්නෙකු නොවේ. ඒබීසී සේවයේ ඡන්ද මාලිමා ප්‍රතිඵලය අනුව ද මගේ නැඹුරුව ඇත්තේ හරිත පක්‍ෂය දිශාවට ය. ඒ සමගම, අප අතර ලිබරල් පක්‍ෂයට ඡන්දය දෙන දක්‍ෂිණාංශිකයින් ද සිටින බව නොරහසකි.

නමුත්, අපේ දේශපාලන අදහස් කෙසේ වෙතත්, අප සියලු දෙනාටම ජගත් බණ්ඩාරට ඡන්දය දිය හැකි ක්‍රමයක් මෙවර සෙනෙට් සභා ඡන්දය සඳහා ක්‍රියාත්මක වෙයි. අප කළ යුත්තේ, පක්‍ෂ සඳහා ඡන්දය නොදී, ඉරෙන් යට, එනම් අපේක්‍ෂකයින් ගේ නම් ඇති කොටසේ අපේ මනාපය අංක 1 සිට 12 දක්වා සටහන් කිරීමයි.

ජගත් බණ්ඩාර ගේ නමට ඉදිරියෙන් අංක 1 යොදන්න. එතැන් සිට ඉතුරු මනාප ඔබ කැමති පක්‍ෂවල, කැමති අපේක්‍ෂකයින් එකොළොස් දෙනෙකු සඳහා යොදන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කඩේ යතත්, හොඳ මිනිහෙකුට කඩේ යෑම සතුටකි!

ප/ප/ලි:
ඡන්දයෙන් සති කිහිපයකට පසු අවසාන ප්‍රතිඵලය නිකුත් විය. ජගත් බණ්ඩාර ගේ ඕස්ට්‍රේලියානු කම්කරු පක්‍ෂයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හිමි සෙනෙට් ආසන දොළහෙන් ලැබුණේ හතරක් පමණි. ජගත් බණ්ඩාර ලබා තිබුණේ ඡන්ද ප්‍රමාණය අනුව හයවෙනි ස්ථානයයි.

ඊළඟ මැතිවරණය තව වසර තුනකින් පැවැත් වේ!

Sunday, 12 June 2016

හතළිහ පැනීමත් පැනිල්ලක් ද? - Notes from yesteryears


හතළිහ පැනීම යනු කිසිසේත් ම ජීවිතේ අඩක් ගෙවුණා ය කියා මා අද සලකන කඩ-ඉමක් නම් නොවේ. මක්නිසා ද යත්, දැන් මගේ අරමුණ වී ඇත්තේ අවුරුදු සීයක් ජීවත් වීමයි.

නමුත්, එදා මට එවැනි අරමුණක් නොතිබුණු නිසා දෝ හතළිහ පැනපු මොහොතේ මගේ පපුව හෝස් ගා ගියේය.

මේ ඒ දිනවල මගේ සටහන් පොතේ කුරුටු ගා ඇති වචන කිහිපයකි.

මේවා, කැමැති නම්, මාතලන් විසින් හඳුන්වා දී ඇති හබරල කවි ලෙස ද සැලකිය හැකි ආකාරයේ ඒවා ය.

1.
දිගු නින්දකට පසු
හදිසියේ
ඇස් ඇර බලද්දී
ජීවිතයේ තෙවසරක්
නැතිවෙලා!

2.
මොහොතින් මොහොත කාලය ගත වෙලා ගියේ
අඩක් ගෙවී අවසානයි ජීවිතයේ
ඒ ගෙවුණේ
හොඳ බාගෙ ද
අනිත් බාගෙ ද?

3.
අවූරුදු හතළිහක්
යනු
දිගු කාලයක් නොවේ.
මා උපන් දා සිට හැම දිනයේ ම
සතයක් බැගින් එකතු කළා නම්,
අද මා ළඟ ඇත්තේ
රුපියල් 146 ක් පමණි.


-රසිකොලොජිස්ට්

ප/ලි:
ගිය වසරේ එළැඹුණු අපේ බ්ලොග්කරුවෙකු ගේ පනස්වෙනි උපන් දිනය වෙනුවෙන් මා ලියූ සටහනක් මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/09/w3lanka-hbd2u-apj.html

(image: http://a.tgcdn.net/images/products/zoom/eabe_half_full_optimist_glass.jpg)

Saturday, 11 June 2016

මේ උදා වී ඇත්තේ බ්ලොග් ලොව වසන්තය ද, සිසිරය ද? - Who is Sachin Jayanetti?


සිංහල බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු ම වාසය කරන ඕස්ට්‍රේලියාවට මේ උදා වී ඇත්තේ සිසිරයයි. සිසිරය හෙවත් ශිශිරය යනු ඉංග්ලිෂ් භාෂාවෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව වේ. සමහරු මෙයට වින්ටරය කියා ම කියති. මීට පෙර, අර මා ලිපි විසි හතරක් ලියූ බ්ලොග් වසන්තය සමයේ ඕස්ට්‍රේලියාවේ අප නම් සිටියේ හේමන්තයේ ය.

එසේ නම්, සිංහල බ්ලොග් ලොව දැන් ඇත්තේ ගිම්හානයේ නොහොත් ඉංග්ලිෂ් භාෂාවෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුවේ විය යුතුය.

දැන් සිසිරයේ පසුවෙන ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග් ලියන්නෙකු වන රයිගම් හන්දියේ චන්ද්‍රකුමාර බ්ලොග්කරුවා ඔහු ගේ ගිය මාසයේ ලියූ ලිපියක මෙලෙස පවසා තිබුණි.
"මා කැමති බ්ලොග් ලියපු අය ටික දෙනා මේකෙන් අයින් වී යන වග මා දුටුවේ කලක සිට. සමහරුන්ට අයින් වෙන්න මාත් එන්කරේජ් කර තියනවා. එයට හේතු මෙහි ලියන්න යන්නේ නැහැ. අපේ පෞද්ගලික ජිවිතයේ සාර්ථකත්වය බ්ලොග් ලිවීමට වඩා ගොඩක් වැදගත්. එයිට එහා යමක් මා ලියන්නේ නැහැ."
ඉන්පසු ඔහු මෑත ලිපියක මෙලෙස ද ලියා තිබුණි.
මා දින කිහිපයකට කලින් ලියා ඇති මා කැමති සිංහල බ්ලොග් ලියන අය මේකෙන් අයින් වෙන වග. කණගාටුවකට වගේ ඒ ලැයිස්තුවට තවත් එකතු වෙනවා.
මේ දැක මම ඔහුගෙන් මෙලෙස විමසුවෙමි.
කවුද මේ සිංහල බ්ලොග් අත හැරලා යන ලේඛකයින්? මට නම් හිතා ගන්නත් බෑ.
මට නං පෙන්නේ ඒකේ අනිත් පැත්තයි. තව තවත් පිරිස් බ්ලොග් ලියන්න එකතු වෙනවා!
ඔහු එයට පිළිතුරක් දුන්නත් එලෙස අයින් වූ අය කවුරුන්දැයි පවසා තිබුණේ නැත. කොහමටත් රයිගම හන්දිය බ්ලොග්කරුවා ක්‍රිප්ටික් ආකාරයට ලියන්නට කැමැත්තෙකි. එසේත් නැතිනම්, බොක්කේ ඇති දේ ලෙහෙසියෙන් හක්කෙන් එළියට දාන්නෙකු නොවේ.

ඉතිං මා කළේ, මා කියවන බ්ලොග් ලයිස්තු පිරික්සා බලා, මෙලෙස ලිවීමෙන් ඉවත් වූ හෝ ඉවත්වෙමින් සිටින බ්ලොග්කරුවන් කවුදැයි සොයා බැලීමේ ප්‍රයත්නයක නිරත වීමයි.

බ්ලොග්කාරියන් අතුරින් මල්මී මාස තුනකින්ද, ඔමායා මාස හතරකින් ද, පොඩි කුමාරිහාමි මාස හයකින් ද, නීරෝ මාස හතකින් ද, හැඩදල සහ ජනූ මාස අටකින් ද, සංජු මාස නමයකින් ද ලියා නැත.

මේ අතරතුරේ ඒ මියුරු, නෙළුම් විල වැනි බ්ලොග් නැවත ලියන්නට පටන් ගෙන ඇති බව ද දුටුවෙමි.

බ්ලොග්කරුවන් අතරින්, ලංකාප්‍රිය, මගේ සඳ, රසවතිය, ගයිජින්, දුමී, බස්සා, රෙපා, බ්ලොග් සඟරාව වැනි බ්ලොග් තෙමසක් හෝ වැඩි කලකින් යාවත්කාලීන වී නැත.

මගේ ඩෙනිම, ඉවාන් පවුලූෂා සහ බීට්ල් වැනි බ්ලොග්වලද දෙමසකින් පමණ වෙනසක් සිදුවී නැති නමුත්, ඒ තාවකාලික තත්වයකැයි සිතමි. අරූ ගේ අඩවිය පිළිබඳ තත්වය වෙනස් එකක් විය යුතුයි.

දෙවසරකට පෙර නවතා දැමූ කතන්දර වැනි බ්ලොගයක් ගැන රයිගම හන්දිය දුක් වෙනවා ද විය නොහැක!

එසේ සමහර බ්ලොග් නතර වී ඇති බව කිව හැකි නමුත්, අප හොඳින් දන්නා පරිදි පසුගිය කාලයේ අලුතෙන් බ්ලොග් ලියන්නට පැමිණි පිරිස ද බොහෝ ය. මෙහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නේ වෙනත් ක්‍ෂේත්‍රවල නිපුණයින් ගේ බ්ලොග් ආගමනයයි.

මම සති දෙකකට පමණ පෙර දුයිෂෙන් ගේ ආගමනය ගැන ලියූවෙමි. ඒ ගැන කවිඳු, මාතලන් ඇතුළු කිහිප දෙනෙකුම ලියූහ. මාතලන් විසින් ශාන්ත කේ හේරත් සහ තවත් චිත්‍ර බ්ලොගයක් ද හඳුන්වා දී තිබුණි. අජිත් පැරකුම් ජයසිංහ සුදු කුකුළා බ්ලොග් අඩවිය ගැන ලියා තිබුණි.

එලෙස ම, මා අප්‍රියෙල් මාසයේ දී ජගත් එදිරිසිංහ ගේ මානව බ්ලොගය ගැන ලියූවෙමි.

මේ ආකාරයට මේ මෑත කාලයේ සිංහල බ්ලොග්කරණයට බට පිරිස බොහෝ ය.

මට නම් පේන්නේ මේ බ්ලොග් වසන්තය ම ය කියා ය. ඇත්තට ම මේ වෙනත් ලෝකවල ලේඛක ඩයිනෝසර් ලා, බ්ලොග් ලොව උපදින කාලයයි.

අද ද මා සැරසෙන්නේ අලුතෙන් බ්ලොග් ලියන්නට පටන්ගත් කාලයක් තිස්සේ වෙනත් මාධ්‍යවල ලිපි ලියූ අයෙකු ඔබට හඳුන්වා දෙන්නයි.
  • මට ඔහු රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු ලෙස හඳුන්වා දී පිරිසක් කුල්මත් කරවීමට හෝ කෝප ගැන්වීමට හැකි ය.
  • මට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු ලෙස හඳුන්වා දී තවත් පිරිසක් උනන්දු කරවිය හැකි ය.
  • මට ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දී තවත් මානයකට මෙය ගෙන යා හැක.
  • එසේත් නැතිනම්, මට ඔහු කැනේඩියාවේ වෙසෙන සංක්‍රමණිකයෙකු ලෙස හඳුන්වා දී තවත් කරුණු රාශියක් ඉස්මතු කළ හැක.
නමුත්, මා ඔබට කියන්නේ ඔහු ලියන දේ කියවා ඔහු හඳුනා ගන්නා ලෙසයි.

මක් නිසා ද යත්, මා "සචින් ජයනෙතත්ති"ව හඳුනා ගත්තේ ඔහු ලියූ දෙයින් පමණක් නිසා ය. ඒ හැර, මා ඔහු මුණ ගැසී හෝ දුරකථනයෙන් කතා කර හෝ නැත.

මෙන්න ඔහු ගේ බ්ලොගයට පාර: https://sachinscorner.wordpress.com/

-රසිකොලොජිස්ට්

(image: https://www.facebook.com/sachin.jayanetti)

Thursday, 9 June 2016

ලංකාවේ බියර් බීම සහ ඕස්ට්‍රේලියාවේ බියර් බීම - Its all in water


මා මුලින් ම බියර් බිව් ආකාරය ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි. මුලින් ම අරක්කු බිව් දිනයේ දී, ඇත්තටම හෝ බොරුවට හෝ මත් වුවද, බියර් නිසා මත් වී ඇත්තේ කලාතුරකිනි. ජර්මන්කාර බොසා සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුූ දිනයේ දී නම්, බියර් බෝතලයක් ම බිව් නිසා තරමක මත්වීමක් ඇති වුණද, එදා රාත්‍රියේ නුවරඑළිය ටවුමේ සිට හාවා එළියට ඇවිද ආ පසු, ඒ බියර් මත හිරු දුටු පිනි බිඳුවක් සේ වාෂ්ප වී ගියේය.

ලංකාවේ දී මා කළ බියර් බීම යනු අර ජපානයේ මිනිසුන් තේ බොන්නට අනුගමනය කරන ක්‍රියා මාර්ගය මෙන් මහා චාරිත්‍රානුකූල කර්තව්‍යයකි.

නිවසේ දී බියර් බොන්නට නම්, මුලින් ම කළ යුත්තේ, එම්ටීස් හෙවත් හිස් බියර් බෝතල් සොයා ගැනීමයි. මේ බෝතල් යනු මිලිමීටර් 750 ධාරිතාවේ වීදුරු බෝතල් විය.
මා ලංකාවේ දී අවසාන වරට කඩෙන් බියර් මිලට ගෙදර ගෙනැවිත් බිව් කාලයේ දී, එනම් 1995 දී, ලංකාවේ බියර් කොම්පැනි දෙකක්, ලංකා බෘවරීස් සහ මැකලම්, තිබුණු අතර හිස් බෝතල් එයින් කවර කොම්පැනියේ ද යන්න බියර් මිලට ගැනීමේ දී වැදගත් කරුණක් නොවුණි.

හිස් බෝතල් නොමැති නම්, ඒ වෙනුවට අරක්කු විකුණන කඩේට ඩිපොසිට් එකක් තබා, එනම් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් කර, බියර් මිලට ගත හැකි විය. මා මෙහිදී අරක්කු විකුණන කඩේ යැයි කියන්නේ එකල ඔය කියන කුඩා කඩවලට වයින් ස්ටෝර්ස් යැයි කියනු මතකයේ නැති නිසා ය. අද වුව ද, ඒ වයින් ස්ටෝරස් යැයි බෝඩ් ලෑලි ගසා ඇති කඩවල එක වයින් බෝතලයක්වත් විකිණීමට තිබේ යැයි මම නොසිතමි.

මා ඒ දිනවල පදිංචිව සිටියේ පිටකෝට්ටේ බංගලා හන්දිය අසලය. බියර් මිලට ගැනීටම නුගේගොඩ දක්වාම යා යුතුව තිබුණි. ඒ දිනවල නුගේගොඩ අරක්කු කඩෙන්, (මේ කියන කඩය තිබුණේ නාවල පාර පටන් ගන්නා හරියේ බව මගේ මතකයයි) මේ තැන්පතුව ලෙස එක් බෝතලයක් සඳහා රුපියල් දහයක් අය කෙරිණි.

එකල බියර් බෝතලයක මිල ප්‍රමාණය මට නිවැරදිව මතකයේ නැති වුවත්, රුපියල් දහයක් යනු බියර්වල මිලෙන් 25% පමණ වූයේ යැයි සිතමි.

සමහර විට නුගේගොඩ යන විට හිස් බෝතල් ගෙනියන්නට සිහියට එන්නේ නැත. සමහර විට බියර් බීම ගැන අදහස පහළවෙන්නේ ම නුගේගොඩට ගිය පසුව ය. එවිට, හිස් බෝතල් ගෙනෙන්නට ආපසු පිටකෝට්ටේ පිහිටි නිවසට යෑම කිසිසේත් ම ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. මේ හේතු නිසා, නුගේගොඩ අරක්කු කඩේට මා අතින් සෑහෙන්න ඩිපොසිට් තැබුණු බව කිව යුතුය.

අනිත් කාරණය වූයේ, එදා වේල ටුවර්ස් මෙන් බියර් බීවා මිස, අද කරනවා මෙන් බීම වර්ග කලින් මිලට ගෙන නිවසේ රැස්කර තබා ගැනීම එදා මට අවශ්‍ය යැයි නොසිතුණු දෙයක් වීමයි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය කරන දා, කුස්සියෙන් එපිට එළිමහන් ගරාජ කොටසට ගිය මට සෑහෙන දුකක් දැනුණේ, හිස් බියර් බෝතල් හරියටම දාහතරක් එහි ගොඩ ගැසී තිබෙනු දැකීමෙනි.

එයින් අදහස් කෙරෙන්නේ මා විශාල වශයෙන් බියර් බිව් බවක් නොවේ. වසර 1993 ජනවාරියේ සිට 1995 දෙසැම්බරය දක්වා අප ඒ නිවසේ පදිංචිව සිටි කාලයේ පස් හය වතාවකට වඩා නිවසේ බියර් බොන්නට අවස්ථාව නොලැබුණි.

මා ප්‍රිය කළේ පිල්ස්නර් නමැති බියර් වර්ගය බීමටයි. එය නුවරඑළියේ සිලෝන් බෘවරීස් සමාගමේ නිෂ්පාදනයක් විය. ඔවුන් ගේ නිෂ්පාදනයන් අතර ලයන් නම් වූ තද දුඹුරු පැහැති ස්ටවුට් වර්ගයක් ද විය. මා බී නොමැති වුවත්, මැකලම් බියර් වර්ග අතර සැන්ඩෝ ස්ටවුට් නම් වූ බීමක් තිබුණු බවට යාන්තම් මතකයක් මට ඇත.

හිස් බෝතල ඇතුව හෝ නැතුව නුගේගොඩ අරක්කු කඩෙන් එදිනට අවශ්‍ය බෝතල් ප්‍රමාණය පමණක් මිලට ගෙන නිවසට ගෙනා පසු ඒවා ශීතකරණයේ බහාලමි. අද මෙන් කුඩා ප්‍රමාණයේ කෑන් නොව මේ බියර් බෝතල් ප්‍රමාණයෙන් විශාල නිසා, ඒ සඳහා අපේ සාමාන්‍ය ප්‍රමාණයේ ශීතකරණයේ ඉඩකඩ සොයා ගැනීම ද සාමාන්‍යයෙන් ප්‍රශ්නයකි.
ඊළගට බියර් බොන අතර කන්නට දෙයක් ද අවශ්‍යය. මෙපමණ මහන්සි වී, නුගේගොඩ සිට රැගෙන විත්, ශීතකරණයේ ලා ප්‍රවේශමෙන් රැකබලා ගත් බියර්වලට නිසි ලෙස සලකන්නට නම් ඒ සඳහා ඩෙවල්ඩ් බීෆ් හෝ චිකන් වැනි යමක් අත්‍යාවශ්‍ය වේ.

ජපනුන් ගේ තේ බීමේ චාරිත්‍රය සේ යැයි මට සිතෙන අපේ බියර් බීමේ ක්‍රමවේදයේ ඊළඟට ඇත්තේ එදින රාත්‍රියේ ආහාරය සැලසුම් කිරීමයි. බොහෝ විට මේ බියර් බොන්නේ එක්කෝ මස්සිනා හෝ නැතහොත් මිතුරෙකු හෝ සමග නිසා, අප කළේ චීන කඩයකින් කෑම පාර්සල් ගෙන ඒමයි.

මේ සඳහා ජුබිලි කණුව හන්දියේ තිබුණු හෝටලයකට මා දෙතුන් වරක් ගොස් ඇත. පිටකෝට්ටේ හන්දියෙන් තරමක් ඔබ්බෙන් පිහිටා තිබුණු කාර් සර්විස් ස්ථානය අසල ද තරමක් හොඳ චීන කෑම කඩයක් තිබුණි. පසුව, අපේ නිවස අසලම කුෂ්මි නම් ස්ථානයක් ද, කොටුබැම්ම හන්දියේ තවත් කඩයක් ද ඇරඹුණි.

දෙදෙනෙකුට නම් අවශ්‍ය වෙන්නේ බියර් බෝතල් දෙකකි. තිදෙනෙකු සිටී නම් සමහර විට බෝතල් හතරක් වුවමනා වේ.

වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී!

කා බී අවසාන වූ පසු, ඇත්තටම, බී කා අවසාන වූ පසු, හිස් බෝතල් කිහිපය කුස්සියෙන් එපිට තිබුණු විවෘත ගරාජයේ පසුපස තැන්පත් කරන්නේ, යළි දිනක බියර් ගැනීමට නුගේගොඩ යන විට රැගෙන යන්නට ය.

වසර තිස් එකක් තිස්සේ විකාශය වෙන "නේබර්ස්" නම් වූ ඕස්ට්‍රේලියානු ටෙලිවිෂන් මාලා නාට්‍යයේ් කොටස් කිහිපයක් අපේ නිවසට මුලින් ම ටෙලිවිෂන් යන්ත්‍රයක් ගෙනා 1991 දී පමණ මා නැරඹූවෙමි.

එහිදී මා දුටු දර්ශනයක් වූයේ, අසල්වැසියෙකු නිවසට පොඩි කතාබහකට හෝ පැමිණි විට, "යූ වොන්ට් එ බියර් මේට්?" යැයි අසන නිවසේ වැසියා කෙළින් ම ශීතකරණයේ දොර හැර කුඩා බියර් කුප්පි දෙකක් හෝ කෑන් දෙකක් ගෙන එකක් අසල්වැසියා වෙත විසි කරන ආකාරයයි. ඉන් පසු ඔවුන් දෙදෙනා ඒ කුප්පි හෝ කෑන් විවර කර ගෙන, කට තියා බොති.

හිස් බෝතල් රැගෙන නුගේගොඩ අරක්කු කඩේ යෑම් නැත. කට ගැසුම් සෑදීමක් නැත. වීදුරු භාවිතයක් නැත.

"මරු නේ!" ඒ දර්ශන දුටු මට සිතුණි.

ඒ දිනවල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම මා අයැදුම් පතක් ඉදිරිපත් කර තිබුණු නිසා, කෙදිනක හෝ එහි ගිය පසු, බියර් බොන ආකාරය මා නෙත් ඉදිරියේ මැවී පේන්නට පටන් ගත්තේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අනතුරු හැඟවීමයි. බියර් පමණ ඉක්මවා බීමෙන් බඩ වැඩිවීමටත්, ශරීර සෙෘඛ්‍යය පිරිහීමට් ඉඩ ඇත.

(image: https://en.wikipedia.org/wiki/Beer)

Wednesday, 8 June 2016

අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?


මේ වචන මාලාව කියවා පුරුදුදැයි බලන්න.
"හායි යාළුවනේ, ඉතිං කොහොමද තොරතුරු. ඔන්න මං අද ඔයාට අරං ආවා අලුත්ම සැම්සුන් ගැජමැටික් එකක් ගැන විස්තර.
මේක නම් සුපිරි බඩුවක් යාළුවනේ.

වැඩි කතා මොකටද, එහෙනං මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයා ම කියවලා බලන්නකෝ.

ආයේ මං ඔයාලාට සුපිරි බඩුවක් අරං එනතුරු ටටා, බායි, හොඳේ?"
කලකට පෙර සිංහල බ්ලොග් අවකාශයේ ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි(?) නිතරම දක්නට ලැබුණි. ළඟදී මගේ ඇස ගැටී නොමැති වුවත්, සමහර විට, එවැනි ලිපි තවමත් පළ වෙනවා විය හැකිය.

මා අද ලියා පළ කරන්නට යන්නේ ද, තරමක් දුරට ඒ ආකාරයේ ලිපියකි. නමුත් පෙර කී ආකෘතියෙන් මුළුමනින් ම ඈත් වී තරමක විස්තර සහිතව මෙය ලිවීමට මම අදහස් කරමි. කොළඹ තොග වෙළඳපොළේ එළවළු, මාළු මිල විස්තරය රේඩියෝවෙන් ඇසීම අපට ප්‍රයෝජනවත් වූයේ යම් ප්‍රමාණයකට ද, ඊට වඩා ආන්තිකව වැඩි ප්‍රයෝජනයක් මෙය කියවන අයට ලැබේ යැයි සිතමි.

දැන් සති දෙකක් පමණ තිස්සේ මා ලියා ගෙන ආ, මේ ජංගම දුරකථන වෘතාන්තය ආරම්භයේ සිට යළිත් සැකෙවින් කියනවා නම් මෙසේ ය.

අපේ නිවෙස්වල දුරකථන නොමැති කාලයේ සන්නිවේදනය සිදුවුණේ ලිපි මගින් වූ අතර, ඒ සඳහා කාලයක් ගතවීම ලොකු ප්‍රශ්නයක් නොවීය. මස්සිනා ගේ මෝටරෝලා ගඩොල් භාගය දුටුවායින් පසුව ද, සැබෑ අවශ්‍යතාවක් නොමැති වූ නිසා, ජංගම දුරකථනයක් මිලට නොගත්තෙමි.

ලංකාවෙන් චුත වී ඕස්ට්‍රේලියාවේ වාසය කරන්නට ඇරඹුණු පසු, නිතර දෙමව්පියන් ගේ තොරතුරු දැන ගැනීමට ඇති වූ අවශ්‍යතාවය නිසා ම මගේ මුල්ම ජංගම දුරකථනය වූ එරික්සන් ගඩොල් අරික්කාල මිලට ගත්තෙමි.

එතැනින් මා පිය මැන්නේ නොකියා ලෝකයටයි. වසර කිහිපයකට පසු කලෙක, නිව් සවුත් වේල්ස් රජයේ සේවයේ භාවිතා වූ බ්ලැක්බෙරියකට ද හිත ගිය මුත්, මා ඊළඟට හිමිකර ගත්තේ ද නොකියාවක් (E-63) ම ය.

ඊළඟට එළැඹුණු මන්දාකිණි යුගයයි. ඉතා අගනා පහසුකම් ද, වටිනා ඇමතුම් ප්‍රමාණයක් සහිත ගිවිසුමක් ද සමග මා හිමිකර ගත් සැම්සුන් ගැලක්සි S3 ජංගම දුරකථනය වසර තුන හමාරකට පසුව රෙදි සෝදන මැෂිමේ දී අවසන් ගමන් යනතුරු මට නොමද සේවාවක් සැපයූවා ය.

දුරකථනය මිය පරලොව යාමත් සමග එහි ගබඩා වී තිබුණු අංක ද මට අහිමි වී ගිය නිසා, මට සිදුවූ වෙනත් අකරතැබ්බයක් ගැනද, එයින් මා ගොඩ ආ හැටි ද, එහි බෝනසය ලෙස මා ලියූ තම්ෂර් කතාව ගැන ද මෙහි වෙසෙසින් සඳහන් කළ යූතුවේ.

සති දෙකක දුෂ්කර ක්‍රියා සමය අවසානයේ මම සැම්සුන් ගැලක්සි S7 ජංගම දුරකථනයක් හිමි කර ගතිමි. තාක්‍ෂණය අතින් ඒ මා පැන්නේ යෝධ පිම්මකි.

ආර්ථිකය අතින් ද එය පෙරට වඩා හොඳ තත්වයක් යැයි මට සිතේ. ඒ මේ මිල දී ගැනීම මා ඉතා හොඳින් හොයා බලා, සියලු වාසි සහ අවාසි සලකා සිදු කළ මට වාසිදායක එකක් වූ නිසා ය.

මේ දක්වා මා ජංගම දුරකථන පහසුම ලබා ගත්තේ, ටීපීජී නම් සමාගමෙනි. ඔවුන් ඔප්ටස් ජාලයේ සේවා විකුණන සමාගමකි. මසකට ඩොරල් විස්සක ගාස්තුවකට මට, ලංකාවට පැය හතරක් පමණ හෝ දේශීය අංකවලට පැය නමයක් පමණ හෝ ඒ ප්‍රමාණයන් ගේ මිශ්‍රණයක් හෝ ඇමතුම් ලබා ගැනීමට ද, මසකට ගිගා බයිටයක දත්ත ද ලැබුණි.

මගේ අළුත් දුරකථනය හිමිකර ගැනීම සඳහා මට ටීපීජීලාගෙන් ඉවත් වී, වෙනත් සමාගමක් හා මාස විසි හතරක ගිවිසුමකට එළැඹීමට සිදුවිය.

මීට පෙර මා දුරකථනය අත්පිට මුදලට කෝගන් නම් ඉන්ටර්නෙට් වෙළඳ සමාගමෙන් ලබා ගත්ත ද, මෙවර එසේ නොකර සමාගමක් හා ගිවිසුමකට බැඳුණේ වෙළඳපොළ වෙනස් වී ඇති නිසාය.

දැන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ජංගම දුරකථන සමාගම් වලින් වෝඩාෆෝන් සහ වර්ජින් නම් සමාගම් දෙකෙන් ම ඔවුන් ගේ පැකේජවලට විදේශ අංක ඇමතීම එකතු කර ඇත. ටෙල්ස්ට්‍රා සහ ඔප්ටස් සමාගම් තවමත් ඒ තත්වයට පැමිණ නැත.

අවසානයේ මා ගිවිසුමට එළැඹුණේ රිචර්ඩ් බ්‍රැන්සන් ගේ වර්ජින් සමාගම සමගයි. ඇත්තටම ඔවුන් ද ඕස්ට්‍රේලියාව තුළ දී පෙර මා කී ටීපීජි සමාගම මෙන්ම ඔප්ටස් සමාගමේ සේවා විකුණන සමාගමක් පමණි.

දැන් මගේ ජංගම පැකේජය මෙයයි.

සැම්සුන් ගැලක්සි S7 දුරකථනය සඳහා මසකට මා ගෙවන්නේ ඩොලර් තුනක් (රුපියල් 315 ක්) පමණි. එනම් මුළු ගිවිසුම් කාලයටම, ඩොලර් හැත්තෑ දෙකක් හෙවත් රුපියල් හත්දහස් පන්සීයකි.

දුරකථන සේවා සඳහා මගේ ගිවිසුම මසකට ඩොලර් හැත්තෑවකි. මේ වෙනුවෙන් මට පහත සේවා අමතර අයකිරීමකින් තොරව ලැබේ.

දත්ත හිගා බයිට් අටක්. මේ දක්වා මට අමතර මුදල් නොගෙවා ලැබුණේ එක් ගිගා බයිටයක් පමණි. අමතර පරිමාව ඩොලර් තිහක් පමණ වටී.

ඕස්ට්‍රේලියාව තුළ ඕනෑම දුරකථනයකට (නිවාස හෝ ජංගම) ඕනෑම වේලාවක් ඇමතීම. මෙහි වටිනාකම ඉතා ඉහළය. නමුත් මගේ අවශ්‍යතා සීමාසහිත නිසා, ඩොලර් විස්සක පමණ අගයක් ඇතැයි කිව හැක.

ලංකාවට විනාඩි තුන්සීයක ඇමතුම්. මෙහි වටිනාකම, වෙනත් ක්‍රමයකින් ඇමතීම හා සසඳා බලන විට, ඩොලර් තිහක් පමණ වේ.

මීට අමතරව මගේ වර්ජින් ගුවන් සමාගමේ වෙලෝසිටි ගිණුමට හැම මසක් සඳහාම අගයක් එකතු වෙනු ඇත.

මෙලෙස ගිවිසුමකට එළැඹීම වෙනුවට මට තිබුණු විකල්පය වූයේ, මා 2012 ඔක්තෝබරයේ දී කළ ආකාරයට, මේ දුරකථනය අත්පිට මුදලට ලබා ගැනීමයි. ඒ සඳහා හොඳම ක්‍රමය නම් කෝගන් නම් ඉන්ටර්නෙට් වෙළඳ සමාගමෙන් එය ඇණවුම් කිරීමයි. ඔවුන් ගේ දැන් විකුණුම් මිල ඩොලර් 850 කි. එය සාමාන්‍ය වෙළඳ සමාගමක මිලට වඩා ඩොලර් දෙසීයක් පමණ අඩු මුදලක් වුවද, අවුරුදු දෙකක් තිස්සේ මසකට ඩොලර් තුන බැගින්පමණක් ගෙවා දුරකථනය භාවිතා කරන්නට හැකි විට ඊට වඩා වැඩි මුදලක් අත්පිට ගෙවීමට මට කිසිදු හේතුවක් නැත.

අලුත් ජංගම දුරකථනය සුපිරිය. වේගය, හැසිරවීමේ පහසුව පමණක් නොව විශේෂයෙන් ම කැමරා ද ඉතා අගනේ ය. මේ ලිපියේ මුලින් පළ කර ඇත්තේ මා ගත් සෙල්ෆියකින් කොටසකි.

එපමණකි.

ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජීවත් වූහ.

මේ මගේ ජංගම දුරකථන පිළිබඳ දීර්ඝ වෘතාන්තයේ අවසානයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අලුත්ම අලුත් ගැලක්සි S7 ජංගම දුරකථනය නිවසේ ඇති අපේ රෙදි සෝදන පරණ මැෂිමේ සේදීම අපහාසයක් සේ සැලකිය හැකි නිසා, මේ අලුත් දුරකථනය සඳහා මේ සමගම අලුතෙන් රෙදි සෝදන මැෂිමක් ද මිලට ගන්නැයි මට මිතුරු ප්‍රේම්ගෙන් උපදෙස් ලැබී ඇත!

Tuesday, 7 June 2016

පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල නොහොත් අපට පාන් ද? - No escape from trivial infomation


රූපවාහිනී යක්‍ෂ උවදුර ලංකාව ගිලගෙන නොතිබුණු, පරිගණක යනු විද්‍යා ප්‍රබන්ධවලට පමණක් සීමා වූ අද්භූත උපකරණ ලෙස පමණක් අප දැන සිටි, අප කුඩා කාලයේ, අපේ එකම ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය අත්දැකීම වූයේ රේඩියෝව හෙවත් ගුවන් විදුලියට සවන් දීමයි. ගීත, නාට්‍ය, සඟරාමය, අධ්‍යාපනික, ආගමික විවිධ වැඩසටහන් අතර දිනකට සිව්වරක් සිදු වූ ප්‍රවෘත්ති ප්‍රකාශයට ගුවන් විදුලියේ ප්‍රධාන තැනක් ලැබුණි.

ප්‍රවෘත්ති ප්‍රකාශයේ දවසේ එක් විකාශයක අවසානයේ එදින පිටකොටුව තොග වෙළඳපොළේ බඩු මිල විස්තරය ද කියවන ලද බව ඉතා හොඳින් මගේ මතකයේ ඇත. බෝංචි, කැරට්, අර්තාපල්, පරිප්පු, ලූණු, මිරිස් යනාදී එළවළු සහ වියළි ආහාර ද්‍රව්‍යවල මිල ද, තෝරා, පරා, කෙලවල්ලා, අලගොඩුවා වැනි මාළු වර්ගවල මිල ද, ඒ විස්තරයට ඇතුළත් විය.

මා සමහර මාළු වර්ගවල නම් මුලින් ම දැන ගත්තේ ඒ පිටකොටුව මාළු වෙළඳපොළේ මිල ගණන් විස්තරයට ඇහුම්කන් දුන් අවස්ථාවල දී ය.

සැපයුම්කරුවන්ට, තොග මිල දී ගන්නට, තැරැව්කරුවන්ට සහ සමහර විට ඉකොනොමැට්ටන් (හෙවත් ඉකොනොමෙට්‍රීෂියන්ලාට) නම් වැදගත් වෙන්නට ඇති ඒ මිල දර්ශනයෙන්, සැපයුම් දම්වැලේ අන්තිම කෙළවරේ සිටි සාමාන්‍ය කඩේ යන කොල්ලෙකු වූ මට කිසිදු වැදගත්කමක් නොතිබුණි. එයට හේතුව වූයේ ඒ මිල විස්තරයේ කියවුණේ තොග මිල පමණක් වීමයි.

සමහර විට, ඒ මිල ගණන් තුනෙන් හෝ හතරෙන් හෝ පයි අගයෙන් හෝ ගුණ කොට පසුවදා ගනේමුල්ල කඩ මණ්ඩියේ බඩු විකිණෙන සිල්ලර මිල සොයා ගැනීමට හැකි මිල සූත්‍රයක් තියෙන්නට ඇත. නමුත්, ඒ දිනවල අප ඒ සූත්තර වැඩ දැන අසා තිබුණේ නැත.

මගේ මතකයට අනුව දිනමිණ දිනපතා පුවත් පතේ කුඩා තීරුවකත් ඒ තොග මිල විස්තරය මුද්‍රණය කෙරුණි.

කාලයත් සමග ගුවන් විදුලිය අපෙන් දුරස්ථ විය, වඩාත් නිවැරදිව කිවහොත්, අපි ගුවන් විදුලියෙන් දුරස්ථ වීමු. පිටකොටුවේ තොග වෙළඳ පොළේ මිල විස්තරය අපේ සිතෙන් ගිලිහී ගියේ ය.

දිනමිණ පුවත් පත නම්, එදාත් පවතින රජයේ හොරණෑවකි. පසුව ද එසේ ම විය. අද ද එසේ ම ය. එ නිසා කඩෙන් ගත් බත් පාර්සලයක් නිසාවත් කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දුටු බවක් මට මතක නැත.

කාලය ගෙවී ගොස් මගේ ඕස්ට්‍රේලියානු ජීවිතය ඇරඹිණි. බහු සංස්කෘතික මෙරට, විශේෂ විකාශන සේවය (SBS - Special Broadcasting Service) නමින් ආයතනයක් රජය විසින් පිහිටුවා ස්වාධීනව පවත්වාගෙන යනු ලබයි. එහි භාෂා හැත්තෑ හතරකින් වැඩ සටහන් විකාශය වේ. සිංහල ද ඒ එක් භාෂාවකි. මා මෙරටට ආ කාලයේ සතියකට පැයක් පමණක්, ඉරිදා දිනවල විකාශය වූ මෙම වැඩසටහන, පසුව තිබුණු සංගණනයක ප්‍රතිඵල අනුව සිංහල කතා කරන ජන ප්‍රමාණය ඉහළ ගොස් ඇති නිසා, දැන් සතියේ දින හතරක, පැයක් බැගින් ප්‍රචාරය වේ.

පෙර පැවති පැයේ සඟරාමය වැඩ සටහනේ ආකෘතිය වූයේ මුලින් ලංකාවේ පුවත්වලට ප්‍රධාන තැන සහිතව ප්‍රවෘත්ති ප්‍රකාශය, ඊළඟට ලංකාවේ සිට ජනමාධ්‍යවේදියෙකු විසින් ගෙන එන පුවත් විශ්ලේෂණය, අදාළ පරිදි ක්‍රීඩා විචාරයක්, අපේ ප්‍රජාවේ විවිධ උත්සව ගැන නිවේදන සහ වැඩ සටහන අවසාන කොටසේ යම් විශේෂාංගයක් යනාදී බීබීසී සන්දේශයට තරමක් සමාන එකකි. මා ද කිහිප විටක් මේ හරහා මෙරට වෙසෙන සිංහල ලේඛකයින් ගේ නවකථා පොත් පිළිබඳව විචාර ඉදිරිපත් කර ඇත.

ලංකාවේ සිට ජනමාධ්‍යවේදියෙකු විසින් ගෙන එන පුවත් විශ්ලේෂණය විවිධ කාලවලදී ඉදිරිපත් කරන ලද්දේ, ඒඑෆ්පී හි අමල් ජයසිංහ, සිළුමිණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර, රූපවාහිනියේ මයුරි අබේසිංහ වැනි අය විසිනි.

දිනක් ඉරිදා දිනක මෙම වැඩ සටහනට සවන් දෙමින් සිටි මට ඇසුණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර ගේ පුවත් සමාලෝචනයට පිටකොටුවේ තොග වෙළඳපොළේ බඩු මිල ද ඇතුළත් වී ඇති බවයි.

මගේ මතකය, අපේ රේඩියෝ සමයට නිතැතින් ම ඇදී ගියේ ය.

කුඩා කාලයේ මෙන් එදා ද, පිටකොටුවේ තොග බඩු මිල දැන ගැනීමෙන් මට ඇති කිසිදු ප්‍රයෝජනයක් නොවුන ද, එමගින් ඇවිස්සුණු අතීතකාමයෙන් ලද උත්තේජනය ඉතා අගනේ විය.

රෙදි සෝදන මැෂිමේ දමා මා මගේ හුරුබුහුටි සැම්සුන් ගැලක්සි S-3 ජංගම දුරකථනයට නිවන් මගේ රුවන් දොර විවර කර දුන් පසු මා හිමි කර ගත්තේ ගැලක්සි පවුලේ නවතම සාමාජිකාව වූ S-7 ලාලනියකි.

ඒ තීරණය ගැනීමට මා පෙළඹුණු හැටි විස්තර කෙරෙන සිනුවර ජංගම දුරකථන මිල ගණන් පිළිබඳව මා ලිවීමට අදහස් කරන මීළඟ ලිපිය කියවන ඔබට ලැබෙනු ඇත්තේ, මා තිලකරත්න කුරුවිට බණ්ඩාර ගේ පුවත් විශ්ලේෂණය අසා ලැබූ අත්දැකීමට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක ඇත්දැකීමකි.

-රසිකොලොජිස්ට්

(image: http://www.telegraph.co.uk/news/worldnews/8268115/Introducing-George-the-lesser-known-tunnel-of-The-Great-Escape.html?image=4)

Monday, 6 June 2016

තුන්වෙනි ගැලක්සිය - Galaxy S3


කලට පෙර "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" හෙවත් හිරු ගේ සිට තුන්වෙනි ගල නම් වූ ඇමරිකානු ප්‍රහසන රූපවාහිනී මාලා නාටකයක් (සිට්කොම්) ඉතා ජනප්‍රියවෙමින් විකාශය විය. මේ කතාව ගෙතී තිබුණේ දුරස්ථ ලෝකයක සිට පොළොවට පැමිණ, මිනිස් වෙස් ගෙන, මෙලොව මිනිස් ශිෂ්ටාචාරය අධ්‍යයනය කරන පිටසක්වල ජීවීන් සිව් දෙනෙකු ගේ අත්දැකීම් මතය.

අප වෙසෙන පෘථිවියට ඔවුන් නමක් නොතියා අංකයකින් "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" කියා හඳුන්වා තිබුණේ, පෘථිවිය වනාහී නොවැදගත් ග්‍රහලෝකයක් යැයි ඔවුන් සිතා සිටි නිසා ලු!

"තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" යන්න එසේ නොවැදගත් සේ පිටසක්වල ජීවින් විසින් සැලකුව ද, තුන්වෙනි චක්‍රවාටය හෙවත් තුන්වෙනි මන්දාකිනිය හෙවත් තුන්වෙනි ගැලක්සිය යන්න නම් "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" හි වාසය කරන ජංගම දුරකථන භාවිතා කරන්නන් විසින් ඉතා වැදගත් සේ පිළිගන්නා ලද්දකි.

කොරියානු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයෙකු සැම්සුන් සමාගම විසින් 2012 වසරේ මැයි මාසයේ දී වෙළදපොළට ඉදිරිපත් කරන ලද, ඊට පෙර මිලියන් නමයක ඇණවුම් ලබා තිබුණු, මුල් මාස තුන ඇතුළත මිලියන් 20 ක් විකිණුනු, මේ වන විට මිලියන් 50 ක් විකිණී ඇති සැම්සුන් ගැලක්සි S3 නම් ජංගම දුරකථනය සැලකෙන්නේ අයි-ෆෝන් මරුවා ලෙසය.

ඒ වසරේ අවසානය වන විට, සැම්සුන් ගැලැක්සි S3 දුරකථනයේ විකුණුම් ප්‍රමාණය, ඇපල් සමාගමේ අයි-ෆෝන් 4S දුරකථනයේ විකුණුම් ප්‍රමාණය පරදා ගොස් තිබුණි.

එතෙක් මා භාවිතා කළ නොකියා E63 දුරකථනය අතහැර දමා, මා ගැලක්සි S3 ජංගම දුරකථනයක පෞඩ හිමිකරුවෙකු වුණේ 2012 ඔක්තෝබරයේ දී ය. ඒ මා මගේ උපන් දිනය වෙනුවෙන් මට ම දුන් ත්‍යාගයක් විය.

ගැලක්සි S3 ජංගම දුරකථනයක් හිමි කර ගැනීම සඳහා මට ප්‍රධාන ක්‍රම දෙකක් තිබුණි. එකක් දුරකථනය අත්පිට මුදලට මිලට ගෙන මා එතෙක් භාවිතා කළ සිම්පත හා දුරකථන ජාල සම්බන්ධය පවත්වා ගැනීමයි. විකල්ප ක්‍රමය වූයේ, දුරකථන සේවා සපයන සමාගමක් හා දෙවසරක ගිවිසුමකට බැඳී ඔවුන්ගෙන් දුරකථනය සහ සේවාව පැකේජයක් ලෙස ලබා ගැනීමයි.

මා ඒ වන විට භාවිතා කළේ ("නිම්නයක තනිවී සිහින දකින්නිය" පවා භාවිතා කරන) ටීපීජී නම් දුරකථන සමාගමේ සේවා ය. මගේ ජංගම භාවිතාව සඳහා මා ගෙවූයේ මසකට ඩොලර් විස්සකට අඩු මුදලකි. මේ හිලව්වට මට මසකට ගිගා බයිට් එකක දත්ත ප්‍රමාණයක් ද, ඩොලර් 550 ක වටිනාකම ඇති ඇමතුම් ද ලැබුණි. ඔවුන් සඳහන් කරන වටිනාකම කෙසේ වෙතත් ඒ මුදලින් මට එක්කෝ ලංකාවට විනාඩි 225 ක් හෝ නැතිනම් ඕස්ටේ‍ර්ලියාව තුළ විනාඩි 500 ක් පමණ හෝ නැතිනම් ඒ දෙවර්ගයේ සංකලනයක් හෝ ඇමතුම් ලබා ගත හැකි විය. එය ගෙවන මුදලට උපරිම ප්‍රයෝජනය ලැබෙන පැකේජයකි.

මා අත්පිට මුදලට ගැලක්සි S3 දුරකථනය මිලට ගන්නේ නම් ඒ සඳහා ඕස්ටේ‍ර්ලියාව තුළ දී මට වැය කළ යුතු වූ මුදල ඩොලර් 850 සිට 950 දක්වා ප්‍රමාණයක් විය. ඉන්ටර්නෙට් හි ක්‍රියාත්මක වන සමාගමක් වූ කෝගන් හි මේ දුරකථනය ඩොලර් 700 කට විකිණෙමින් තිබී එක් සති අන්තයක ඩොරල් 650 දක්වා මිල පහත හෙළන ලදී.

ඕස්ට්‍රේලියාව තුළ තම සේවා සපයන ටෙල්ස්ට්‍රා, ඔප්ටස්, වොඩාෆොන් හෝ වර්ජින් වැනි සමාගමකින් මට මේ දුරකථනය මාස විසි හතරක ගිවිසුමක් සමග ලබා ගන්නේ නම්, උපකරණය සඳහා ගෙවිය යුතු වන්නේ මසකට ඩොලර් පහක් හෝ දහයක් වැනි සුලු මුදලක් වුව ද, ඔවුන් ගේ සේවා සඳහා මසකට ඩොලර් හැටක් හෝ හැත්තෑවක් පමණ ගෙවිය යුතු විය. ගෙවන මුදලට වටිනාකමට දත්ත සහ දේශීය ඇමතුම් සේවා ලබා ගත හැකි වුණ ද, ප්‍රශ්නය වූයේ, විදේශීය ඇමතුම් ඒ සමයේ දී ඒ පැකේජයන්ට ඇතුළත් කර නොතිබීමයි.

මේ අනුව, ඒ විකල්ප ක්‍රමයෙන්, අලුත් දුරකථනය සඳහා අත්පිට මුදල් මුලින් වියදම් කිරීම අනවශ්‍ය වුවද, මට අවශ්‍ය සේවා නොලැබී, අනවශ්‍ය සේවාවලට මුදල් ගෙවීමට සිදුවෙන බව පැහැදිලි විය.

මේ කරුණු සියල්ල සලකා බැලූ මම, කෝගන් සමාගමෙන් සැම්සුන් ගැලක්සි S3 දුරකථනයක් ඇණවුම් කළෙමි. සතියකියන් පමණ එය අප නිවසට ළඟා විය. මට තිබුණේ, මගේ සිම්පත අවශ්‍ය ප්‍රමාණයට කතුරකින් කපා, එහි බහාලීම පමණි.

එදා 2012 ඔක්තෝබරයේ සිට පසුගිය මැයි මාසයේ එක් අඳුරු දිනක රෙදි සෝදන මැෂිමේ දී අවසන් ගමන් යන තුරුම මා භාවිත කළේ ඒ ඇපල් අයිෆෝන් මාරයා ලෙස විරුදාවලි ලද සැම්සුන් ගැලක්සි -3 මොඩලයේ මගේ ජංගම දුරකතනයයි.

-රසිකොලොජිස්ට්

(imange: http://tvlistings.zap2it.com/tv/3rd-rock-from-the-sun/EP00163817?aid=zap2it)

Sunday, 5 June 2016

අද ඉරිදා, හොඳ ඉරිදා! - All in a days work


වදුරන් සහ විලියම් ශේක්ස්පියර් කෘති පිළිබඳ කතාව අසා තිබේද?

මෙය ඇත්තටම ප්‍රමේයයක් හෙවත් තියරම් එකකි.

මේ ප්‍රමේයයට අනුව, යතුරු පුරුවක අහඹු ලෙස වරකට එක් යතුර බැගින් ඔබන වඳුරෙකු, අනන්ත වාරයක් එසේ කිරීමේ දී, විලියම් ශේක්ස්පියර් විසින් රචිත කෘති සියල්ලම ලියවෙන්නට මුළුමනින් ම පාහේ ඉඩ ඇත.

බැලු බැල්මට විශ්වාස කිරීමට අපහසු ලෙස පෙනෙන ඒ ප්‍රමේයයේ රහස නම් අනන්ත වාරයක් යන්නයි.

මෙහි විලෝමයට සමාන පරීක්‍ෂණයක් සලකා බලමු.

එනම්, උදාහරණයක් ලෙස එකම වස්තු බීජයක් අනන්ත සංඛ්‍යාවක් වූ රචකයින් අතට පත් කළ විට ඔවුන් ඒ අනුසාරයෙන් නිර්මාණය කරන කෘති දෙකක් අකුරෙන් අකුර එක හා සමාන වීමට මුළුමනින් ම පාහේ ඉඩ තිබේ.

මට මේ කරුණ සිහිවූයේ, අද සවස පැවති කවි පොතක් එළි දැක්වීමේ උලෙළක් මෙහෙය වීම සඳහා සූදානම් වීමේ දී ය.

පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ නම් ප්‍රකට කියමනක් ඇත. මා දන්නා පරිදි මේ දෙපදය ඇත්තේ පුරාණ සිංහල කාව්‍ය සංග්‍රහයක් වන කව් සිළුමිණ නම් ග්‍රන්ථයේ ය. එය රචනා කළේ දෙවැනි (පණ්ඩිත) පරාක්‍රමබාහු රජු බව කියවේ.

ඒ කවි දෙපදයෙන් කියවෙන්නේ කවියක රස විඳ ගැනීමට සමත් අය ලොව ඉතා හිඟ බවයි.

ලූලන් හිඟ සිනුවර දී, කවි පොත් එළි දක්වන හෝ ඒ ආකාරයේ කවි හා සම්බන්ධ උත්සව මෙහෙයවීම සඳහා මට ආරාධනය ලැබෙන අවස්ථාවල දී, ඒ පඬි වදන උපයෝගී කර ගැනීම කලක සිට මගේ පුරුද්දයි. ඒ බොහෝ විට උත්සවය ආරම්භයේ දී මා ගායනා කරන කවිය ලෙසයි.

මේ පහත දැක්වෙන්නේ ඒ ආකරයට උත්සව අවස්ථා ත්‍රිත්වයක් සඳහා ඒ එකම අදහස උපයෝගී කරගනිමින් මවිසින් පබැඳ ගායනා වුණු කවි ත්‍රිත්වයකි.

සිනුවර සිංහල ලේඛක සංසදය විසින් සංවිධානය කෙරුණු පටිගත කරන ලද කවි මඩු නැරඹීමේ අවස්ථාව:

කවි පදයක රසය විඳිනට නිසි ලෙසිනා
හැකි නෙත් දුලබ බව පඬි වදනක යෙදුණා
එවදන් සරි කරන පිරිසක් මෙහි සිටිනා
ප්‍රිය දසුනකිය මිතුරනි ඔබ සියලු දෙනා


පාලිත මංචනායක කවියා විසින් සම්පාදිත අන්තර්ජාල කවි සංවාද කෘතියේ දොරට වැඩුම දින:

කවි පදයක රැඳුණු නෙක සිරිරස විඳිනා
දෙනෙතා ඉතා දුලබය එය පඬි වදනා
එය බොරු කරන පිරිසක් අද මෙහි සිටිනා
මම හිස නමමි, පිළිගමි, ඔබ සියලු දෙනා


ඥානතිලක හේවාගමගේ කවියා ගේ ඇවිලිණි කුමරි බඹසර කෘතිය ජනගත කෙරුණු දින:

කවියේ රස හොඳින් විඳගන්නට කියවා
හැකිකම ඇති දෙනෙත් දුලබ ය පැවසෙනවා
අද මෙහි පැමිණි ඔබ සැම ඒ බස් බිඳවා
පිළිගමි සාදරෙන් මම අත් දෙක ඔසවා


අනන්ත වාරයක් බලා නොසිට මීළඟ කවි පොත එළිදැක්වීමේ උත්සවයේ දී ම, වෙනත් පඬි වදනක් අල්ලා ගන්නට මම අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
හැකි අයෙකු වෙතොත්, ඒ "පෙදෙහි රස හව් විඳිනා, දෙනෙතා ඉතා දුලබෝ" යන අදහස අන්තර්ගත කර, කවි පිළිබඳ උත්සවයක දී ගායනා කළ හැකි පිළිගැනීමේ කවියක් ඉහත කවි තුන ලියා ඇති විරිතෙන්ම ලියන මෙන් සුහද අභියෝගයක් කරමි.

(image: http://fisherynation.com/)