

ඉන්දුනීසියාව තුළ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් ඕස්ටේර්ලියානු ජාතිකයින් නම දෙනා ගේ නායකින් යැයි සැලකෙන මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චැන්ග් යන දෙදෙනා, ඒ සිදුවීමෙන් වසර දහයකට පසුව, නඩු තීන්දුවේ ප්‍රකාර අද උදෑසන වෙඩි තබා මරා දමන ලදී.
ඒ සමගම මේ වරදට ම අසුවී නඩු අසා මරණ දණ්ඩනයට නියම කරන ලද තවත් විජාතිකයින් හය දෙනෙකුට ද ඒ ඉරණම අත්විය.
මත්ද්‍රව්‍ය යනු මිනිස් ජීවිත විනාශ කරන දෙයකි. එ නිසා, ඒවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ විකිණීම සාපරාධී ක්‍රියා බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් මේ දඩුවම, ඒ වරදට සුදුසු ද?
මයුරන් සුකුමාරන් සහ ඇන්ඩෲ චෑන්ග් අසුවූයේ ඉන්දුනීසියාවේ සිට ඕස්ටේර්ලියාවට මත් ද්‍රව්‍ය ගෙන ඒමේදී බවද මෙහිදී සඳහන් කළ යුතුයි. ඔවුන් ලුහුබැඳ ආ, ඕස්ටේර්ලියානු පොලිස් කණ්ඩායම, ඒ ඔත්තුව එදා ඉන්දුනීසියානු පොලිසියට ලබා නොදී, ඔවුන් ගේ ගුවන් ගමන අවසානයේ දී ඕස්ටේර්ලියාව තුළ දී අත්අඩංගුවට ගත්තේ නම් මේ සිද්ධිය කෙළවර වෙන්නේ මේ ආකාරයට නොවේ.
සාමාන්‍යයෙන් මරණ දඩුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!
මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන එන නො දියුණු සමාජයක නීතියක් වන මරණ දඩුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් එක්කෝ නීතියෙන් ම ඉවත් වී තිබේ, නැතිනම්, ක්‍රියායත්මක කිරීම අත් හිටුවා ඇත.
එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.
විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 103 ක් මරණ දඩුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 50 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙ පිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඩුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඩුවමක් ලෙස භාවිතා නොකරති.
ඒ අනුව මරණ දඩුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 36 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 32 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.
මරණ දඩුවම ක්‍රියාත්මක වෙන ඒ රටවල් 50 අතරිනුත්, අවුරුදු දහ අටට අඩු අය සඳහා මරණ දඩුවම තවමත් නීතිගතව ඇති රටවල් ඇත්තේ තුනක් පමණි. ඒ ඉරානය, සවුදි අරාබිය සහ සුඩානයයි.
මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. මේ දිනවල මැද පෙරදිග සිදුවෙන "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය කල්ප ගණනක් දුර බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුවද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනකම උදාහරණය නම් යහපාලන අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ගේ 2015 ප්‍රකාශයයි.
-රසිකොලොජිස්ට්
(image: http://archives.dailynews.lk/2007/06/27/fea03.asp)